ඉතිහාස පාඩම | දිනමිණ

ඉතිහාස පාඩම

ජීවිතයේ හරි අඩකට කිට්ටුවෙන් පිටරටවල ජීවත් වී මුත් සිංහල බසින් සරලව පැහැදිලිව ලියන්නට හැකි වීම ගැන ආඩම්බර වෙන මට යම් යම් තැන්වලදී ඇතැම් නියමයන් අමතක වීම සිදු වේ. නමුත් historical empathy යන්නට සූදුසුම යෙදුම යොදා ගැනීම තරමක අභියෝගයක් වන්නේ ඒ මගේ බස ව්‍යවහරයේ අඩුලුහුඬුකම් නිසා මෙන්ම යන්න ශ්‍රී ලාංකික සමාජයේ ව්‍යවහරයට කතා බහට ලක් වීම පුරුදු පුහුණු කිරීම අඩු නිසා වන්නට ඉඩ ඇත. සමහර විටෙක ශාස්ත්‍රඥයන් ඔවුන්ගේ කටයුතුවලදී යොදා ගැනීම හැරුණු විට අනෙක් ‘සමහර‘ සාමන්‍ය පිරිස විසින් නොසලකා හැරීම හෝ ඔවුන්ගේ අවිද්‍යාව නිසා historical empathy යන්න බොහෝ පිරිසට මන, ඇස නොගැටෙන තැනක් විය හැකිය.

Historical Empathy යන්නට ‘ඉතිහාසය පිළිබඳ සහකම්පනය‘ ලෙස යොදන්නට සිතා ගත්තෙමි. වෙනත් වඩා සුදුසු යෙදුමක් වේ නම් ඒ ගැන මා දැනුවත් කිරීමට ඔබ පසු බසිනු නැති යැයි විශ්වාස කරමි. මා මුලින්ම historical empathy ඉගෙන ගත්තේ අමෙරිකානු මහචාර්යවරයෙක් විසින් නියමැවු ඉතිහාස පාඩමකදී ය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එවැනි රටවලට එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ඕලන්දය වැනි නොයෙකුත් රටවල පාලන තන්ත්‍රවලට යටත් වූ සංසිද්ධි පිළිබඳ මගේ පුද්ගලික ආවේග හමුවේ ඔහු මට හඳුන්වා දුන්නේය. අවිද්‍යාව නැසිය හැක්කේ විද්‍යාවෙන්ම බව ඔප්පු කරමින් ඔහු මට මගේ මුග්ධතාව හෙවත් ‘ගොන්කම‘ නැතිකර ගැනීමට මඟ පෙන්වීය.

‘සුද්දන්‘ යන්නේ ප්‍රභේද ඇති බව දැන ගැනීමටත් ප්‍රථම අන්තර්ජාතික බලවේග යන වෙස්මාරුවක් ගැන කියමින් ‘සුද්දා‘ යන්නට වෛර කිරීමට උගැන්වෙන ක්‍රමයක නමුත් තවමත් සුදු වෙන්නට ගැහැනුන්ට ආලේපන පාවිච්චිය බල කෙරෙන, ආදරණීයන්ට ‘සුදූ‘ කියා ඇමතෙන, ජාතිවාදය, ආගම්වාදය සහ දේශානුරාගය අතර වෙනස වටහා ගනු නොහැකිවූ අන්දබූත පරිසරයක 'Historical empathy/ඉතිහාසය පිළිබඳ සහකම්පනය' යන්න තවමත් සාර්ථකව සඳහන් වන බොහෝ තැන් නැති වුවත් එක තැනක් නම් මට ගලේ කෙටූ අකුරක් සේ මතක ඇත. ඒ දුටුගැමුණු රජු විසින් ඔවුන්ගේ එදිරිවාදියා වූ එළාර රජු වෙනුවෙන් ස්මාරක කුළුණක් තැනූ විට එයට ගෞරව කිරීම ශ්‍රී ලංකික ඉහිතාසයේ කැමැත්තෙන් අගය කළ කාරණාවයි.

එතැනින් පටන් ගෙන යම් යම් සිදුවීම්, කරුණු, ලේඛන සහ අප අතර හුවමාරු වෙන ජනශ්‍රැති දෙස අපක්ෂපාතී ලෙස විමසීමක් කරන්නේ නම්, ශ්‍රී ලාංකික සමාජයේ උගැන්වෙන තැන් ඕනෑ තරම් සොයා ගැනීමට හැකියාව ඇත. නමුත් සිදු වෙන්නේ මනුෂ්‍යත්වය, බුද්ධිමත් සිතීම පුරුදු පුහුණු කිරීමට උර දෙනවා වෙනුවට ඉතිහාසයෙන් ගත හැකි පාඩම් වැරදියට නොමඟ යැවීම පිණිස භාවිත කරන අයගේ හඬ මහා ශබ්දයකින් ඇසීමයි.

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම යනු හුදෙක් වැරදි කළ උන්ගෙන් පැවත එන්නේ යැයි හැඳින්වෙන අය වැරදි නොකර සිටීම හෝ පෙර උන් අය කළ වැරදිවලට සමාව ඉල්ලීම නොවේ. යම් යම් අයගෙ වැරදි වලින් පීඩාවට පත් වූ අයගෙන් පැවැත එන්නන් පවා ඉතිහාසයේ සිදු වූ දේ කරපින්නාගෙන වෛර බඳිමින් නොසිට බුද්ධියෙන් සිදු වූ දේ විමසීමක් කළ යුතුය.

අතීතය දෙස සහකම්පනයකින් බැලීමෙන් මිනිසුන්ට විවෘත වඩා සැහැල්ලු මනසකින් ජීවිතය දෙස බැලීමට හැකියාවක් ලැබේ. දයාව අනෙකා තේරුම් ගැනීමට අපට මඟක් සදා දේ. එවිට ජාතිවාදය, ආගම්වාදය, කුල බේද වැනි කාරණා පමණක් නොව අපව නොදියුණුකමට බැඳ තබා ඇති වෙනත් මානසික දම්වැල් බොහෝමයක් බිඳ දැමීමට බලයක් එයින් ලබා ගත හැක.

උදාහරණයක් හැටියට කළු සම ඇති වහලුන් ලෙස හැඳින් වූ සේවකයන් දේපළක් සේ ජන්මයෙන්ම උරුම වී, ඔවුන්ගේ සේවය ලබා ගැනීම ගැන අප ජොර්ජ් වොෂින්ටන් ට වෛර කරන්නේ නැත. ඒ කාලය සහ ඒ කාලයේ සමාජය ක්‍රියාත්මක වූ ආකාරය වටහා ගැනීම පමණක් අපට කළ හැකිය. නැවත කිසි කෙනකු එවැනි වරදක් නොකරන තැනට වගබලා ගැනීමේ අපගේ වගකීම අපට එවිට තේරුම් ගැනීම කළ හැකි වේ. කළු සම ඇති මිනිසුන් පවා අතීතය දෙ බැලීම සිදු කරන විට ඔවුන්ට ඉදිරියට ගමන් කිරීමට හැකියාවක් ලැබේ.

එසේම දෙමාපියන්, ගුරුවරුන් දරුවන් හික්මවීමේ ක්‍රමයක් හැටියට අපට සිහින් කෝටුවකින් කකුළට පහර දීම ගැන අප ඔවුන්ට වෛර කරන්නේ නැත. ඒ කාලයේ ඔවුන් දැන සිටි හැටියට ඔවුන් ක්‍රියාත්මක විය. අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමට සහ ඉතිහාසයේ වූ අප්‍රසන්න අපරාධකාරී තත්වයන් අනාගතයේ නැවත සිදුවීම වළකා ගැනීමට හැකි වන්නේ ඒවා දෙස අපක්ෂපාතී විචාරක බුද්ධියකින් බැලීමට හැකි නම් පමණි. එසේ කරන්නට නම් අපට ඉතිහාසය පිළිබඳ සහකම්පනයක් තිබිය යුතුය.

හිමාලි එන්. ලියනගේ
[email protected]


නව අදහස දක්වන්න

Or log in with...