අත්අඩංගු‍වේ සිටිමින් ඡන්දයට සටනක් | දිනමිණ

අත්අඩංගු‍වේ සිටිමින් ඡන්දයට සටනක්

“මගේ ඉල්ලා අස්වීමට පෙර 1983 දෙසැම්බර් 8 වන දා ත්‍රිකුණාමලයේ අතුරු මැතිවරණයක් පැවැත්වීම ගැන සාකච්ඡා වෙන්නට පටන් ගත්තා. එතකොටත් අපි හිටියේ පොලිස් අපරාධ විමර්ශන කොට්ඪාසයේ අත්අඩංගුවේ. ජයවර්ධන පාලනය මේ මැතිවරණයට නාමයෝජනා කැඳවන්නත් උත්සාහයක් තිබුණා. ඒ අනුව පක්ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් මම නාමයෝජනා පත්‍ර අත්සන් කරල ත්‍රිකුණාමලයේ අතුරු මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කරන්න කියල පක්ෂයට යැව්වා. නොවැම්බර් 15 වන දා මම ජයවර්ධන ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා, අපට ත්‍රිකුණාමලයේ අතුරු මැතිවරණයට තරග කරන්නට අවශ්‍යයි. ඒ නිසා අත් අඩංගුවේ තබා ගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ සියලු දෙනා නිදහස් කරන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත් කරන්නට පියවර ගන්නා ලෙසත්, එසේ නොකිරීම අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් දැන්වුවා. ඒත්, මට ඇතිවුණ කණගාටුවට තමයි අපේ පක්ෂය ඒ අතුරු මැතිවරණයට තරග කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම.

“ශ්‍රී ලංකා අභියාචනාධිකරණය වෙත චිත්‍රා ඉදිරිපත් කරන ලද හේබයෙස් කොර්පස් අයැදුම් පත්‍රයගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැත්තෙන් යමක් සිදු නොවන බව මට තේරුම් ගියා. ඒ අනුව මම නැවතත් නොවැම්බර් 15 වන දා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලියා දැන්වුවා මාව රඳවා තබා ගැනීම මගින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් මගේ වගකීම් ඉටු කරන්නට මගේ ඇති අයිතිය වළක්වා තිබෙනවා ඒ නිසා මට ශ්‍රේෂ්ඨාධිකරණය වෙතත් අභියාචනාධිකරණය වෙතත් නීති ලියවිලි ගොනු කරන්නට, අවශ්‍යයි. ඒ සඳහා උපදෙස් දෙන්නට, අවශ්‍ය ලියවිලි සකස් කර ගන්නට සහ දිව්රුම් කොමසාරිස් කෙනෙක් ඉදිරියේ අත්සන් කරන්නට දවසකට පැය බැගින් දින හතරකට ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් සේනානායක මහතාත් සාලිය පීරිස් සහ තිලක් බාලසූරිය යන නීතිඥ මහත්වරුත් හමු වෙන්නට අවසර දෙන ලෙසට. ඒ සමඟම මා විසින් ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, ආරක්ෂක අමාත්‍යාංශයට සහ වෙනත් නිලධාරීන්ට ලියන ලද ලිපිවල පිටපත් මගේ නීතිඥයන්ට භාර දෙන්නටත් අවසර ඉල්ලුවා. නමුත් චිත්‍රාට සතියකට දෙසැරයක් මා බලන්නට අවසර දීම හැර වෙනත් යමක් වු‍ණේ නැහැ.

“මම ඔහුට කලින් යොමු කළ ලිපියට පිළිතුරක් නොමැති බවත් මගේ අයැදුම් පත්‍රය නොවැම්බර් 30 වන දා විභාගයට ගන්නට පෙර මට නීතිඥයන් හමු වන්නට අවශ්‍ය බවත්1983 නොවැම්බර් 27 වන දා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හදිසි අවධානයට ලියා යොමු කළා. කෙසේ හෝ අවසානයේ දී චිත්‍රා ඔක්තෝබර් 6 වන දා ඉදිරිපත් කරන ලද හේබයෙස් කොර්පස් අයැදුම් පත්‍රය දෙසැම්බර් 16 වන දා අභියාචනාධිකරණයේ දී විභාගයට ගත්තා. නීතිඥ සාලිය මැතිව් සහ ආර්. ජයේන්ද්‍රන් මහත්වරුත්, ඒ. බී. දිසානායක සහ ඒ. ඩී. ටෙලෙස්පා මහත්මීන් සමඟ අයැදුම් පත්‍රය සම්බන්ධයෙන් නිමල් සේනානායක මහතා පෙනී සිටියා. නිමල් සේනානායක මහතා ඇතුළු කණ්ඩායම වෙත ඒ අවස්ථාවේ කිසිදු අය කිරීමක් නොමැතිව අප වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කිරීම ගැන අපි අදත් අපේ කෘතඥතාවය පළ කරනවා. රජය වෙනුවෙන් පෙනී හිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් උපවංශ යාපා සහ රජයේ නීතිඥ මර්වින් සමරකෝන් මහතා. කොහොම වුණත් අද වෙන තෙක් 1983 ජූලි කෝලාහලය ඇති කළ, ඒ කෝලාහලය උසි ගන්වා අවුළුවාලූ, මිනිස් ඝාතන කළ, දේපළ කොල්ල කෑ කිසිවෙකුටත් විරුද්ධව නීතිය හමුවට පමුණුවා දඬුවම් කරලා නැහැ.”

රෝහණ විජේවීර මුණ නොගැසී පෙරලා නිවසට පැමිණි ලයනල් බෝපගේ තමන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධව පක්ෂයෙන් ප්‍රතිචාරයක් නොමැති හෙයින් පක්ෂ නායකත්වය අමතා ලිවීමට සිතුවේය. 1967 දී ලොකු අතුල හරහා රෝහණ විජේවීර හමු වී 1971 අරගලයට සම්බන්ධ වී අනතුරුව පක්ෂ සම්මේලනයක් විසින් තෝරා පත්කරගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණෙහි ලේකම්වරයා වූ ලයනල් බෝපගේ සිය පක්ෂයෙන් ඉල්ලා අස්වීමේ ලිපියෙහි ආරම්භය මෙය විය. තම වෙන්වීමට හේතු වූ ප්‍රධාන කරුණු 4 ක් ඔහු සිය ලිපියෙහි ගොනු කළේය:

“සංවිධානාත්මක කරුණු සම්බන්ධයෙන් පක්ෂය ගනු ලබන ක්‍රියාමාර්ග; 1971 කැරැල්ලෙන් නූගත් පාඩම්; 1982 ජනාධිපතිවරණය සහ ජාතික ප්‍රශ්නය තමයි ඒ ප්‍රධාන කරුණු හතර.

“මටත් මගේ අදහස දරපු සහෝදරවරුන්ටත් අපේ පක්ෂයේ ගමන් මග නිවැරදිව මාක්ස් ලෙනින්වාදී දිශාවට වෙනස් කළ නොහැකි බව මම දැක්කා. ඒ නිසා බරපතළ වේදනාවකින් වුණත් මගේ ආදරනීය පක්ෂයෙන් ඉල්ලා අස්වීම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. අවුරුදු දහසයකට වඩා වැඩිකාලයක් පක්ෂය අපේ ජීවිතය වූ නිසා මේ තීරණය පහසු තීරණයක් වු‍ණේ නැහැ.”

“1971 අරගලය අවස්ථාවේ කළ දේශපාලනික සහ උපාය මාර්ගික වැරදි පිළිබඳව පක්ෂය ප්‍රමාණවත් තරම් විවේචනාත්මක නොවුණු බව මට හැඟුණා. මේ වැරදි නිවැරදි කරගන්නවා වෙනුවට මමත් ඇතුළු අපි හැමෝම ඒවා අධිකත්වයට පමුණුවා තිබුණා.

“ඉල්ලා අස්වීමේ ලිපිය ලියන්න රාත්‍රී කිහිපයක්ම මම වෙහෙස වුණා. මම කරන්නට යන දේ දැන ගත්ත චිත්‍රා, මම පක්ෂයේ රැඳී සිටිය යුතු බව තරයේ කියා සිටියා.

“මගේ ඉල්ලා අස්වීමේ ලිපියේ දී පක්ෂය දේශපාලන අවස්ථාවාදය කෙරෙහි ඇ දී යමින් තිබෙන බවත් ජාතික ප්‍රශ්නය සම්බන්ධ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ආපස්සට යමින් තිබෙන බවත් සදහන් කළා.

“මුළු ලිපියම ලිව්වේ මගේම අත් අකුරින්. ඒ කාලේ අද වගේ පරිගණක තිබුණේ නැහැ. ලිපියේ දිනය වු‍ණේ 1984. 03. 29. ආමන්ත්‍රණය කළේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කමිටුව හා සාමාජිකත්වය වෙත සහෝදරත්වයෙනි කියලා.

එය දීර්ඝ වර්තමානයේ දී නම් ටයිප් පිටු හතක පමණ දේශපාලන ලිපියකි. මෙරට දේශපාලන, සමාජ, ආර්ථික මෙන්ම කලා සංස්කෘතික ජිවිතයටද ප්‍රබල බලපෑමක් කළ දේශපාලන ව්‍යාපාරයක අරගලකාරී යුගයක් පිළිබඳ විවේචනාත්මක ලිපියකි. එක්තරා ආකාරයකට ස්වයං විවේචනාත්මක ලියවිල්ලකි.

“ලිපියෙ පළමු කොටසින් මගේ ඉල්ලා අස්වීම 1984 දක්වා කල් දැමීමට හේතුව සදහන් කළා. මම මෙහෙම ලිව්වා. ‘මෙම ලිපිය ලිවීමට මා අදහස් කොට සිටියේ දැනට වසරකට පමණ පෙර දී යැයි පැවසුවොත් එය වඩා නිවැරදියැයි සිතමි. එතරම් දේශපාලන කම්පනයකට මා ලක් වී සිටියත්, එසේම මෙතෙක් අප කළ දේශපාලනයේ කෙතරම් උපක්‍රමික හා උපාය මාර්ගික වැරදි හා අඩුපාඩුකම් අන්තර්ගත වුවත් එම දේශපාලනයේ සාපේක්ෂ නිවැරදිභාවය සහ එනිසාම එහි විප්ලවීය ගරුත්වය ධනපති පංතිය ඉදිරියේ ආරක්ෂා කිරීම මගේ පරම විප්ලවීය යුතුකමක් ලෙස සලකා ක්‍රියා කළ බවත්, ක්‍රියා කරන බවත් පළමුවෙන්ම ප්‍රකාශකළ යුතුය. මා අත්අඩංගුවට ගෙන රඳවා සිටි කාල පරිච්ඡේ‏දය තුළ දී ලිවීමෙන් හා ඉදිරිපත් කිරීමෙන් මා වැළැක්වූයේ මෙවැන්නක් ලිවීමෙන් පසු එය පාලක පංතිය සතු වුවහොත් ඔවුන් ලැබිය හැකි වාසි හා ඵල ප්‍රයෝජනත්, එයින් ඇතිවන හානියත් ගැන මගේ ඇති සැලකිල්ලත් විසිනි. තහනමක් නොමැතිව යළිත් පක්ෂය ක්‍රියාකාරී තත්ත්වයකට පත්කිරීම සඳහා මගෙන් ඉටුවිය යුතු හා ඉටුකළ හැකි වැඩ කොටස ඉටු කිරීමෙන් පසු මෙය ලියා ඉදිරිපත් කළ යුතුයැයි මම කල්පනා ක‍ළෙමි. එහෙත් පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම වැඩ කොටසට අමතරව වෙනත් දේශපාලන කටයුතුවලට මා මැදිහත් කරවන බැවින් ද, පක්ෂය තුළ මවිසින් මහත් බලාපොරොත්තු තබා සිටි ඇතමෙක් මට තිබෙන දේශපාලන ගැටළුවලට සමාන්තරවූත් එහෙත් ප්‍රමාණයෙන් එපමණම නොවූත් ගැටලු ප්‍රමාණයක් මත පක්ෂයෙන් ඉවත් වී සිටින බැවින් ද, පක්ෂය තළ තවමත් ක්‍රියාකාරී වන එහෙත් මහත් ප්‍රශ්න සම්භාරයක් සිත්හි දරා ගෙන සිටින පූර්ණකාලීනයන් එම ප්‍රශ්න කිරාකරණය කරගැනීම සඳහා මා සමඟ සාකච්ඡා කරන විට බොහෝ ප්‍රශ්න නිරාකරණය කරනු වෙනුවට එම ප්‍රශ්න සමඟ මගේ තිබෙන එකඟතාවය පළකිරීමට සිදුවී ඇති හෙයින්ද, එම ප්‍රශ්න පිළිබඳව පක්ෂය නිවැරදි කරගත හැකි යැයි මා අදහස් නොකරන හෙයින්ද මෙම ලිපිය ඉක්මණින් සකස් කිරීමටත්, පක්ෂයේ හැම සහෝදරයෙකුටම ඉදිරිපත්කිරීම සඳහා පක්ෂයට ඉදිරිපත් කිරීමටත් මම තීරණය කළෙමි.’ කියලා.”

සිසිර යාපා

හෙට - අපි කළ වැරදි සහ මා කළ වැරදි...


නව අදහස දක්වන්න