ගමන් මල්ල හා කෑගල්ල | දිනමිණ

ගමන් මල්ල හා කෑගල්ල

 අලුයම අඹේපුස්සෙන් බැස්සද අපේ ගමනාන්තය කෑගල්ලයි. රියදුරු කොතරම් නොඉවසිලිමත් වී දැයි කිවහොත් අප ද අපේ බඩු භාණ්ඩ ද පිළිබඳ ව කිසිදු තැකීමක් නොකළ වග පෙනෙන්නට තිබිණි. කොන්දොස්තර අපේ බඩු බිමට දැම්මේ වි‍ටින් විට බෙරිහන් දෙමිනි.

“ ‍හෝව්...හෝව්....” යි ඔහු කෑ ගසන කල පිම්මේ යන්නට වෙර දරන බසයේ වේගය බාල වෙයි. කොන්දොස්ත‍රට ස්තුතිවන්ත වෙමින්ද රියදුරාට දෝෂාරෝපණය කරමින්ද අපි නාඳුනන ඉසව්වක පදික වේදිකාවක ඔවුනොවුන් දෙස බලා සිටියෙමු. පෙට්ටි දෙක තුනක් ද බෑග් කීපයක්ද පිරිවරා ගෙන අඩ අඳුරේ සන්ධ්‍යා සිහි කළෙමු. කෑගල්ලේ සන්ධ්‍යා බැහැ දකින්නට යන අතරමග මේ අලකලංචිය වඩාත් කනගාටුදායක වූයේ අපට අයත් නැති ඇඳුම් බෑගයක්ද අපේ බඩු භාණ්ඩ අතර තිබූ බැවිනි.

“මේ බෑග් එක අපේ නෙමේ අම්මා” යි පළම‍ුව කියා සිටියේ මගේ බඩපිස්සාය.

“හොඳට බලන්න..... නිදිමතේද කොහෙද චූටියට අඳුර ගන්න බෑ අපේ බෑග් එක” හි සැකමුසු බැල්මක් හෙලමින් සිනාසුණේ සංජීවනී නංගිය.

“ නෑ... නෑ.... මේක අපේ නෙමේ.....” හි පුංචි පුතා ද කී කල ඇය මෙන්ම මමද විපිළිසර වීමි.

“අනේ අක්කා.....”

උඩින් පල්ලෙන් ගමන් මල්ල පරීක්ෂා කළ යුවතිය හඬා නොවැටුණා විතරය.

“ ඇයි ? “ යි මම මහත් කුහුලින් ප්‍රශ්න ක‍ෙළමි.

“අ‍පේ එකක් නෙමේ තමා අක්කේ..... හමුදාවෙ කෙනෙක්ගෙ වගේ‍.....”

නිවුන් පුතුන් මෙන්ම මම ද මහත් සංවේගයෙන් ගමන් මල්ල මත රැඳුණු නෙතින් පසු වීමු. කුමක් කළ යුතු දැයි සිතාගත නොහැක. බසය තුළ ඇතැම් විට නින්දේ පසුවිය හැකි මගියා ගමනාන්තයේදී මිස ඊට පෙරාතුව ගමන්මල්ල සොයන්නට ඉඩක් නැත. කොතෙක් සොයා බැලුවද බසය තුළ එය හමු නොවූ කල ඔහු මුහුණදෙන දුෂ්කරතාව වැටහුණෙන් මගේ සන්තාපය දෙගුණ තෙගුණ විය.

“දැං අපි මොකද කරන්නෙ?” මම ශෝකයෙන් ද නොඉවසිල්ලෙන් ද ප්‍රශ්න කළෙමි.

“බෑග් එක ඇදලා බලමුද ටෙලිෆෝන් නම්බරයක්වත් තියෙනවද කියලා...”

පුංචි පුතා යෝජනා කළේය. ගමන් මල්ල තුළ ලිපිගොනුවක් ද තිබූ නමුදු දුරකතන අංකයක් සොයාගත නොහැකි විය.

“අපිට නුවර කෑගල්ල බස් එකක නැගලා එන්න කියලා නේද සන්ධ්‍යා කීවේ. අපි ඉස්සෙල්ලම යමු. ඊට පස්සෙ කල්පනා කරලා බලමු මොකද කරන්නෙ කියලා...” යි මා කීවේ ප්‍රමාදය ඉවසාගත නොහැකි තැනය. අන්තිමේදී සංජීවනී ඒ ආගන්තුක ගමන්මල්ල උරහිසක එල්ලා ගත්තේ සුසුම් හෙලමිනි.

“බෑග් එක නැතිවෙලා කියලා දැනගත්තම එයාගෙ පපුව පිච්චිලා යන්න ඇති අක්කෙ” යි ඇය නාඳුනන මගියා පිළිබඳව ළතවූවාය.

“හරි හරි අපි කොහොම හරි අයිතිකාරයා හොයලා බෑග් එක දෙමුකො. සන්ධ්‍යාත් අපිට උදව් කරයිනෙ...” යි මම ඇය ද මුහුණු බෙරිකරගත් කොල්ලන්ද අස්වසන්නට තැත් කළෙමි. සැබැවින්ම සන්ධ්‍යා අප ඉමහත් ආදරයෙන් පිළිගත්තාය. ආගිය තතු කියා නිම කිරීමෙන් පසුව ගමන් මල්ලේ කතන්දරය හෙළි කළෙමු.

ඇය පමණක් නොව ඇගේ සැමියා ද එය අසා කනගාටු වන අතරතුර විසඳුමක් ද සොයාගන්නට සමත් වූහ. නුදුරෙහි බෙරගල හමුදා කඳවුරට ගමන්මල්ල බාරදිය හැකි බව සිරිල් විමලසූරිය සොහොයුරා කී කල අපි සොම්නසින් උතුරා ගියෙමු.

සංජීවනී නංගිගේ පිරික්සුමට පින්සිඳුවන්නට ගමන් මල්ල හිමිකරුවා පනාගොඩ හමුදා කඳවුරේ සේවය කරන බව ද හෙළි විය.

සිරිල් අයියා බෙරගල හමුදා කඳවුරට කතා කරමින් ද ගමන්මල්ල එහි යවමින් ද දැරූ වෙහෙස භක්ත්‍යාදරයෙන් සිහිපත් කළ යුතු ය.

කිසිදා නොදුටු කෙනෙකු ‍වෙනුවෙන් අප සැම වෙහෙසුණු ඒ උදෑසන කවර කලෙකවත් අමතක නොවනවා නිසැකය. සංජීවනී නංගිට මෙන්ම නිවුන් පුතුන්ට ද ගමන් මල්ල හිමිකරු වෙත ලැබෙන්නට සැලැස්වීම තරම් වැදගත් හා ප්‍රමුඛ වූ වෙනත් යමක් නොතිබිණි.

දිගු ගමනක ආස්වාදය ද සන්ධ්‍යා හා සිරිල් විමලසූරියගේ අලංකාර නිවස ද කෑගල්ලේ සුන්දරත්වය ද විඳින්නට අපට හැකි වූයේ ගමන්මල්ල හිමිකරු වෙත ලැබෙන බවට තහවුරු වූ පසුවය. සැබැවින්ම අපි සැනසුම් සුසුමක් හෙලුවෙමු.

ගමන්මල්ලක් අස්ථානගත වීම නැතහොත් හිමිකරුගෙන් තාවකාලිකව වෙන්වීම පිළිබඳව අප මේ සා කරදර වූයේ අතුරුදන්වූවන් සොයා වැළපෙන දහසක් දෙනා මේ පොළොව මත හුස්ම ඉහළ පහළ හෙළන බව අමතක කරමින් නොවේදැයි මට සිතිණ. කාලාන්තරයක් මුළුල්ලේ මෙරට පුරවැසියෝ අතුරුදන් වෙති. ඔවුන්ගේ මව්පිය දූ දරු නෑ හිතවතුන් දස දහස්වර මැරි මැරී උපදිති. ළබැඳියකු එක්වනම අතුරුදන් වීමෙන් හදවතක් ගිනිගෙන ඇවිළෙන බව අමතක කළ හැකිද?

යහපත් රටක කිසිවකුත් අතුරුදන් වන්නට ඉඩක් නැත. මියගොස් ඇද්ද නොඑසේ නම් ජීවතුන් අතර සිටින්නේදැයි නිශ්චිතව නොදැන තැවෙන්නට සිදුවීම තරම් ඛේදවාචකයක් තවත් තිබිය හැකිද...?

අතුරුදන්වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම අරඹයා පුරවැසි ප්‍රණාමය රජයට මෙන්ම ඒ සඳහා දිගු කලක් මුළුල්ලේ අරගල කළ සැබෑ මිනිසුන් හට ද දැක්විය යුතුය.

අතුරුදන් වූ ගමන් මල්ලක් හිමිකරු වෙත ලැබුණු කල අත්පත්වන සතුටට වඩා දසදහස් වාරයකින් ප්‍රබල සතුටක් ද සැනසීමක් ද කෙනකුට නොදැනෙන්නේදැයි මට සිතිණ. එහෙත් අතුරුදන්වූවකු නැවත හමුවීමේ ඉඩ ප්‍රස්ථා අතිශයින් විරලය. අතුරුදන් වීමට තිත තැබිය යුත්තේ ‍එහෙයිනි. අතුරුදන් නොවී සිටීම මානව අයිතිවාසිකමකි.

“ඇයි අම්මා...?”

මා ගැඹුරු කල්පනාවක නිමග්නව හිඳින බව පළමුව වටහාගත්තේ පුංචි පුතාය.

“ඔයාලා දන්නවද බඩු භාණ්ඩ විතරක් නෙමේ මිනිස්සුන් අතුරුදන් වෙනවා...”

“බඩු නැතිවෙනවා වගේ මිනිස්සු නැති වෙන්නෙ කොහොමද අම්මා...? ඔන්න පුංචි ළමයෙක් නම් නැතිවෙන්න පුළුවන්. ලොකු අය නැතිවෙන්නෙ කොහොමද?”

බඩපිස්සා කුකුසින් හකුලාගත් දෑසින් අසයි.

“ලොකු අයව අතුරුදන් කරනවා චූටියෝ... මිනිස්සු අතුරුදන් නොවෙන... මිනිස්සු නිරපරාදේ එකිනෙකා මරා නොගන්නා රටක් නිර්මාණය කරගන්න එක පහසු දෙයක් නෙමේ...”

ඒ සිව් දෙනෙතේ දීප්තියෙන් මගේ කනස්සල්ල තුනී වෙයි.

“ඕගොල්ල ජීවත්වෙන්න ඕන ඒ වගේ ලස්සන රටක...” මම මහත් බලාපොරොත්තු සහගත හඬින් කියමි.

ආගන්තුක සත්කාරයෙහි අනලස් සන්ධ්‍යා අප වෙත දිව එයි.

“ඉන්දිකා කතා කරනවා ඔයාට” මම ඇගේ දුරකතනය මගේ කනේ ඔබා ගතිමි.

“කෑගල්ලට සාදරයෙන් පිළිගන්නවා...”

ඒ ළෙන්ගතු හා මිහිරි හඬ ඉන්දිකා මචාඩෝගේ ය. ප්‍රවීණ නළු හා කෑගල්ල අතිරේක මහේස්ත්‍රාත් මැල්කම් මචාඩෝගේ ආදරණීය බිරින්දෑ....

මිතුරු ඇසුරක සොම්නස ද සැහැල්ලුව ද නොමඳව පුද දෙමින් ඇගේ ප්‍රීතිමත් හඬ සිහිලැල් ගඟුලක් මෙන් මා නිවා සනහාලයි.

ශාන්ති දිසානායක
[email protected]


නව අදහස දක්වන්න

Or log in with...