කවිය නිරුවත් කළ දමිළ කිවිඳිය | දිනමිණ

කවිය නිරුවත් කළ දමිළ කිවිඳිය

 2012 අප්‍රේල් මාසයේ දිනෙක, හයිද්‍රාබාද් හි ඔස්මානියා විශ්වවිද්‍යාලයේ සිසුන් දෙසීයක් පමණ උද්ඝෝෂණයක් ඇරඹුවේ, හරක් මස් කෑමට ඔවුනට ඇති අයිතිය වෙනුවෙනි. ඔවුන් සැම පහත් යැයි සම්මත ‘ඩාලිට්’ කුලයන්ට අයත් වූවන්ය.

ඔස්මානියා විශ්වවිද්‍යාලයීය ආපන ශාලාවේ එළුමස් හා මාළු තිබුණද, හරක් මස් තහනම් කෙරුණේ එය හින්දුන්ට අශුද්ධ, අකැප ආහාරයක් වූ බැවිනි. මෙම ආහාර අධිපතිවාදයට (food fascism) එරෙහිව ‘හරක් මස් ආහාර උළෙලක්’ (Beef Eating festival) සංවිධානය කිරීමට ඩාලිට් සිසුවෝ කටයුතු කළහ. විවිධාකාරයෙන් සකස් කළ හරක් මස් ආහාර වර්ග එහිදී අලෙවි වුණි. මෙයින් කිපුණු දක්ෂිණාංශික හින්දු සිසුන්ගේ සංවිධානය (අඛිල් භාරතී විද්‍යාර්ථි පර්ෂද්) ඩාලිට් සිසුන් හා ගැටෙන්නට වූහ. ඊට විරෝධය පෑමට පැවති, රැස්වීමට මීනා කන්දසාමි නමැති ප්‍රකට දමිළ කිවිඳිය ද සහභාගි වූවාය.

මෙය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බඳු විය. කොහොමටත්, ගිනි අවුළුවන කවි කාරියක (fire brand poet) සේ හින්දුන්ගේ උදහසට ලක්ව සිටි මීනාට දිගට හරහට පහර වැදෙන්නට ගති. සමාජ ජාලා ඔස්සේ ඇයට පරිභව කෙරුණේ ප්‍රසිද්ධියේ කිව නොහැකි අසැබි වදනිණි. දුරකථනයෙන් ඇයට මරණ තර්ජන එල්ල වුණි. වෛශ්‍යාවක ලෙස අපහසායට ලක් කෙරුණි. එක් හින්දු සමාජ ජාලයක් කියා සිටියේ මීනා ප්‍රසිද්ධියේ සමූහ දූෂණයකට ලක් කරමින් එය රූපවාහිනියෙන් සජීවි ලෙස විකාශනය කළ යුතු බවය.

කිවිඳියක වශයෙන් පමණක් නොව, සමාජ අසාධාරණයන්ට විරුද්ධ සමාජ ක්‍රියාකාරිණියක ද වන මීනා කන්දසාමිට මෙය අලුත් අත්දැකීමක් වූයේ නැති වුවද, ඇයගේ පාර්ශ්වය ගත් ඇතැම් සංවිධාන හින්දු අන්තවාදීන්ට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළහ.

මීනා තම කවිය ගැන මෙසේ පවසයි.

‘මගේ කවිය නිරුවත්.

මගේ කවිය කෝපාන්විතයි. එය වේදනාවේ හඬයි. මගේ කවියෙන් නැ‍ඟෙන්නේ රුධිර ගන්ධයයි. එසේම එය මිනිසුන්ගේ කැපවීමට කරනා උපහාරයකි. මගේ කවිය යනු මගේ මිනිසුන්ගේ කට හඬයි. මගේ භාෂාව, පිරිමින් නිපදවූ භාෂාව නොවේ. එය අඳුරුයි. භයානකයි.’

1984 දී උපත ලද මීනාගේ මුල් නම වූයේ, ඉලෙයිනාල් කන්දසාමි ය. පසුව, කවි ලිවීමට පටන් ගත් කල, ඇය ‘මීනා’ නාමය ද එක් කර ගත්තාය. මීනා, වයස 17 සිටම කවි ලියන්නීය. ඇගේ දෙමව්පියෝ, මහාචාර්යවරු ලෙස සේවය කරති. එනිසා, බාලවියේ සිටම තම නිවසට එන යන වියතුන්ගේ හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඇසුර ලබන්නට, ඔවුන්ගේ කතාබහට සවන් දෙන්නට ඇයට හැකි වුණි. සමස්ත ඉන්දීය කවි තරග දෙකකදීම ප්‍රථම ස්ථානය හිමිවීමෙන් මීනා දිරිමත් වූවාය. කවියට අමතරව, ඩාලිට් ලේඛකයන්ගේ හා නායකයන්ගේ කෘතීන් ඉංග්‍රීසියට නැඟීමටද ඇය පෙළඹුණේ ශිෂ්‍ය අවධියෙහිමය.

වාග් විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබන මීනා, අමෙරිකාවේදී හා එංගලන්තයේදී ලේඛකත්ව පාඨමාලා දෙකකටද සහභාගි වූවාය. ඉන්දීය සමාජය තුළ කුලය, දූෂණය, ස්ත්‍රී පීඩනය හා වෙනත් සමාජ අසාධාරණයන් පිළිලයක් බවට පත්ව ඇති නිරීක්ෂණයෙහි යෙදෙන මීනා, තම කවියට මෙන්ම පුවත්පත් ලිපිවලටද එය විෂය කර ගනී. ‘අවුට් ලුක් ඉන්ඩියා’, ‘ද හින්දු’ වැනි පුවත්පත් සඟරාදියටද , මුහුණු පොත හා ට්විටර් (Twitter) වැනි සමාජ ජාලයන්හිද ඇගේ ලිපි නිතර පළ වෙයි. 2001 – 2002 වර්ෂයන්හි ‘ද ඩාලිට්’ නමැති ද්විමාසික සඟරාවේ සංස්කාරකවරිය වූයේද මීනා ය.

ඉන්දීය ජනප්‍රවාදයන්හි හා මිථ්‍යා කථාවන්හි එන සිද්ධීන් හා චරිත නව අර්ථකථනයට ලක් කිරීමද, මීනාගේ නිර්මාණයන්හි දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. එහිදී ඇය සීතා හෝ දෞපධි වැනි චරිත දෙස බලන ආකාරය, හින්දුන්ගේ උදහසට හේතු විය.

ආගමත්, දේශපාලන බලයත් එක්වීමේ දුර්විපාක, ඉන්දියාව තුළ නිතර දක්නට ලැබෙයි. හුසේන් වැනි ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියෙකුට පවා, ඉන්දියාව අතැර මැදපෙරදිග රටකට පලා යාමට සිදුවූයේ, ඔහුගේ කලාවට එල්ල වූ හින්දු ප්‍රහාර නිසාය. මීනාටද දිගු කෙරෙන්නේ එම හස්තමය. ඇගේ දෙමව්පියන්ද නිර්ආගමික, නිදහස් මතධාරීන්ය.

මීනාගේ සාහිත්‍ය ලෝකයේ පරමාදර්ශී චරිතයන් ලෙස ඇය සලකන්නේ කමලාදාස් සහ අරුන්දතී රෝයිය. ඇගේ මුල්ම කව් එකතුව වු ‘Touch’ හි (ස්පර්ශය) පෙරවදන ලියූවේද කමලා දාස්ය.

මීනා පවසන අන්දමට, ඇය අරුන්දතී රෝයි කෙරෙහි ආකර්ෂණය වූයේ, පාසල් වියේදී, ‘ ද ගෝඩ් ඔෆ් ස්මෝල් කිංග්ස්’ (අරුන්දතී‍ගේද ප්‍රථම නවකතාව) කියවීමත් සමඟය. මීනා මෙසේ පවසයි.

‘දැන් මගේ දවස පටන් ගන්නේත්, අවසන් වන්නේත් අරුන්දතී රෝයි සමඟින් යැයි කිව හැකියි. ඇත්තෙන්ම මා ඇයට වන්දනය කරනවා.’

මුල් කවි පොත, භාෂා 5කට පරිවර්තනය වීම මීනාගේ මහත් සතුටට හේතු විය. 2010 දී ඇය තම දෙවෙනි කව් එකතුව මිලිටන්සි මහත්මිය (Ms Militancy) නමින් පළ කෙරුණි.

‘ටච්’ කව් එකතුව විචාරකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වූයේ, එහි ඉංග්‍රීසියෙහි ඇති සාවද්‍යතා නිසාය. අක්ෂර වින්‍යාසය ගැන පවා ඇය නොසැලකිලිමත් යැයි ‘ද හින්දු’ පත්‍රයේ විචාරකයා පැවසීය. එහෙත්, දෙවෙනි කෘතියේදී ඇය ඒ කෙරෙහි තම අවධානය යොමු කර තිබුණි.

මීනා එකඟවන අන්දමටම, ඇගේ නිරුවත් කවියට භාෂාමය වස්ත්‍ර මඟින් අලංකාරයක් ලබා දීමට අවශ්‍ය නැත. ඉංග්‍රීසි කවීන් යොදන ‘ෆක්’, ‘ෂීට්’ වැනි බාල වදන්ද ඇගේ කවි තුළ දක්නට ලැබෙයි. සම්මත කාව්‍ය රීතීන් හෝ ආකෘතීන් බැහැර කරන මීනා, තමා ‘රැඩිකල් කිවිඳියක’ බව සිය නිදහස් කවිය තුළින් පළ කරයි. මේ ඇයගේ ‘දියණියෝ’ නමැති කවියේ අනුවාදයකි.

‘පැරසිටමෝල් ජනප්‍රවාද
අසා ඇත්තෙමි.
උණ වේදනා වැඩි කරනු මිස
සමනයක් නම් නො දෙන
අපේ තාත්තලාගේත්, තාත්තලාගේ
අම්මලාගේත් අම්මලාගේ සිටම
අපේ ගැහැනුන්ට තිබුණා
පොළව ඇමදෙන තරම් දිගු කෙස් වැටි
ඔවුන්ගේ සම පැණි පැහැතිය
දෑස්, දුඹුරු පැහැතිය
ලස්සන නැතැයි කීය ඔවුන්
අපේ ගැහැනු
එක් ගැහැනියක්
විවාහ වුණා
මිනී දහතුනක් මැරූ මිනිහෙකු සමඟ
එක් හුදෙකලා ගිම්හානයකදි ඇය
සහල් පැහැති දත් දෙපළින්
ඉරා දැමුවා
තමා ‘කොලනිගත’ කරන්නට සැරසුණු
සුදු සෙබළෙකුගේ කාකි ඇඳුම
නිල ඇඳුමක නිල් පැහැ ගත්
අහස කුස යට
උමතු සිත්තරෙක් අඳියි
හරිත බිම් කඩක්
ලිලීමල් ගැවසි දිය විලක්
නිසලව හිඳිමින්
මගේ පියාගේ නිවසට
යාබද තැනක වෙසෙයි
තරුණ බිරිඳක්
බේබදු සැමියෙකු සමඟ
නිතර නිතර තම බිරියට
ගුටි බැට දීම
ඔහු සිරිතකි, වෙනස් නොවන
එක් කුණාටු රැයෙක
ඇය මරා දැමුවාය ඔහු
වී ගෝනි මත හපා
අපි : ඔවුන්ගේ දියණියෝ
අපි : ඔවුන්ගේ පොළවේම දියණියෝ
අපි : ඔවුන් ගැන නිරතුරුව ලියන ...

නර්මදා වේල්ල ඉදිකිරීම නිසා, උන්හිටි තැන් අහිමිවූ දිළිඳු ජනයා වෙනුවෙන් , අරුන්දතී රෝයි දැවැන්ත උද්ඝෝෂණයකට මුල පිරූ අතර, එහෙයින් ඇයට සිරගත වන්නට පවා සිදුවුණි. අරුන්දතියගේ ‘බැතිමත් අනුගාමිනියක’ වන මීනාගේ ‘ගිනි’ (Fire) නමැති කවද, එබඳු ඛේදවාචයක් තේමා කර ගනී.

අඳුරු දුම් ගොබ - නැ‍ඟෙයි අහසට
කැමරා එළි දැල්වෙයි
මහ විනාශයක් වාර්තා කෙරුම
හෙට පුවත්පත්වල
ගිනි ගනී පැල්පත්
නැ‍ඟෙයි විලාප දසතින්
ගිනි නිවන රථ පැමිණෙයි
එහෙත් දැන් ප්‍රමාදයි
නැ‍ඟෙයි ඇණ ගැසූ පාවහන් හඬ
පොඩි කර දමන්නා සේ ගොළු බෙලි කටු
නැඟුණත් අසරණුන්ගේ හඬ
නොමැත කිසි පිළිසරණක් නම්

කුලීනයන්ට එරෙහිව මීනා ලියූ ‘අවසන් පැනය’ (ultimate Question) ද සරළ වදන් පෙළික් ලියූ, උත්ප්‍රාසාත්මක කවකි.

ද්විත්වාකාර නැත
ආත්මය බමුණාත් දෙවියාත් එකමය
එක හා සමානය.
හැකිවෙද මට
අස්පර්ශනීය කුලයක උපන්
දෙවියෙකු වන්නට
එකඟ වන්නේද ඔබ ඊට ?
ඔබේ පිළිතුර
ඔබේ දෙවියන් මඟින්
දෙසන්න මට.
තවත් එකම එක පැනයක් ඇත
අස්පර්ශනීය ආත්මයක්
බ්‍රාහ්මණ ආත්මයක්
කිසිදා එකක් වනු ඇතිද?

කිවිඳියක වශයෙන්, ලොව කොතැනක හෝ සිදුවන සමාජ දේශපාලන අසාධාරණයන්ට මීනා විරෝධය පළ කළාය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේදී, දමිළ ජනයා විඳි දුක් කම්කටොළු ගැන ඇය කම්පා වූවාය. ඊළාම් හිතවාදී කවියන් ලෙස සැලකුණු ජෙයපාලන් කාසි ආනන්දන් හා චේරන්ගේ කවි ඉංග්‍රීසියට නැඟුවේ එහෙයිනි. ඇය ද ශ්‍රී ලාංකීය දමිළ ජනයා හා යුද්ධය ගැන කවි ලියුවාය. එහෙත්, එකල දකුණු ඉන්දියාවේ පැතිර ගිය, අසත්‍ය කතාද ඇගේ ඇතැම් කව්වලට මැදිව ඇති බැව් පෙනෙයි.

මීනා කන්දසාමි, නවකතා දෙකක කතුවරියකි. 2014 දී ඇය පළ කළ අහිකුණ්ඩික දෙවඟන යන අරුත් දෙන ‘The Gypsy Goddess’ සඳහා පසුබිම් වූයේ, 1968 දී ඩාලිට් කෘෂි-කම්කරුවන් 44 දෙනකු ඝාතනය කිරීමේ ඛේදවාචකයයි.

රංගනයෙහිද දක්ෂතාවක් දක්වන මීනා ‘ඕරාල්පොක්කම්’ (Oralppokkam) නමැති මලයාලම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළාය. ‘ඔන් ලයින්’ රසික ආධාරයෙන් නිපද වූ ප්‍රථම මලයාලම් චිත්‍රපටය වන එය අධ්‍යක්ෂණය කළේ, සනාල් කුමාර් සසිධරන් ය.

කපිල කුමාර කාලිංග
[email protected]


නව අදහස දක්වන්න

Or log in with...