ළමයින් ලවා ළමයින්ට පොත් ලියවීම | දිනමිණ

ළමයින් ලවා ළමයින්ට පොත් ලියවීම

 ළමා සාහිත්‍යය කියන්නෙ ළමයින් ලවා ළමයින්ට පොත් ලියවීම කියලයි අදටත් අපේ වැඩිහිටියන් බොහොමයක් කල්පනා කරන්නෙ. මේ වැඩිහිටියන් අතර නූගත් උදවිය වගේම උගතුන් යයි කියන පිරිසක්ද සිටිනු දක්නට ලැබීම තමා ලොකුම කනගාටුව. 2018 සාහිත්‍ය මාසය ඇරඹිලා තියෙන මේ සමයෙ “ළමා සාහිත්‍යය යනු කුමක්ද” කියන මාතෘකාව යටතේ කතිකාවකට මුල පුරන්න හිතාගෙනයි මේ සටහන ලියන්නෙ.

මීට අවුරුදු 10කට කලින් 2008 අවුරුද්දෙ අපෙ රටේ සිටින විශිෂ්ටතම ළමාකතා රචිකාව වන සිබිල් වෙත්තසිංහ වෙනුවෙන් අපි උපහාර උළෙලක් පැවැත්වුවා. සිබිල්ට අවුරුදු 80ක් පිරීම නිමිත්තෙන් ජාත්‍යන්තර යෞවන ග්‍රන්ථ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව මගිනුයි ඒ උළෙල සංවිධානය කළේ. ඒ වෙනකොට එම මණ්ඩලයේ ලංකා ශාඛාවේ සභාපතිනිය වුණේ ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ. ලේකම් රාජකාරිය පැවරිලා තිබුණෙ මට. උපහාර උළෙලට සමගාමීව “සිබිල්- සිත්තර නැන්දා” නමින් සඟරාවක් හා ළමා රචනා තරඟයක්ද පවත්වන්නට අපි කටයුතු කළා.

මේ සඟරාවට ලංකාවේ ප්‍රවීණ ලේඛකයන් වගේම අධ්‍යාපනඥයන් ගණනාවක්ම ලිපි ලිව්වා. ළමා සාහිත්‍යය පිළිබඳ පර්යේෂකයකු වන ජයසේන බුත්පිටිය ලියා තිබුණු ලිපියක සටහන් වී තිබුණු වැදගත් වාක්‍යයකින් මේ ළමා සාහිත්‍යය පිළිබඳ කතිකාව අරඹන්න මම කැමතියි. දරුවා යනු කවරෙක්ද යන්නට අර්ථකථනයක් සපයමින් J.R. Townsend නම් විද්වතා විසින් සපයන ලද ප්‍රවාදයක් එම ලිපියේ උපුටා දක්වා තිබුණා. “ළමයා යනු වැඩිහිටියාගේ පුංචි ආකෘතියක් නොවේ” ය යන Townsendගේ එම ප්‍රවාදය අපේ මාතෘකාවට ඉතා උචිතය කියලයි මම කල්පනා කරන්නේ.

එක අතකින් බලපුවහම ඒ කියමන ළමා සාහිත්‍යයට විතරක්ම අදාළ එකක් නොවේ. උදාහරණයක් හැටියට, අද වසංගතයක් බවට පත්වෙලා තියෙන රූපවාහිනි නාලිකාවල ළමා නැටුම් ගැයුම් තරග ගැන විතරක් සලකලා බැලූවත් හය හතර නොතේරෙන ළමා ළපටියන් ලවා මහ මිනිසුන් කළ යුතු වැඩ කරවන්න වැඩිහිටි සමාජය මොනතරම් වෑයමක් දරනවාද කියන ප්‍රශ්නය නිරායාසයෙන්ම මතුවෙනවා. මාතෘකාව සීමාව ඉක්මවා යාම වැළැක්වීම පිණිස දැනට මම ළමා සාහිත්‍යය පැත්තට පමණක් මේ කතිකාව සීමා කරන්නම්.

ළමා සාහිත්‍යය යනු කුමක්ද කියන එක පිළිබඳව නිකමට ඔබ අන්තර්ජාලයට පිවිස අර්ථකථනයක් ඉල්ලුවොත් දහස් ගණනක් විවරණ ඔබට ඉතාම කෙටි කාලයක් ඇතුළත සොයා ගන්න පුළුවන් වේවි. ‘බ්‍රිටැනිකා’ විශ්ව කෝෂයට අනුව ”ළමයින් වෙනුවෙන් ලියවෙන පොත්පත් ඔවුන් සඳහාම විය යුතු බව සත්‍යයකි. එහෙත් එයින් අදහස් කෙරෙන්නේ එය ජ්‍යෙෂ්ඨයන්ගේ බලපෑමෙන් මුළුමනින්ම තුරන්ව ඇති බව නොවේ. මන්දයත් වැඩිහිටියන් ද සමාජ ඒකකයේම කොටසක් බැවිනි.” යනුවෙනුයි ළමා සාහිත්‍යය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නෙ. වෙනත් විදිහකට කියනවා නම් ‘බ්‍රිටැනිකා’ අර්ථකථනයෙන් කියවෙන්නෙත් ළමයින් සඳහා සාහිත්‍ය නිර්මාණ කිරීම දැනුවත්කමකින් හා වගකීමකින් යුතුව ඉටු කළ යුතු රාජකාරියක් කියලයි. ඒ සඳහා අත්දැකීම් හා පළපුරුද්ද තියෙන්නෙ වැඩිහිටියන්ට නිසා වැඩිහිටියන් ගුරුවරුන් හා මාර්ගෝපදේශකයන් ලෙස ළමා සාහිත්‍යයට මැදිහත්වීමේ අවශ්‍යතාවක් එමඟින් ඉස්මතු කෙරෙනවා. එහෙම නැතුව ළමා මනස හරියටම තේරුම් කර දිය හැක්කෙ ළමයකුටම නිසා ළමා පොත් ළමයින් ළවාම ලියවිය යුතුයි කියලා ‘බ්‍රිටැනිකා’ විග්‍රහයේ කොතනකවත් ඉඟියක්වත් කරන්නෙ නැහැ.

ළමා පොත් රචනය ගැන අපට ඉතා ප්‍රායෝගිකව කරුණු පැහැදිලි කරදෙන වියපත් ලේඛිකාව තමා සිබිල් වෙත්තසිංහ. සිබිල්ගේ ජීවිත කතාව විමසා බලනවිට පෙනී යන ඉතා වැදගත් කරුණක් මෙහිදී විශේෂයෙන්ම සටහන් කළ යුතුයි. “මාව කතන්දරකාරියක් කළේ මළපොතේ අකුරක්වත් නොදත්, මගේ අත්තම්මා” කියලයි සිබිල් කියන්නෙ. ළමා කතාකාරියක් හා චිත්‍ර ශිල්පිනියක් හැටියට සිබිල් ඇගේ දස්කම් විදහාපාන්න පටන් ගන්නෙ අවුරුදු 4-5 වයසෙදි. ඈ ගල් ලෑල්ලෙ කත්දර ලිව්වා. බිත්තිවල අඟුරුවලින් චිත්‍ර ඇන්දා. ගැමි කලාකරුවන් වූ ඇගේ වැඩිහිටියන් කළේ සිබිල්ට ඇගේ හැකියාවන් දියුණු කරගැනීමට අතහිත දීම මිස ඇය ලොකු ගැහැනියකගේ පුංචි අනුරුවක් කිරීමට උත්සාහ කිරීම නොවේ. ඔවුන් කොයිවෙලාවකවත් හිතුවේ නැහැ සිබිල් ලවා ළමා පොතක් රචනා කරවන්ඩ.

ළමා වියේදී එතරම් දස්කම් පෑ සිබිල් ළමා පොතක් ලියන්නේ ජීවිතය ගැන පුළුල් අවබෝධයක් ලැබුණට පසුව බව අපි අමතක කරන්න නරකයි. තමන්ගෙ දරුවන් ළමා වියේදීම ලොකු මිනිසුන් බවට පත් කරන්න වලිකන අපේ වැඩිහිටියන්ට වගේම ඇතැම් මාධ්‍යවලටත් සිබිල්ගේ ජීවිත කතාව කියා දීම ඉතා ප්‍රයෝජනවත්ය කියා මට හිතෙනවා. පුංචි කාලයේදීම ඇය ලව්වා පොතක් ලියෙව්වා නම් සමහරවිට අද අපිට ජගත් කීර්තියක් දිනූ ලේඛක සිත්තරාවියක් දකින්න ලැබෙන්නෙ නැහැ.

ළමයින් ලවා ළමා පොත් ලියවීම ගැන අපේ අධ්‍යාපන බලධාරීන් දරන්නෙ කෙබඳු අදහසක්ද කියා දැන ගැනීමට මම ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ ලේකම් විජිත වෙලගෙදර හිතවතාට කතා කළා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ළමා සාහිත්‍යය පිළිබඳ වගකීම දරන නිල ආයතනය තමා ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය. විජිත මට කෙළින්ම පැවසුවේ ළමයින් ලවා පොත් ලියවීම ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය අනුමත නොකරන බවයි. ඒ සඳහා වූ නීතිමය රෙගුලාසි පනවා තිබෙන්නේ අද ඊයෙක නොව 1952 සිට බවත් ඔහු තවදුරටත් කියා සිටියා. එවැනි නීතිමය පසුබිමක් තිබියදීත් රටේ ඉතා ප්‍රසිද්ධ රජයේ පාසල්වල ගුරුවරු දරුවන් ලවා පොත් ලියවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ කෙසේද? උපදේශක මණ්ඩලයට තිබෙන බලතල අනුව ළමයින් ලවා පොත් ලියවීමට තහංචි පැනවිය නොහැකිි බවයි ඔහු කියා සිටියේ.

භාෂණයේ නිදහසට ආවරණය වී ළමයින් ලවා ළමා පොත් ලියවා ප්‍රකාශයට පත් කිරීමේ පෞද්ගලික ව්‍යාපාර ගණනාවක් ලංකාවේ ක්‍රියාත්මක වන බව රහසක් නොවේ. මේ ව්‍යාපාරවල සැබෑ අරමුණ ළමා සාහිත්‍යය නඟා සිටුවීම නොව ළමා සාහිත්‍යය දඩමීමා කරගෙන වාණිජ අරමුණු සපුරා ගැනීම බවත් ඉතාම පැහැදිලියි. ලේඛනයේ සහ භාෂණයේ නිදහසට අප ගරු කළ යුතු බව සැබෑවක් සේම එබඳු මානව අයිතීන්වලට මුවා වී අනාගත පරපුර මොට කරන වෙළඳ ජාවාරම් ක්‍රියාත්මක වන්නේ නම් ඒවාටද වැට බඳින ක්‍රමවේද සොයා ගත යුතුයි. එවැනි ක්‍රමවේදයක් සකසාගත හැක්කේ නීතිරීති පැනවීමෙන්ම නොව හරවත් ළමා සාහිත්‍යයක් උදෙසා කෙරෙන පුළුල් සමාජ කතිකාවකින් බවයි විද්වතුන්ගේ මතය වන්නේ.

කමල් පෙරේරා
[email protected]

නව අදහස දක්වන්න