පෞද්ගලික අංශයට දිරි දෙන්න වෙළෙඳ ගැලපුම් පැකේජයක් | දිනමිණ

පෞද්ගලික අංශයට දිරි දෙන්න වෙළෙඳ ගැලපුම් පැකේජයක්

අන්තර්ජාතික වාණිජ මණ්ඩලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට 'ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ජාතික නායකයා සම්මානය' පෙරේදා (9) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති Most Admired Companies 2018 උත්සවයේ දී ප්‍රදානය කර ඇත. එම සම්මානය අන්තර්ජාතික වාණිජ මණ්ඩලයේ ඉන්දියානු සභාපති ජවහාර් වඩිවේලු සහ අන්තර්ජාතික වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා සභාපති දිනේෂ් වීරක්කොඩි මහත්වරුන් අගමැතිවරයාට පිරිණැමූ අවස්ථාව. ඡායාරූපය - හිරන්ත ගුණතිලක

ක්‍රිසාන්ති විතාරණ

පෞද්ගලික අංශයට උපකාර කිරීම සඳහා වෙළෙඳ ගැලපුම් පැකේජයක් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙය ක්‍රියාත්මක කිරීමට කැබිනට් පත්‍රිකාවක් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත වූ අතර පෞද්ගලික අංශයේ සහභාගීත්වය සමඟ එය මුවහත් වනු ඇති බව අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේ පසුගිය දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති Most Admired Companies 2018 උත්සවයට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකාව විශාල බදු බරක් දරා ඇති බවත්, 2019 දී රුපියල් ට්‍රිලියන 1.7කට වඩා වැඩි මුදලක් පියවීමට නියමිත බවත් අගමැතිවරයා මෙහිදී පැහැදිළි කළේය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ සහ පුත්තලම බලාගාරය වෙනුවෙන් පමණක් ට්‍රිලියන 1.7 ක් ගෙවීමට සිදුව ඇති බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

චීනය සමඟ බදු ගිවිසුමට ස්තූතිවන්ත වෙන්න හම්බන්තොට වරායේ මූල්‍ය බර කලමනාකරණය කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඊළඟට අපි මත්තල ගුවන් තොටුපොළටත් පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරීත්ව ගිවිසුමක් සඳහා යාමට සිදු වී තිබෙනවා යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඉහළ ණය සේවා නිසා අද වනවිට පුද්ගලික අංශයට තවත් බදු ගෙවීමට සිදුව ඇති බවද ඔහු පැවසීය. මෙම බදු ව්‍යුහ අධ්‍යනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සකස් කර ඇත.

කෙසේ වෙතත්, අපි දැන් මෙම බදු ආකෘතිය සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියක නිරත වන අතර ඉතා ඉක්මනින් දිරිගැන්වීම් හඳුන්වා දෙනු ලබනවා යැයි ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිසි ලෙස අවධානය යොමු කර නොමැති බවත්, එය වෙනස් කිරීමට කාලය පැමිණ ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය 2000 වසරේ සියයට 33 සිට 2017 වසරේ සියයට 13 ක් දක්වා පහත වැටී ඇති අතර රට නැවත අපනයනය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඊට සමාන්තරව බංග්ලාදේශයේ භාණ්ඩ අපනයන ආදායම එම කාලය යේ බිලියන 12 සිට 35 දක්වා වැඩි වී ඇති බවද අගමැතිවරයා කීවේය.


නව අදහස දක්වන්න