කිලෝමීටර් 2561ක අලුතෙන් විදුලි වැටක් | දිනමිණ

කිලෝමීටර් 2561ක අලුතෙන් විදුලි වැටක්

මානෙල් පුෂ්ප කුමාරි

දිගින් දිගටම සිදුවන මිනිස් ජීවිත හා වගා හානිය වළක්වා ගැනීමට පියවරක් ලෙස 2018-2019 වර්ෂ සඳහා කිලෝමීටර් 2561 ක අලුතෙන් විදුලි වැට ඉදි කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වසරකට අලි - මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 80ක් සහ අලි ඇතුන්ගේ ජීවිත 250ක් පමණ අහිමි වේ. ඒ අතර වගා හානි ද විශාල ප්‍රමාණයක් සිදු වන බවට වාර්තා වේ. මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ මිනිස් ක්‍රියාකරකම්, අවිධිමත් සංවර්ධන කටයුතු , ඔවුන්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග මිනිසා විසින් අහිමි කිරීමයි. මේ හැරුණු විට නියඟය වැනි දේශගුණික සහ පාරිසරික තත්ත්වයන් ද හේතුවී තිබේ. පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් මේ සතුන් වතුර සොයා ගම් වදිති.

ආර්ථික හා සමාජමය ගැටලුවක් බවට පත් ඇති මේ තත්ත්වයට පිළියමක් ලෙසින් අලුතෙන් විදුලි වැට ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.මේ සඳහා රුපියල් මිලියන 4963ක මුදලක් ආණ්ඩුව වෙන් කර ඇති බව දෙපාර්තමේන්තුව පැවසීය.

මේ වන විටත් දිස්ත්‍රික්ක 16ක් තුළ කිලෝමීටර් 4349ක විදුලි වැට ඉදි කර ඇත. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අක්‍රීව වී ඇති විදුලි වැට අලුත් වැඩියා කිරීම ද මෙයට සමගාමීව සිදුවන අතර සම්පූර්ණයෙන් කිලෝමීටර් 6910 ක පමණ අලි වැට ඉදිවනු ඇත.

මේ සඳහා අවශ්‍ය මානව සම්පත් වන අඩවි ආරක්ෂක නිලධාරීන්,සංවර්ධන නිලධාරීන්,රියැදුරන් බඳවා ගැනීමටත් මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙයට සිවිල් ආරක්ෂකයන්ගේ ද සහාය ලබා ගන්නා අතර විදුලි වැට කිලෝමීටරයක් නඩත්තු කිරීමට සිවිල් ආරක්ෂක භටයෙක් යොදවන බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කීය.

නව අදහස දක්වන්න