උතුරේ ආරක්ෂාව 100%ක් තහවුරුයි | දිනමිණ

උතුරේ ආරක්ෂාව 100%ක් තහවුරුයි

විජයානි එදිරිසිංහ

උතුරේ ආරක්ෂක තත්ත්වය සියයට සියයක් තහවුරු වී ඇති බවත්, යුද්ධ හමුදාව ඉතා හොඳ ආත්ම ශක්තියකින් සහ ආත්ම විශ්වාසයකින් සිටින බවත් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනනායක මහතා පැවසීය.

උතුරේ ආරක්ෂක තත්ත්වය දුර්වල බවටත්, එහි හමුදා කඳවුරු ඉවත්කර ගැනීමට කටයුතු කරන බවට සහ හමුදාව දුර්වල බවට විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරයවීම සම්බන්ධයෙන් හමුදාපතිව‍රයා මෙසේ කීය.

යුද්ධය අවසන් වී වසර දහයක පමණ කාලයක් ගතවී ඇත. එතැන් සිට මේ දක්වා උතුරේ ආරක්ෂාව හමුදාව ඉතාමත් හොඳින් පවත්වා ගෙන ගොස් ඇති අතර, හමුදා බුද්ධි අංශ ද නිරතුරුවම ආරක්ෂාව සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර සිටියි. තවද උතුරේ හමුදාව සහ සාමාන්‍ය ජනතාව අතර ඉතාමත් ඉහළ සංහිඳියාවක් පවත්වාගෙන යන අතර, එමඟින් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ගැටලු විසඳා දීමට කටයුතු කෙරේ. මේ ආකාරයට සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු ඉතාමත් හොඳින් පවත්වාගෙන යයි.

ඒ අතර හමුදා කඳවුරු ඉවත්කර ගන්නා බවට ඇතැම් පුද්ගලයන් කරන අසත්‍ය ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නොමැත. හමුදාවේ කිසිදු ප්‍රධාන කඳවුරක් ඉවත් කර ගැනීමක් සිදුවී නොමැති අතර, හමුදාව ඉතාමත් ශක්තිමත්ව සිටියි. හමුදාව දුර්වල යැයි ඇතැම් පුද්ගලයන් ගෙන යන ප්‍රචාරයේ පරමාර්තය කුමක්දැයි පැහැදිලි නැත.

යුද්ධය අවසන් වී කෙටි කාලයකින් උතුරේ ඉඩම් අතරින් අයිතිකරුවන් සිටි ඉඩම් එම පුද්ගලයන්ට ලබා දී ඇත. එසේ නොමැතිව හමුදාවට අයත් කඳවුරුවල ඉඩම් කිසිවක් ‍ හමුදාවට අහිමි වී නොමැති බව පවසන හමුදාපතිවරයා කිසිදු පදනමක් නොමැතිව පතුරුවා හරින කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, විවිධ වු පටු අරමුණු මුදුන් පත් කරගැනීමේ අරුමුණු මත මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් කියා සිටියි.

නව අදහස දක්වන්න