නාමල්ට ‘ජනබලය’ බැරිනම් ලහිරුට බාරදෙන්න | දිනමිණ

නාමල්ට ‘ජනබලය’ බැරිනම් ලහිරුට බාරදෙන්න

උපාලි කරුණාරත්න

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජනබලය කරන්න නොහැකි නම් එය ලහිරුට බාරදෙන්න කියා පැවැසීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මුද්‍රිත මාධ්‍ය, විද්යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජනබල මෙහෙයුම තුන් ආකාරයකින් වාර්තා කළ බව ද පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා සමාජ මාධ්‍යවල ජනබලයේ අසාර්ථක භාවය පිළිබඳ ඉතා හොඳින් පෙන්වාදුන් බව ද පැවැසීය. අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ජනබලයට සම්බන්ධ පුද්ගලයන්ට මාර්ග අවහිර නොකර ඕනෑම සිටීමට කාලයක් ඉඩ දෙන ලෙස යයිද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

ඒකාබද්ධ විපක්ෂය කෑලි කෑලිවලට කඩා දැමීම පිළිබඳ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ස්තුතිය පුද කරන බවත් එක්සත් ජාතික පාක්ෂිකයන් ඒකාබද්ධයේ පිරිස්වලට වහ දුන්නා කියා පෙන්වීමට නාමල් රාජපක්ෂ මහතාගේ පරිනත නොවූ දේශපාලන දැනුම උත්සාහ කරන බවත් විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

2020 දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා කීය.

අරාබි වසන්තය ක්‍රියාත්මක කිරීමට ජනබල මෙහෙයුම් දියත් කළ ඒකාබද්ධ විපක්ෂයට එය අරක්කු වසන්තයෙන් අවසන් කිරීමට සිදුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

මෙම අදහස් පළ වූයේ ඊයේ(10) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා-

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජන බල මෙහෙයුමේ දී කිරි පැකට් පානය කළ ජන කොටසක් රෝගීවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ඒකාබද්ධය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් අප පොලිස්පතිවරයාට සහ මිරිහාන පොලීසියට ලිඛිතව පැමිණිලි කරනවා. අසාර්ථක වූ රැලිය කිරිපැකට් එකක් ඉදිරියට දමා වසා දමන්න හඳනවා. මේ පිළිබඳ නාමල් බේබිට අපේ කනගාටුව ශෝකය ප්‍රකාශ කරනවා.

මෙවැනි සිදුවීම් පසුපස සිටිනෙ කවුද කියා තේරුම් ගන්න ජනතාවට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. මුස්ලිම් මන්ත්‍රීවරයෙක් තමා කිරි පැකට් සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධයේ පිරිස් අල්ලා ගෙන සිටින්නෙ. කිරි පැකට්වලට වහ දැම්මා කියා නැති ප්‍රශ්නයක් රට තුළ ඇති කරන්න ඒකාබද්ධයේ පිරිස් කටයුතු කරනවා. ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරනවා. යූ. ඇන්.පී කාරයා ශ්‍රී ලංකා කාරයාට වහ දුන්නා කියා ගම්වල ප්‍රචාරය කරන්න හදනවා. නාමල්ගෙ තිබෙන පටු මොලය තුළින් ඔහු මේ රටේ දේශපාලනය විනාශ කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ශක්තිමත් ඒකාබද්ධ විපක්ෂය කෑලි කෑලිවලට කඩා දැමීම පිළිබඳ ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට අප මෙම අවස්ථාවේ තුති පුදනවා. ජනබල මෙහෙයුමට පැමිණි පිරිස් විවිධ ස්ථානවල මත්පැන් පානය කරමින් වැටී සිටින අන්දම අප දුටුවා. නාමල් කියන ලෙස එක්සත් ජාතික පක්ෂය කාටවත් බොන්න දුන්නෙ නැහැ. නාමල්, යෝෂිත, රෝහිත නිසා පරාජය වූ මහින්ද රාජපක්ෂ මහතා දැන්වත් කරන කියන ක්‍රියාවන් පිළිබඳ බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි.

මුජිබුර් මන්ත්‍රීවරයා අදහන ආගම අනුව එතුමන්ලා මත්පැන් පානය කරන්නෙ නැහැ. මුජිබුර් මන්ත්‍රීවරයාට තුට්ටු දෙකේ චෝදනා එල්ල කිරීම සම්බන්ධව ඒකාබද්ධයේ පිරිස්වලට අප විරෝධය දක්වනවා. ඉන්ජක්ෂන් ගහන්න ඕනෙ කිරි පැකට්වලට නොවේ. විමල් මන්ත්‍රීවරයාගේ මොලේ වර්ධනය වන්නයි. කිරි පැකට් තොග වශයෙන් ගන්න අවස්ථාවක අදාළ සංවිධායකයෙකුට වරදක් සිදු වන්න ඇති. මේවා කාටත් හොඳ පාඩම්. භාවිතයට නුසුදුසු කිරි පැකට් පිළිබඳ පරීක්ෂයක් කරන්නෙ නැතිව එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල කිරීම වැරදියි. ඕනෑම පරීක්ෂණයකට සහයෝගය දිමට අප සූදානම්. මේ හැම ප්‍රශ්නයකම වගකීම නාමල් රාජපක්ෂ බාරගත යුතුයි. එම වගකීම නාමල් බාරගන්නෙ නැතිව එය එක්සත් ජාතික පක්ෂය මත පටවා රට තුළ ජාතිවාදයක් ඇති කරන්න උත්සාහ කරනවා. මේ තුළින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දේශපාලනයේ තිබෙන අනවබෝධය පැහැදිලි වෙනවා. එතුමා තාම කොලු ගැටයෙක්.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හෝටල් කාමරවල සිටි බවට පැහැදිලි වෙනවා. වීඩියෝත් මම දැක්කා. මොවුන් ආණ්ඩුව අරගන්නයි බලාපොරොත්තු වුණේ. හෝටල්වල සිට ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට ලඟයිනෙ. හම්බන්තොට සිට ක්ෂණයකින් පැමිණීමට අමාරුයි. ජනබලයේ දී ජනතාවට ලබාදුන් මත් පැන් අධි සාන්ද්‍රණ බව ඇතැමුන් පවසනවා. මේක කළේත් එක්සත් ජාතික පක්ෂය කියා ඉදිරියේ දී ඒකාබද්ධයේ ඇතැමුන් ප්‍රකාශ කරයි.

රාජ්‍ය පරිපාලන, කළමනාකරණ හා නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා-

ඒකාබද්ධ විපක්ෂයේ ජනබල මෙහෙයුම පසුගිය 05 දින කොළඹට පැමිණියේ ආණ්ඩු පෙරලන්න. රජය ගෙදර යවන්න. අලුත් ආණ්ඩුවක් හදන්න. අරලියගහ මන්දිරය, අධිකරණ සංකීර්ණය, පාර්ලිමේන්තුව, රූපවාහිනී සංස්තාව වැනි රජයේ මාධ්‍ය ආයතන වැටලීමේ සැළසුමක් ඔවුන්ට තිබුණා. හැබැයි ඔවුන්ට සිතූ පිරිස ගෙන ඒමට නොහැකි වුණා. ඒනිසා ඉලක්ක සපුරා ගත නොහැකි බව පස්වරුව වන විට ඔවුන් තේරුම් අරන් සිටියා. ඒනාසි උද්ඝෝෂණයට සහභාගි වූ ජනතාව ලේක් හවුස් වටරවුමට ගොනු කළා. ඒ වගේම පැයෙන් පැය ගත වෙද් දී ඒකාබද්ධයේ ජනබලය මෙහෙයවූ නායකයින්ට තේරුණා තම වැඩ සටහන අසාර්ථ වී තිබෙන බව. පැමිණි පිරිසෙන් බාගෙට බාගයක් මත් පැන් පානය කළා. ඒ වගේම පොලිසිය ප්‍රකෝප වෙයි කියා මොවුන් සිතුවා. එය සිදු වුනෙත් නැහැ. උද්ඝෝෂණයට පැමිණි පිරිස් වැටී සිටියෙ පොලීසිය ගහල නොවේ. කසිප්පු ගහල. 9.00-9.30 පමණ වන විට 2000-2500ක් සිටි බව කීවෙ වාසුදේව නානායක්කාර මහත්තය. මෙවැනි පිරිසකින් ආණ්ඩු පෙරලන්න පුලුවන්ද. ජනබලය මෙහෙයවූ නායකයින්ට ජනතාව පසුදා දක්වා තබා ගැනීමට නොහැකි වුණා. ජනතාව රඳවා ගැනීමට ඔවුන් ජනතාව ඉදිරියේ බැගෑපත් වුණා. වැඳ වැටුනා. තම නොහැකියාව සාධාරණීකරණය කරන්න ඒකාබද්ධය දැන් විවිධ සුරංගනා කතා කියනවා. ආණ්ඩුව එළවන්න කොළඹට ඇවිල්ල එය අසාර්ථක වූ පසු නාමල්, විමල්, ගම්මන්පිල තම හෙලුව වහ ගන්න කිරි පැකට් එකක් ඉස්සරහට දමමින් කටයුතු කරනවා. මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා නරක් වූ කිරි පැකට් බෙදූ බවට ඔවුන් චෝදනා කරනවා. අපට මේ වගේ බංකොළොත් වැඩ කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මිනිසුන් කන බොන එකට වස දැමීමේ පුරුදු අපට නැහැ. එම බංකොළොත් දේශපාලන ඉලක්කයට විමල් ඇතුළු කණ්ඩායම ගියේ අසාර්ථක වූ ජනබවය අමතක කරවීමට.

ජනබලය තිබූ දිනයේ ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ උපදෙස් අනුව කොළඹ නගරයේ නීතිය හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමට අප කටයුතු කළා. පොලීසිය මෙම ජනබලයට කදුලු ගෑස් ගැහුවේ නැහැ. අවශ්‍ය නම් අපට කදුගෑස් ගසා මේ පිරිස් පලවා හැරීමට තිබුණා. කිරි පැකට් විසවීම සම්බන්දයෙන් පොල්හේන මාතර පදිංචි රත්නසිරි ජයසූරිය නමැති මහත්මයෙක් එක පැමිණිල්ලක් කර තිබෙනවා. පුද්ගලයන් මේ නිසා පීඩාවට ලක් වූ බවට ඔහු පැමිණිලි කර තිබෙනවා. කිසිදු වාහනයක් හෝ දුන් කෙනෙක් හඳුනා ගත්තේ නැහැ කියා එම පැමිණිල්ලේ තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ජනබලය සංවිධානය කළ පිරිසට අපට හමුවන එකාබද්ධයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු අසභ්‍ය වචනයෙන් බැන වදිනවා. තමන්ගෙ තරම දැන ගෙන ජනබල මෙහෙයවිය යුතු බව ඔවුන් ප්‍රකාශ කරනවා. නාමල්ට ජනබලය කරන්න බැරි නම් එය ලහිරුට බාරදියන් කියා කියන්න අපට සිද්ධ වෙනවා. ලහිරු 500ක් අරන් කොළඹට පැමිණ ජනබල කණ්ඩායමට වඩා සෙල්ලම් දාල යනවා. නාමල්ව දේශපාලනයේ පෙරට ගෙන ඒමට ජනබලය මෙහෙයුම් තබා මහින්ද මහත්තයත් පස්ස බිම ඇන ගත්තා කියා තමයි අපට කියන්න තිබෙන්නෙ.

හිටපු ජනාධිපතිවරයා කොළඹ හෝටලයක මට මතක ලෙස 727 කාමරය වෙන් කර තිබූ බව වාර්තා වෙනවා. හිල්ටන්, ෂැන්ග්‍රීලා හෝටල්වලත් ඒකාබද්දයේ නායකයො කාමර වෙන්කරගෙන තිබුණා. පොලිස්පතිවරයා සහ මම ඉතා සමගියෙන් කටයුතු කරනවා. රාජ්‍ය සේවයේ අය උද්ඝෝෂණවලට පැමිණියා කියා පළිගන්න අප බලාපොරොත්තු වන්නෙ නැහැ.

පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා-

පසුගියදා පැවැති අපේ කණ්ඩායම් රැස්වීමේ දී මෙම ජනබල මෙහෙයුම පිළිබඳ කතා කළා. එහි දී එයට එරෙහිව කිසිවක් නොකිරීමට අප තීරණය කළා. ඒකාබද්ධය කරන කිරි පැකට් චෝදනාව අප ප්‍රතික්ෂේප කරනවා. විමල් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කීවා මාලිගාවත්තේ දී කිරි පැකට් බෙදූ බව. පොලීසියට පැමිණිල්ල දාන්න ගිය පුද්ගලයා කියනවා කිරි පැකට් කොම්පඤ්ඤ වීදියේ බෙදූ බව. මේවා පරස්පරයි. විමල්ගෙ ඔලුව ජෙල් ගහල දැන් කරවෙලා. කාගෙ ගෙවල් වලද කාලය ඉකුත් වූ ව්‍යාඝ්‍ර පෙති බීල කොල්ලො මැරුනෙ.

මහින්ද අගමැති කර කැබිනට් එක හදන බවයි ජනබලය පිළිබඳ අදහස් දැක්වූ ඒකාබද්ධයේ කතිකයින් ප්‍රකාශ කළේ. 06 දිනයේ ආණ්ඩුවේ සියලු දෙනා සිරභාරයට ගන්නයි ඔවුන් පැමිණියේ. ඒත් එය කර ගැනීමට ඔවුන්ට නොහැකි වුණා. මේ අයගේ සටන් තිබෙන තැන්වලට භාවිතයට නුසුදුසු කිරි පැකට් කවුරුන් හෝ බෙදුවොත් ඒකාබද්ධයේ සටන් අඩපන වන බවයි මෙවර ජන බලයෙන් පෙනෙන්නෙ. ෂෙහාන් සේමසිංහ සහ විමල් වීරවංශ මන්ත්‍රීවරුන්ට එරෙහිව මා නීතිමය පියවර ගන්නවා.

නව අදහස දක්වන්න