විපතට පත්වූවන්ට සහන සැලසීමට යෙන් මිලියන 540ක් වෙන් කරයි | දිනමිණ

විපතට පත්වූවන්ට සහන සැලසීමට යෙන් මිලියන 540ක් වෙන් කරයි

ජපාන අගමැති ෂින්ෂෝ අබේ භූ කම්පනයෙන් හානියට පත් හොකයිදෝ ප්‍රදේශයේ හදිසි සංචාරයක නිරතව ආපසු ටෝකියොවට පැමිණි වහාම කැබිනට් රැස්වීමක් කැඳවමින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා යෙන් මිලියන 540ක් (ඇ.ඩො. මිලියන 4.9) රජය විසින් නිදහස් කරන බව ප්‍රකාශ කළේය.

මේ සංචාරය අතරතුර භූ කම්පනය හේතුවෙන් වැඩම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ අට්සුමා නම් කුඩා නගරයට යාමට ද අගමැතිවරයා අමතක කළේ නැත. ඒ වන විටත් එය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති බව නිල වාර්තා තහවුරු කර තිබුණි. අතුරුදන් පිරිස් සොයා සිදු කරන මෙහෙයුම් වලට වර්ෂාවෙන් තවදුරටත් බාධා එල්ල වන බව කලාපීය ආපදා කළමනාකරණ ආයතනය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. මේ මෙහෙයුම් සඳහා මධ්‍යම රජය විසින් බේරා ගැනීමේ නිලධාරීන් සහ ස්වයං ආරක්ෂක බළකා නිලධාරීන් 40,000ක් පමණ අනුයුක්ත කර ඇති බවත් බුල්ඩෝසර්, සුනඛයන් සහ හෙලිකොප්ටර් යොදවා ඇති බවත් අගමැති අබේ පැවසීය.

ජපානයේ ඇති වූ සුළි කුණාටුව පහව යාමටත් පෙර ප්‍රබල භූ කම්පනයකට මුහුණ දීමට සිදු විය. ජපානයේ උතුරු ප්‍රදේශයේ පිහිටි හොකයිඩො දිවයිනට මේ භූ කම්පන තත්ත්වය දැඩිව බලපා ඇති අතර ඒ හේතුවෙන් නිවාස හා දේපොළ රැසකට අලාභ හානි සිදු කරමින් නායයෑම් හා ගිලා බැසීම් රැසක් ද සිදු වූ ඇත.

මැග්නිටියුඩ් 6.7 ක් ලෙස වාර්තා වූ මේ භූ කම්පනයත් සමඟ නිවාස මිලියන තුනකට පමණ විදුලි බලය අහිමි වූ අතර කලාපයේ න්‍යෂ්ටික බලාගාර අක්‍රීය කෙරිණි. මෙහි කම්පනය කිලෝ මීටර් 62ක් දුරින් පිහිටි සපාරෝ වෙත දැනුණු බව ද වාර්තා වේ.

මීට දින දෙකකට පෙර ජපානයට ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් දස දෙනකු මිය ගිය අතර එය වසර විසි පහකට පසු ජපානයේ ඇති දරුණුතම සුළි කුණාටුව ලෙස වාර්තා විය. ජූනි මාසයේ ජපානයේ ඇති වූ ගංවතුරෙන් තුන් සිය දෙනකු පමණ මිය ගියේය.


නව අදහස දක්වන්න

Or log in with...