විදෙස් සංචාරකයන් ගන්නා භාණ්ඩවල වැට් බද්ද ආපසු ඔවුන් අතටම | දිනමිණ

විදෙස් සංචාරකයන් ගන්නා භාණ්ඩවල වැට් බද්ද ආපසු ඔවුන් අතටම

විදේශ සංචාරකයන් වැට් බදු අය කරන භාණ්ඩ මිල දී ගත් විට එම භාණ්ඩ සඳහා අය කරන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් අද (11) සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ සඳහා වන විශේෂ කවුළුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තයේ දී අද පස්වරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් විවෘත කෙරේ .

2018 අයවැය මඟින් යෝජිත මෙම ක්‍රමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන අතර, මෙම වැට් ආපසු ගෙවීමේ ක්‍රමයට ඇතුළත්වීම සඳහා වෙළෙඳ ආයතන හිමිකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ ව්‍යාපෘතිය යටතේ තම වෙළෙඳ ආයතනය ලියාපදිංචි කළ යුතුවේ.

දැනට භාණ්ඩ හා ඇඳුම් පැළඳුම් විකුණන වෙළෙඳසල් 18ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ විදේශිකයන් වෙත වැට් ආපසු ගෙවීමේ ක්‍රමයට දායක වීම සඳහා ලියාපදිංචි වී ඇත.

මෙම ක්‍රමයට දායක වීමට කැමැති ආයතන ඇත්නම් ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය හැකිය.

2018 අයවැය යෝජනාවක් සම්පූර්ණ කරමින්, ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් (Trading Hub) ලෙස ස්ථාපිත කිරීමේ එක් පියවරක් ලෙස විදේශ සංචාරකයන් වඩ වඩාත් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණ වේ.

මේ මඟින් ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙනයාමට හැකිවනු ඇත.

නව අදහස දක්වන්න