කීත් නොයාර් පැහැර ගැනීම ගෝඨාභයගෙන් හෙට ප්‍රකාශයක් | දිනමිණ

කීත් නොයාර් පැහැර ගැනීම ගෝඨාභයගෙන් හෙට ප්‍රකාශයක්

අමෝදා ජයමහ

ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හෙට(12) ප්‍රකාශයක් ලබා ගන්නා බව රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊයේ(10) ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවේ පැවැසීය.

නඩුව ඊයේ (10) කැඳ වූ අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අටවන සැකකරු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා හට ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3ක් මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දුන්නාය.

අමල් කරුණාසේකර මහතාගේ සහ ඇපකරුවන් තිදෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර සෑම මසකම අවසාන ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ අමල් කරුණාසේකර මහතා හට පෙනී සිටිය යුතු බවට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. තවද හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන්ද ඉදිරියට ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥවරිය මහේස්ත්‍රාත්වරියට දන්වා සිටියාය. නඩුව සැත්තැම්බර් (25) යළි කැඳවීමට නියමිතය.

නව අදහස දක්වන්න