මිනිස්සුන්ට හිනාවෙමුද? | දිනමිණ

මිනිස්සුන්ට හිනාවෙමුද?

හරමානිස් උන්දෑ කාටද බණිමින්, දෙස් දෙවොල් තියමින් පෙට්ටි කඩේ පැත්තට ආවා. මූණ කළු කරගෙන ප්ලේන්ටියක් බිබී හිටපු සුදු මහත්තයා, වීදුරුව කවුන්ටරේ ලෑල්ල උඩින් තියලා, මාරුවුණා. 'සුදු මහත්තයා' කියලා කවුරු කීවත්, ඒ මහත්තයා 'සුදුම සුදු' නොවන විත්තිය ගමේ කවුරුත් දන්නවා. ඉස්කෝලෙ මහත්තයා, යාම්තමට ඔළුව වනලා, 'මෙදා සැරේ මොකක් හරි යංචියක් ඇදලා ඇති‘ කීවේ, හරමානිස් උන්දෑගේ ඉලක්කය, සුදු මහත්තයා බැව් ඉවෙන් මෙන් දැනුණු හින්දයි. ටිකෙන් ටික පෙට්ටි කඩේට ළංවෙච්චි හරමානිස් උන්දෑ තමන්ගේ හිත් ආවේගයේ ගැම්ම පිටින්ම කළු ජෙමාටත්, සද්දය දැම්මා.

“දාපන් මට ප්ලේන්ටියක්. උඹ ඉතිං මෙතෙන්ට එන කොල්ලන්ටයි බල්ලන්ටයි ඔක්කෝටම එක විදිහට සලකන එකානේ“ උන්දෑ කීවා.

ඒ කතාවේ ස්වර මට්ටම ඉහළ වුණත් ඒකෙ තිබ්බෙ තරහක්ද, උපහාසයක්ද කියන එක නම් එක පාරටම අපි කාටවත් තේරුණේ නෑ.

“ඉතිං ඔය තරම් කේන්ති අරන් කෑ කෝ ගහන්න හේතුව මොකක්දැයි අපි දන්නෙ නෑ. වරදක් නැත්නම් කීවොත් මිසක් ඔහේ හිතේ එකක් තියාගෙන තරහ පිට කරාට අපිට ඉතිං තේරෙන එකක්යැ.“ ඉස්කෝ‍ලෙ මහත්තයා තේරෙන සිංහලෙන් කියල දැම්මා. කළු ජෙමා වත්කරලා දුන්නු ප්ලේන්ටියෙන් උගුරක් දෙකක් ඇද්ද, හරමානිස් උන්නැහේ උගුර පාදලා කතා කරන්න ගත්තා.

“මං ඉතිං කුලියක් මලියක් කරලා එදාවේල ගැටගහගෙන ජීවත්වෙන මිනිහා බව ඉස්කෝලෙ මහත්තයා දන්නවනෙ. සතියක් එක දිගට වත්තක් ශුද්ධ බුද්ද කරන්න තිබ්බ වැඩක් මං බාර අරන් තිබ්බා. දවසකට දාහ ගානෙ දවස් පහක් වැඩ කරා නම් පන්දාහක් අතේ. කොහෙද අර මගෝඩි මහත්තයා මොකක්ද රැස්වීමකට යන්න එන්න කීවා දවසකට පන්දාහක් දෙන්නම් කියලා. බෝතලයකුයි, බත් පාර්සලයකුයි, අතට පන්දාහකුයි දවසකට හම්බවෙනවනම් මං වගේ කුලී කාරයෙක් බෑ කියනවද? මං ඉතිං හා කියලා ගියා. අපි ඉතිං ගමටම ගෙනත් දුන්නු බස් එකෙන් කොළඹ ගියා. කියන්න කීව සටන් පාඨත් ඔක්කොම කීවා. අන්තිමට රෑ වෙලා ගමට ඇවිත් ගණන් බේරද්දි දාහක් විතරයි.“ හරමානිස් උන්දෑ ප්ලේන්ටියෙන් තවත් උගුරක් බිව්වා.

“ඉතිං දවසකට කුලිය දාහ නොවැ“ කළු ජෙමා, ඇතුළේ ඉඳන්ම කට දැම්මා.

“උඹල ඔක්කොම එක වල්ලෙ පොල්. යකෝ ඉතිං ඒ දාහ හොයන්න මං කොළඹ යන්නෙ මොන ඉටි ගෙඩියටද? මෙහේ ඉඳන් හොයාගන්න තිබ්බනෙ. දෙයියනේ කියලා අර වත්ත ශුද්ධ කරා නම් හවස හතර පහ වෙද්දි දවසේ වැඩ ටික ඉවර කරලා නාගෙන ගෙදරට වෙලා නිදහසේ ඉන්න තිබ්බා.“

“ඉතිං හෙට ඉඳලා ඒ වැඩේ කරන්න බැරියැ“ කළු ජෙමා කීවා.

“අනෙ මොකටද මගෙ කට. කුලියක් දීලා වැඩක් කරගන්න මිනිස්සු එකම මිනිහෙක් එනකල් මග බලාගෙන ඉන්නවද? එක මිනිහෙකුට බැරි නම් තව මිනිහෙක් දාලා වැඩේ කරගන්නවා. මං අද උදේ ගියා රාලහාමි හම්බවෙන්න. එහා ගමේ කරෝලිස් ඒ වැඩේ බාර අරන් කරනවා. දෙයියනේ කියලා ඒ මිනිහට දවසක් පහකට නෙවෙයි, හත අටකට වැඩ තියෙනවා. මේ පාහරයා කරපු දෙයින් මිසක් ඒ වැඩේ මට නොවැ එන්න තිබ්බෙ. දැන් මට පොරොන්දු වෙච්චි සල්ලිත් නෑ. කරන්න හිටපු වැඩෙත් නෑ.“ හරමානිස් උන්දෑ කේන්තියෙන් කියන්න ගත්තා.

'හරිහෙ කන්න ගියාම ඔහොම වෙනවා‘ ඒ කතාව නම් කීවෙ කරත්ත අජියා. මේ වෙද්දි ඒ කොල්ලො මේ වයසක උන්දැව සෙල්ලමට අරන් තිබ්බා. කොල්ලො කුරුට්ටො උන්දැව කේන්ති ගස්සන්න තවත් එක එක කූනිච්චං කතා කීවා. කළු ජෙමත් කවුන්ටරේ මැදින් ඔළුව දම දමා හිනාවෙනවා.

‘තොපි ඔක්කොම මකබෑවියව්‘ හොඳටම කේන්ති ගිය හරමානිස් උන්දෑ ගසා බසා දාලා නැගිට එතනින් යන්න ගියේ අතේ තිබුණු රුපියල් දහයේ කාසියක් පෙට්ටිකඩේ කවුන්ටරයෙන් ඇතුළට වීසි කරමින්. තමන් බීව ප්ලේන්ටියේ සල්ලි ඒ විදිහට වීසි කරලා උන්දෑ යන්න ගියේ පෙට්ටි කඩේ ළඟ හිටපු ඔක්කෝටමත් අප්පා මුත්තා ආදී හත්මුතු පරම්පරාවම සිහිපත් කරමින්.

‘අපි මේ මිනිස්සුන්ට හිනාවෙලා වැඩක් නෑ. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැතුව එදාවේල ගැට ගහගන්න හදන උත්සාහයත් අවස්ථාවදී දේශපාලකයින් තමන්ගෙ අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා. අපි ඒක ඒ මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඕන. අපි ‍මොනව කීවත් ඒ මිනිස්සුන්ටත් ඡන්ද බලය තියෙනවා. ඒ වගේ මිනිස්සුන්ගෙ ඡන්දෙන් තමා ඔය ගොඩක් උන් තේරිලා පත්වෙන්නෙ. ඉතිං ඒ මිනිස්සුන්ට කරුණු කාරණා කියලා දීලා, අපටත් පුළුවන් විදිහට ඒ මිනිස්සුන්ට එදිනෙදා ජීවත් වෙන්නත් අතදීලා, ඒ මිනිසුන්ව දිනාගන්න වැඩපිළිවෙළක් තිබ්බොත් විතරයි අනාගතයේ දවසක මේ රට හොඳ දිශාවකට තල්ලු කරන්න පුළුවන් වෙන්නෙ. එහෙම නැතුව අපි ඒ මිනිස්සුන්ට හිනාවෙන එකෙන් වෙන්නෙ අපි අපිටම හිනාවෙනවා වගේ දෙයක්‘ ඉස්කෝලෙ මහත්තයා කීවා.

ඒ කතාවට කළු ජෙමාගෙත් හිනාව මැකිලා ගියා. කොල්ලො කුරුට්ටො කීප දෙනත් ටිකක් කල්පනා කරන්න ගත්තා. වෙනදට මොන මොන මරි මෝඩ කතා කීවත්, ඉස්කෝලෙ මහත්තයා අද කීව දේ නම් ඇත්ත නේද කියලා මටත් හිතුණා.

අපි මිනිස්සුන්ට හිනාවෙන එක නවත්තලා ඒ මිනිස්සුත් එක්කම හිනාවෙන්න විදිහක් හොයාගන්න ඕන. එතැන තමා වැඩේ තියෙන්නෙ.

බණ්ඩි රාල


නව අදහස දක්වන්න

Or log in with...