රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ සිට රජත පුස්තකය දක්වා | දිනමිණ

රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ සිට රජත පුස්තකය දක්වා

සැප්තැම්බරය සාහිත්‍ය සම්මාන මාසයයි. එය වසන්තයක් ලෙස හැඳින්වීම ඇරැඹුණේ 2006 වසරේ සිට, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ප්‍රථම වරට වසරේ හොඳම නවකතාවට, රුපියල් ලක්ෂ පහක සම්මානයක් පිරිනමමින්, එම නවකතාව ස්වර්ණ පුස්තකය ලෙස නම් කිරීමත් ඊට සමගාමීව දින දහයක් පුරා පවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් නිසාය. කොළඹ බණඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය පුරා පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය සැණකෙළි සිරියක් ගනිමින් ලක් වැසියන්ගේ සංස්කෘතික දිනපොතෙහි වැදගත් කාලයක් ලෙස අත් නොහැරිය යුතු අංගයක් ලෙස සටහන්වන්නට පටන් ගෙන වසර වසර දහයකටත් වඩා දිගු කාලයක් ගෙවී හමාරය. 2006 දී පැවැත්වුණු ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී ස්වර්ණ පුස්තකයක් සොයා ගැනීමට අපොහොසත් වූ විනිශ්චයකරුවෝ 2007 සිට මේ දක්වා අඩ මිලියනයක් බැඳි පියල්ලෙන් ස්වර්ණ පුස්තක නවකතා සඳහා සම්මාන පිරිනමා ඇති බව පෙනේ. අඩ මිලියනය පසුගිය දෙවසර තුළ දී රුපියල් අටලක්ෂ පන්දහසක් දක්වා ( 750,000 + 100,000.00 ) වැඩි කිරීමට ප්‍රකාශක සංගමය නොමසුරු වී ඇති බව ද අපි දනිමු. ස්වර්ණ පුස්තක සම්මානය යනු නවකතාවකට පමණක් පිදෙන වටිනා සම්මානයක් වුව, මෙරට සාහිත්‍ය සම්මාන ඉතිහාසයේ කීර්තිමත්ම හා ගෞරවණීය ( Prestigious ) සම්මාන සේ අදත් සාහිත්‍ය ලෝකය විසින් පිළිගනු ලබන්නේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය බව අවිවාදිතය. 1956 පළමුවරට සංස්කෘතික අමාත්‍යාංශයක් පිහිටුවීමත්, 1957 දී පළමු රාජ්‍ය සාහිත්‍ය උළෙල කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙණෙහි පැවැත්වීමත්, 1959 දී ප්‍රථම වරට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පවත්වා තිබීමත් දශක හයකටත් වඩා පැරණි රාජ්‍ය සාහිත්‍ය උළෙල ඉතිහසයේ වැදගත් කඩඉම් ය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අනෙක් උළෙලකින් වෙන් වී සුවිශේෂ වන්නේ භාෂා ත්‍රයෙන්ම පළවන විශිෂ්ට කෘතී වර්ගීකරණ රැසකට සම්මාන පිරිනැමෙන ශ්‍රී ලංකාවේ පළමු හා එකම සාහිත්‍ය සම්මාන උළෙල එය බැවිනි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භයේ සිට අද දින පැවැත්වෙන 2018 සම්මාන ප්‍රදානය තෙක් ශ්‍රී ලංකාවේ, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් රචිත නිර්මාණ සාහිත්‍යයේ, ශාස්ත්‍රීය හා පර්යේෂණ ක්ෂේත්‍රයේ පළ වූ විශිෂ්ට නිර්මාණ විශාල ප්‍රමාණයක් ද, ඒවා රචනා කළා වූ විශිෂ්ටයන්ගේ නාමාවලියක් ද මේ මොහොතේ සිහිපත් වේ. සම්මාන ප්‍රදානයකින් පසු නිසැක වශයෙන්ම දක්නට ලැබෙන චෝදනා, ගැරහුම්, අවමන් නො අඩුව අසන්නට ලැබුණ ද රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ ගෞරවනීයත්වයට ළං වන්නට සමත් වූ අන් එකදු සම්මාන උළෙලක් හෝ පිළිබඳ මෙරට සාහිත්‍යකාමීහු දන්නවාදැයි නොදනිමු. ඩී.ආර්.විජේවර්ධන අනුස්මරණ නවකතා අත් පිටපත් තරගය, විභවි සංස්කෘතික මධ්‍යස්ථානය මෙහෙය වූ සාහිත්‍ය සම්මාන උළෙල, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන, ස්වර්ණ පද්ම සාහිත්‍ය සම්මාන , ස්වර්ණ පුස්තක, කවිතා සාහිත්‍ය සම්මාන හා රජත පුස්තක සම්මාන උළෙල, ආදිය තෙක් විවිධ වර්ගයේ සම්මාන උළෙල ඉතිහාසයක් අප සතුව ඇත. කවිතා සාහිත්‍ය සම්මාන සීමා වූයේ මෙරට සරසවි ප්‍රජාව අතරින් තෝරගත් විශිෂ්ට නවකතා, කෙටිකතා, පද්‍ය හා ගේය කාව්‍ය නිර්මාණ කුසලතා වෙනුවෙනි. ස්වර්ණ පද්ම සම්මාන පිදුණේ විශිෂ්ට නවකතාව, කෙටිකතා හා කාව්‍ය සංග්‍රහය වෙනුවෙනි. එහි අර්ථපතිත්වය දරන ලද්දේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන සාහිත්‍යකාමී සිංහලයන් විසිනි. විභවි විකල්ප සම්මාන උළෙල සමඟ මහැදුරු සුචරිත ගම්ලත්ගේ නාමය මතකයට නැගේ. විකල්ප සාහිත්‍ය සම්මාන උළෙල අතර, කැපී පෙනෙන හා සාහිත්‍යකරුවන්ගේ විශ්වාසය දිනා ගත් හා ගෞරවයට පාත්‍ර වූ එකම සාහිත්‍ය සම්මාන උළෙල ලෙස මතකයට නැගෙන්නේ නවකතා, කෙටිකතා, පද්‍ය කාව්‍ය, ගේය කාව්‍ය හා ජනමාධ්‍ය විශිෂ්ට නිර්මාණ සඳහා සම්මාන පිදුණු විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල පමණි. මෙහි දී මෙම උළෙල සංකල්පයේ හා දීර්ඝ කාලයක් පවත්වාගෙන ඒමේ ගෞරවයට පාත්‍රවන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නය. ඔහු සරසවි ආචාර්ය මණඩල ජීවිතයෙන් ඉසිඹු ලැබීම විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල අභාවය සටහන් කිරීම වූ බව තතු දත්තෝ දනිති. ගේය කාව්‍ය සම්මානය, ජනමාධ්‍ය සම්මානය කප්පාදු කරමින් දහම් පාසල් ත්‍යාග බෙදා දීමක් බඳු සම්මාන උළෙලක් පැවැත් වූ හා එහි මළගමට දායක වූ ජයවර්ධනපුර සරසවියේ ඇදුරු, මහැදුරන්ට සෙතක්ම වේවා! මෙලෙස අභාවයට පත් වූ හා පත් කරන ලද සම්මාන උළෙල අතරින් වාර්ෂිකව රාජ්‍ය සාහිත්‍ය උළෙලට විකල්පව අඛණ්ඩව සම්මාන පිරිනැමෙන උළෙල අතර පිළිවෙලින්, ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල, ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සම්මාන උළෙල ප්‍රමුඛ වේ. එහෙත් මේ එකදු සම්මාන උත්සවයක් හෝ රාජ්‍ය සාහිත්‍ය උළෙල හා සසැඳීම කළ නොහැක්කේ තෝරාගත් ක්ෂේත්‍ර හා පිරිනැමෙන සම්මාන සංඛ්‍යාව අතර විශාල පරතරයක් වන බැවිනි. වැදගත්ම කරුණ වන්නේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය යනු රජයේ අනුග්‍රහයෙන්, රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උළෙල සම්මානයක් වීමයි. අද වන විට ස්වර්ණ පුස්තක නවකතා සම්මානය හැර, සම්මාන පිදෙන සියලු සාහිත්‍ය උළෙල අවසන්ය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අද පස්වරුවේ පැවත්වෙන බැවින් එහි සම්මානලාභීන් කවුරුද කියාත් නොදනිමු. රජත පුස්තක කාව්‍ය, කෙටිකතා, යොවුන් නවකතා සම්මාන ද, ගොඩගේ කාව්‍ය, කෙටිකතා, යොවුන් නවකතා හා නවකතා සම්මාන ද පිරිනමා හමාර බැවින් මේ ක්ෂේත්‍ර සඳහා රාජ්‍ය සම්මානලාභීන් මෙන්ම ස්වර්ණ පුස්තක නවකතාව කුමක් ද යන්න දැන ගැනීමේ කුතුහලය සාහිත්‍යකරුවන් හා පාඨකයන් අතර වන බව දනිමු. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උණුසුම, උද්‍යෝගය, සමඟ අද දවස ඇරඹී නිමාවී යන්නේ මේ වසරේ විශාලතම මූල්‍ය ත්‍යාගය සහිත ස්වර්ණ පුස්තක සම්මානය කුමන නවකතාවට හිමි වේ ද යන්න පිළිබඳ දහසක් අනාවැකි සමඟය. සාහිත්‍ය සම්මාන වසන්තයේ සැබෑම සැණකෙළි වසන්තය ඇරැඹෙන්නේ, සම්මාන ප්‍රතිඵල පශ්චාද් මරණ පරීක්ෂණ ගිනි කෙළි සමඟ බවයි අපට හැඟෙන්නේ.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල වසරින් වසර සම්මානලාභීන්ට පිරිනැමෙන මූල්‍යමය සම්මානයේ වටිනාකම ද ඉහළ නංවමින්, නව ක්ෂේත්‍ර සඳහා සම්මාන පිරිනැමීම හඳුන්වා දෙමින්, සම්මාන විනිශ්චයේ පාරදෘශ්‍යභාවය රැකගනිමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන උසස්ම සාහිත්‍ය සම්මාන ප්‍රදාන උළෙල හැට එක්වන වරට අද දින පවත්වන්නේ එහි අතීත අභිමානය ද සිහිගන්වමිනි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ද ස්වර්ණ පුස්තක සම්මානය හඳුන්වා දෙමින් දශකයක් පමණ කාලයක් පුරා, සම්මානයේ මූල්‍ය වටිනාකම අන් කිසිදු උළෙලක පිරිනැමෙන වටිනාකමට වඩා ඉහළ නංවමින් අඛණ්ඩව උළෙල පවත්වා ගෙන ආවද, එතරම් විසාල මුදල් ත්‍යාග පිරිනමන්නේ තම ව්‍යාපාර අරමුණු ඉටුකරගැනීමේ වක්‍ර මාර්ගයක් ලෙස යැයි ද නැගෙන චෝදනා අසන්නට ලැබේ. වරින්වර එක් එක් අදියර දී නිර්දේශිත නවකතා සඳහා පාඨක ආකර්ෂණය ඇද ගැනීමේ සැඟවුණු අරමුණින් ස්වර්ණ පුස්තක නවකතාවක් තෝරනු විනා ඉන් මෙරට සිංහල නවකතාවේ ප්‍රගමනයට අත් වූ සේවයක් නොවුණු බවට නැගෙන චෝදනා අඩු නොවේ. එහෙත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඉන් නොසැලී, 2017 වසරේ සිට ස්වර්ණ පුස්තක නවකතාවට අමතරව රජත පුස්තක කාව්‍ය, කෙටිකතා හා යොවුන් නවකතා සඳහා ද විශාල මුදල් ත්‍යාග සහිතව ( රුපියල් 250,000 + 50,000 ක් ) සම්මානිත කෘතියට පිරිනමමින් ද සාහිත්‍ය සම්මාන උළෙල අතර තම අනන්‍යතාව ගොඩ නගා ගනිමින් සිටී. රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී සිංහල , දෙමළ හා ඉංග්‍රීසි ක්ෂෙත්‍රයන්හි තම විශිෂ්ට සම්ප්‍රදාන උදෙසා සාහිත්‍ය රත්න ගෞරව සම්මානයෙන් පුදනු ලැබීම , ගොඩගේ සම්මාන උළෙලේ දී ද දිවමන් ප්‍රණාම සම්මාන පිදීම ආදර්ශයට ගෙන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී විශිෂ්ට නවකතාකරුවකුට හෝ නවකතාකාරියකට එම විෂයයෙහි විශිෂ්ට සම්ප්‍රදානය උදෙසා ජීවිතයේ එක් වරක් පිදෙන ස්වර්ණ සම්මානයක් පිදීම පිළිබඳ ප්‍රකාශකයන්ගේ අවධානය යොමුවීම කාලෝචිත යැයි සිතමි. ව්‍යාපාර අරමුණින් ප්‍රකාශකයන් ස්වර්ණ පුස්තක, රජත පුස්තක සම්මාන හා කොළඹ පොත් ප්‍රදර්ශනය පවත්වන්නේය යන චෝදනාවන්ට එවැන්නක් පිළිතුරු සැපයීමක් වනු ඇත. ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල ද දශකයක් පුරා පවත්වාගෙන එමින්, යාවත්කාලීන වෙමින් මෙරට සාහිත්‍යයට හා සාහිත්‍යකරුවන්ට අගනා සේවයක්, මෙහෙවරක් ඉටුකරන බව සටහන් කරමි.

අභිමානවත් හැට එක්වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්වෙන අද දවස සොඳුරුම එදවසක් වේ ය යන්න සාහිත්‍යය ජීවිතයේම කොටසක්ය, ජීවත්වීමට සාහිත්‍යය ද අවශ්‍ය යැයි විශ්වාස කරන අප සැමගේ ප්‍රාර්ථනයයි. තමන්ට සම්මානයක් නොලැබුණ ද සම්මානයක් ලබාගන්නා සහෝදර නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියකගේ ජයග්‍රහණයක් වෙනුවෙන් අත් පොළසනකින් සුබ පතන්නට නොසිතන සාහිත්‍යකරුවෙක් සැබෑ කලාකරුවෙක් වන්නේ ද යන ප්‍රශ්නය අප හමුවේ ඇති බව කනගාටුවෙන් වුව ද ලියා තැබිය යුතුය. සාහිත්‍යය ජීවිතයේ පිළිබිඹුවක්ය යන්න විශ්වාස කරන සහෘදයන් ලෙස, මේ සාහිත්‍ය වසන්තයේ අද වන තෙක් සම්මාන දිනූ ලේඛක ලේඛිකාවන් ද, අද හවස් භාගයේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන්නෝ ද පහළොස්වන ශනිදා ස්වර්ණපුස්තක සම්මානය හිමිකරගන්නා නවකතාකරුවා ද අපගේ ජීවිතවලට අරුතක් එක් කරන්නෝ බව දනිමු. ඔවුන් අපගේ දේශයෙහි අගනා සම්පත්ය. සාහිත්‍ය වසන්ත සමය සුන්දර අත්දැකීමෙන් පිරි කාලයක් වේ යැයි විශ්වාස කරමු.

බුද්ධදාස ගලප්පත්ති
[email protected]

නව අදහස දක්වන්න