බොරු චෝදනා එපා කිරි පැකට් සිද්ධිය ගැන සත්‍ය පෙන්වා දෙන්න | දිනමිණ

බොරු චෝදනා එපා කිරි පැකට් සිද්ධිය ගැන සත්‍ය පෙන්වා දෙන්න

උපාලි කරුණාරත්න

ඒකාබද්ධ විපක්ෂය පසුගිය දා සංවිධාන කළ ජනබල මෙහෙයුමේ දී යම් පිරිසක් ලබාදුන් කිරි පැකට් පානය කළ එහි ගමන් ගත් ජන කොටසක් රෝගී වීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් එක්සත් ජාතික පක්ෂයට නඟන චෝදනා පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා රටට සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් පිරිසක් ඊයේ(10)මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාව සඳහා ඇමැති හරීන් ප්‍රනාන්දු, නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහත්වරුන් සහභාගි වූහ. ඊයේ(10) පස්වරුවේ පිටකෝට්ට සිරිකොත පක්ෂ මූස්ථානයේ පැවැති මාධ්‍ය හමුවෙන් අනතුරුව පස්වරු 2.45ට පමණ මෙම පිරිස පැමිණිල්ල දැමීම සඳහා මිරිහාන පොලීසියට පැමිණියහ.

මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා මෙහි දී ප්‍රකාශ කළේ කිරි පැකට් සිද්ධිය මුල් කර ගනිමින් තමන්ගේ කීර්ති නාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට එරෙහිව වන්දි නඩුවක් පවරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා-

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සහ අසත්‍ය ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව පූර්ණ පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලා මිරිහාන පොලීසියට ලිඛිතව පැමිණිල්ලක් කළා. පොලීසිය මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අවශ්‍ය සියලු ස්ථානවලට දැනුවත් කිරීම් කරණු ඇතැයිද අප බලාපොරොත්තු වනවා. බොරු චෝදනා එල්ලවන විට අපට නිවටයො සේ කටයුතු කරන්න බැහැ. ඒකයි අප කිරි පැකට් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වන්නෙ. ඒකාබද්ධයේ ජනබල මෙහෙයුමේ දී මිනිසුන්ට වහල්ලුන්ට වගේ කෑම ලබාදුන් ආකාරයේ වීඩියෝවක් අප මෙම ස්ථානයට පැමිණීමට පෙර සිරිකොත මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ප්‍රදර්ශනය කළා. ලොරිවලින් ජනතාව සිටින ස්ථානවලට ආහාර විසිකළ අන්දම අප දුටුවා. මෙහෙම කරන විට බඩවල් නරක් වන එක අහන්න දෙයක් නොවේ.

නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා-

මම අද දිනයේ නීතිය හා සාමය වැඩ බලන ඇමැති. අප රටේ නීතියට ගරු කරනවා. වර්තමානයේ කිසිවකු පසුගිය පාලන කාලයේ මෙන් නීතිය අතට ගෙන ක්‍රියා කරන්නෙ නැහැ. පොලිසියට තම රාජකාරී ගෞරවනීය ආකාරයෙන් කරන්න මේ රජය ඉඩ පහසුකම් සළස්වා තිබෙනවා. ඒ නිසා අප විශ්වාස කරනවා කිරි පැකට් සිද්ධියක් මුල් කර ගනිමින් අපට අවලාද නගමින් මඩ ප්‍රචාරය කරන කණ්ඩායමට එරෙහිව පොලීසිය සාධාරණ පරීක්ෂණයක් පවත්වයි කියා. මුජිබර් මන්ත්‍රීතුමා, හරීන් ඇමැතිතුමා සහ මම මේ කිරි පැකට් සිද්ධියට සම්බන්ද කරගෙන සිටිනවා. ෆේස්බුක් එකෙනුත් අපට මඩ ගහල තිබුණා. මේ සියලු කාරණා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙස මෙන් ඉල්ලා අප පැමිණිල්ලක් දැම්මා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්-

ජනබල මෙහෙයුමේ දී ජනතාව රෝගී වන අන්දමේ නරක්වූ කිරි පැකට් ලබා දුන් සියලු දෙනාම නීතිය හමුවට ගෙන ආ යුතුයි. එක්සත් ජාත්ක පක්ෂයේ අප මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිසක්. අපට අවශ්‍ය නැහැ කාගේවත් පෙළපාළිවලට නරක්වූ කිරි පැකට් ලබා දී ජනතාව අපහසුවට පත් කරන්න. කිරි පැකට් සිද්ධිය යොදා ගනිමින් ඔවුන් අපගේ කීර්ති නාමය විනාශ කිරීමට කටයුතු කරනවා නම් ඒකට එරෙහිවත් කටයුතු කළ යුතුයි. ඒකාබද්ධ විපක්ෂයටත් අප ප්‍රකාශ කරන්නෙ පරිභෝජනයට නුසුදුසු කිරි පැකට් සම්බන්ධයෙන් කුමන හෝ සත්‍යයක් දන්නවා නම් බොරුවට මාධ්‍ය සාකච්ඡා පවත්වන්නෙ නැතිව පොලීසියට පැමිණිල්ලක් කරන ලෙසයි. කිරි පැකට් සම්බන්ධයෙන් මට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් මම නීතිමය පියවර ගන්නවා.


නව අදහස දක්වන්න

Or log in with...