ඇතැම් ටෙලි නාට්‍ය චුයින්ගම් වගේ | දිනමිණ

ඇතැම් ටෙලි නාට්‍ය චුයින්ගම් වගේ

ප්‍රියන්ත ප්‍රනාන්දු

l පවතින වාතාවරණ එක්ක ටෙලි නාට්‍ය කලාවට ප්‍රවේශවීම අභියෝගයක් වු‍ණේ නැද්ද?

ටෙලි නාට්‍යයක් කිරීම අභියෝගයක්. ඒ අභියෝගයට මුහුණදීමෙන් තමයි නිර්මාණයක ආරම්භය සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ අභියෝගයට මුහුණ දිය යුතුමයි. ඒත් විශාලම අභියෝගය තියෙන්නේ ටෙලි නාට්‍යයක් නිර්මාණය කර විකුණා ගැනීමේදීයි.

l එහෙම වෙන්න හේතු වන කාරණාව?

එයට හේතුව තමයි, අද වෙනකොට ප්‍රේක්ෂකයා බොහෝදුරට හුරුවෙලා තියෙන්නේ චුයින්ගම් හපන්න. චුයින්ගම් එක හපලා හපලා රසවිඳලා රොඩ්ඩ විසිකරනවා වගේ ඒ මොහොතේ රසය පමණයි අද ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන්නේ. එහෙම පහත් රසයකට ටෙලිනාට්‍ය කලාව ඇද දමලා ප්‍රේක්ෂකයාව පහත් රසයකට හුරුකරලා තියෙන්නේ ඇතැම් රූපවාහිනී නාළිකා විසින්මයි.

නාළිකාවල බලධාරීන් හිතන්නේ, තමන්ගේ ව්‍යාපාර ගැන පමණයි. ප්‍රේක්ෂකයාට මොනා වුණත් ඔවුන්ට අදාළ නෑ. මේ ක්‍රමය දිගටම පවත්වාගෙන ගියොත්, නාළිකාවලටත් වෙන්නේ හපලා හපලා අහක දමන චුයින්ගම්වලට වෙන දේමයි. රොඩ්ඩ වීසිකරාම ප්‍රේක්ෂකයාට නාළිකාවලින් ගතයුත්තක් නෑ. රූපවාහිනී නාළිකාවලට ඇයි බැරි තමන්ගේ ව්‍යාපාර ගැන හිතන ගමන් ප්‍රේක්ෂකයෝ ගැනත් හිතන්න? මෙතන තියෙන්නේ උවමනාවක් නැතිකම. රසවින්දනාත්මක ටෙලිනාට්‍ය කලාවක් බිහිකිරීමට සුදුසු වටපිටාවක් අපේ රටේ තියෙනවා. එයට අවශ්‍ය කරන පිටපත්, රංගන ශිල්පීන් සහ අනෙකුත් ශිල්පීන් අලුත් පරම්පරාත් අතර අවශ්‍ය තරම් සිටිනවා.

l මේ තත්ත්වය යටතේ, ටෙලි නාට්‍ය නිර්මාණයක් විකුණාගැනීම ජයගන්නේ කෙසේද?

ටෙලිනාට්‍ය කලාවේදී ප්‍රේක්ෂකයින්ට සාධාරණයක් කළ යුතුයි. නිර්මාණයක් විකිණීමේදී නිර්මාණකරුවා යම් අපහසුතාවකට පත්වෙනවා. රූපවාහිනී නාළිකාවකට ටෙලිනාට්‍යයක් විකිණීමේදී ලැබෙන මුදලට සාපේක්ෂකව තමයි අප නිර්මාණයක් නිෂ්පාදනය කළ යුතු වන්නේ. මෙතනදී නිර්මාණකරුට එක්තරා රාමුවකට කොටුවෙන්න සිද්ධ වෙනවා. ඒ හිරකරන රාමුව ඇතුළේදී ඔහුට සිතන්න වෙනවා බාල නිර්මාණයක් කරනවාද? අපට ලැබෙන සම්පත් උපයෝගී කරගෙන උසස් නිර්මාණයක් කරනවද කියලා. අප මෙතනදී ප්‍රේක්ෂකයින්ට උපරිම සාධාරණයක් කළ යුතුයි. එහෙම නොවුණහොත් ඔවුන්ට සිද්ධ වෙනවා චුයින්ගම් හපන්න. අප මේ රාමුව ජයගත යුතුයි. එය තමයි අද දවසේ ටෙලිනාට්‍ය නිර්මාණකරුවන්ට තියෙන ලොකුම අභියෝගය.

l මේ කටුක අත්දැකීම් එක්ක, ඔබගේ තුන් වැනි ටෙලි නාට්‍ය වන "ඉලන්දාරි හැන්දෑව" නිර්මාණය කිරීමට ඔබව පොළඹවන ලද කාරණාව කුමක්ද?

ටෙලිනාට්‍ය කලාව ඇතුළේ කටුක අත්දැකීම්වලට මුහුණ දුන්නත් නිර්මාණයක් කිරීමට ඇති පිපාසය, ආශාව, කැමැත්ත නිසා නැවත නැවත නිර්මාණ කිරීමට මාව පොළඹවනවා. පවතින ක්‍රමවේදය විසින් නිර්මාණයක් විකිණීමේදී අපව රාමුවක හිරවුණත් ඒ රාමුව ඇතුළේ සිට උසස් නිර්මාණයක් කිරීමට තමයි මා හැමවිටම සැළසුම් කරන්නේ. ඒ සඳහා මගේ නිෂ්පාදකවරයා වන කිත්සිරි ඇලෙක්සැන්ඩර් කුරේ මහතාගෙන් විශාල පිටුවහලක් ලැබුණා.

l"ඉලන්දාරි හැන්දෑව" ටෙලි පිටපත තෝරා ගැනීම සිද්ධ වන්නේ කොහොමද?

මගේ හිතවතෙක් වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කියන කවියා එක්ක ටෙලිනාට්‍ය නිර්මාණයක් ගැන කරන කතාබහක් ඇතුළේ ඔහු විසින් මේ කතා සංකල්පය මගේ හිත තුළට කාවැද්දුවා. එතනදී මට අභියෝගයක් ආවා මස්ඉඹුලගේ කවීත්වයත්, ඒ කතා සංකල්පයත් මට අවශ්‍ය දේත් එකට එකතු කරගෙන තිර පිටපතක් ලියාගන්නේ කෙසේද කියලා? එහිදී ලාල් වසන්ත කියන පිටපත් රචකයා ඉතා සූක්ෂ්ම විදිහට ඒ කාරණාත් මැනවින් තහවුරු කරමින් මට අවශ්‍ය පෙළ රචනා කර දුන්නා.

මේ පිටපතින් ඔපෙරා නාට්‍ය කලාව ගැනත් සඳහන් වෙනවා. එහිදී රසික සුරවීරආරච්චි තුන්වෙනි පාර්ශ්වකරු විදිහට මේ පිටපත් රචනාවට එකතු වෙනවා. මෙහි එන ඔපෙරා ගී පද රචනා කළේ ඔහුයි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කවීත්වයත්, ලාල් වසන්තගේ දෙබස් රටාවත්, රසික සුරවීරආරච්චිගේ ඔපෙරා ගී ඛණ්ඩත් "ඉලන්දාරි හැන්ඳෑව" පිටපත් රචනාවට සාධාරණීකරණයක් ඉටුකළා යැයි මා විශ්වාස කරනවා.

එහෙත් පෙළ අතට ආවත් ටෙලිනාට්‍ය නිර්මාණයක් බවට පත්වෙන්නේ නෑ. පිටපතට අනුකූලව රංගන ශිල්පීන් හා අනෙකුත් ශිල්පීන් මහත් පිටුවහලක් වුණා. පෙළ රූප බවට පත්කිරීමේදී මටම ආවේණීක වූ ශෛලියක් ගොඩනඟා ගන්න උත්සාහ කළා.

l මේ සඳහා රංගන ශිල්පීන් තෝරා ගැනීමේදී ඔබ අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරාකාරද?

කතා සංකල්පය, තිර පිටපතකට ගේන්න කළින් සිතින් මම පෙළ දිගහරිමින් සුදුසු රංගන ශිල්පීන් තෝරා ගත්තා. විශේෂයෙන් මෙහි ප්‍රධාන චරිතය ගැන විශේෂ අවධානයක් යොමුකළා. මොකද ඒ චරිතය විශාල අභි‍යෝගයක් තියෙන චරිතයක්. සුබුද්ධි ලක්මාලි කියන ශිල්පිනිය එක්ක සාකච්ඡා කරලා, ඇයගේ කුසලතා මේ කතා සංකල්පය ඇතුළේ තියෙන බව සුබුද්ධිට පැවසුවා. රංගනයට අමතරව ගායනය, නර්ථනය කියන මේ හැකියා තුනම එකතු වූ නිළියක් සොයා ගැනීම දුෂ්කර වුණා. සුබුද්ධි ලක්මාලි මේ සඳහා හොඳින් ගැළපුණා. ඇයත් එක්ක සාකච්ඡා කරලා තමයි අවසානයේ තිර පිටපත රචනා කරන්න පටන් ගත්තේ.

l එසේ කිරීමේ දී යම් වාසිදායක බවක් තිබුණාද?

සුබුද්ධි ලක්මාලිට මා ලබා චරිතය, මෙහි ප්‍රධාන කාර්යයක් කරන චරිතයක්. ඇය හා සාකච්ඡා කිරීමේදී මම අවබෝධ කරගන්නවා ඇයගේ පරාසය. ඒ ඇතුළේ මට අවශ්‍ය විදිහට පිටපත ලියාගන්න හැකි වෙනවා. මොකද මා දැනගන්නවා සුබුද්ධිගේ හැකියාව. එහෙම වීමේදී තිර රචනාව ඇතුළේ හිරවීමට අවශ්‍ය නෑ.

l සුබුද්ධි ලක්මාලි හා සාකච්ඡා කර පිටපත රචනා කරන්නේ, මෙරට රංගන ශිල්පිනියන්ගේ ඇති හිඟකම නිසාද?

රංගන ශිල්පීන් ඉන්නවා. රංගනය, ගායනය, නර්ථනය දන්න නිළියක් ලංකාවේ ඉන්නවා. ඒත් ඒ අතරින් සුබුද්ධි ලක්මාලි සුවිශේෂියි. ඒ සඳහා මූලික සුදුසුකම ඇය ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ ගෝලයෙක් වීම. "ඉලන්දාරි හැන්දෑව" රංගනයට අමතරව ගායනය, නර්ථනය එක්ක යන කතාවක්. ගායනයේදී සුබුද්ධි ඉහළ පරාසයක් තුළ ගායනා කිරීමේ හැකියාවක් ඇති රංගන ශිල්පිනියක්. කේමදාස මාස්ටර්ගේ ඔපෙරාවලදී ඇයට ඇති අත්දැකීම් මෙහිදී සැලකිල්ලට ගත්තා. චාන්දනී සෙනෙවිරත්න, රොෂාන් රවීන්ද්‍ර වැනි රංග ශිල්පීන්ගේ රංගනය මේ පිටපත විසින් ඉල්ලා සිටියා. "ඉලන්දාරි හැන්දෑව" විකාශනය වීමේදී ඔවුන්ට ලැබෙන ප්‍රතිචාර අනුව ඔවුන් එය අත්විඳිනවා.

l ඔබ, රංගන ශිල්පීන් හැසිරවීමේදී දැඩි බවක් දක්වන අධ්‍යක්ෂවරයෙක් බව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙන කාරණාවක්?

නිර්මාණයකදී මට අවශ්‍ය දේ ගැනීමේදී කුමන තරාතිරමක පුද්ගලයෙක් මගේ නිෂ්පාදන කණ්ඩායම ඇතුළේ හිටියත් ඔහුව හෝ ඇයව නිර්මාණය කාර්යය සඳහා දක්ෂතාව හූරලා ගන්න මා පසුබට වෙන්නේ නෑ.

නිර්මාණයක නිෂ්පාදන ක්‍රියාවලියේදී සතුට, කඳුළු, දුෂ්කරතා, කළකිරීම්, බිඳවැටීම් තියනවා. එවැනි වටපිටාවක් ඇතුළේ ශිල්පීන්ගේ උපරිමය නිර්මාණයට ලැබෙනාව. එහි ප්‍රතිඵලයක් හැටියට ගුණාත්මක නිර්මාණයක් බිහිවීමට තියෙන ඉඩකඩ වැඩියි. අනෙක් කාරණාව මේ සියලුදෙනාගේ ශ්‍රමය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරමින් තමයි වැඩ කරන්නේ. ඔවුන්ගේ උපරිම සහයෝගයත් මට ලැබුණා. නිර්මාණයක් නිෂ්පාදනය කිරීමේදී නිර්මාණ ශිල්පියෙක් රළු විදිහට හැසිරෙන්නේ නිර්මාණය සාර්ථක කරගන්න. මතු පිටින් එහෙම පෙනුනට නිර්මාණ ශිල්පියා ඇතුළේ හොඳ මනුස්සයෙක් ජීවත්වෙනවා.

l ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් අධ්‍යක්ෂවරුන්ගෙන්, නිෂ්පාදකවරුන්ගෙන් රංගන ශිල්පිනියන්ට ලිංගික බලපෑම් එල්ල වෙන බවට චෝදනාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස?

ඒක මට නම් අදාළ නෑ. මොකද මම මගේ නිර්මාණවලට සම්බන්ධ කරගත්තේ, නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් දක්ෂයින් පමණයි. දක්ෂයින්ට බලපෑම් කරන්න කාටවත් හැකියාවක් නෑ. මොකද ඔවුන් දක්ෂයින් නිසා.

බලපෑම් තියෙනවා කියලා ප්‍රචාරය කරන්නේ අදක්ෂයින්. ඔවුන්ගේ දුර්වලකම් සහ නොහැකියාව වසාගන්න මෙවැනි ප්‍රචාර කරනවා. ඒ තුළින් මේ ක්ෂේත්‍රයේ නියැළී සිටින රංගන ශිල්පීන් ඇතුළුව අනෙකුත් ශිල්පීන්ගේ අභිමානය මේ පිරිස විසින් කෙළෙසා දමනවා.

l ඉන්දියානු, කොරියානු ටෙලි නාට්‍යවලට හඬ කවා ‍ඇතැම් නාළිකාවල විකාශය කිරීමේදී මෙරට ටෙලි නාට්‍ය කලාවට එයින් බලපෑමක් ඇති වෙනවා නේද?

පැහැදිලිවම මෙරට ටෙලිනාට්‍ය කලාව බිඳවැටෙන්න ඒවත් එක් හේතුවක්. ඉන්දියානු නිර්මාණ නිෂ්පාදනය කරන්නේ විශාල වියදමක් දරලා. එසේ වියදම් කර නිර්මාණ කිරීමේ හැකියාවක් අපට නෑ. එහෙත් අපි උත්සාහ කරන්නේ හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයාට රසවිඳින්න දෙන්න. ඇතැම් නාළිකා කරන මේ විනාශය වහාම රජය මැදිහත්වෙලා වළක්වා දමන්න අවශ්‍යයි.

පසුගිය කාලේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නියැලුණු කලා ශිල්පීන් රජයට යම් යම් යෝජනා ඉදිරිපත් කරලා තිබුණා. ඒ යෝජනා සැලකිල්ලට අරන් ඒ දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් පවතින රජයේ වර්ණය කුමක් වුවත් රටේ ජනතාවගේ ප්‍රඥාව අවදි කරන්න හැකි වෙනවා. ටෙලිනාට්‍ය කලාවට පමණක් නොවේ. සියලුම කලා නිර්මාණ සඳහා ජාතික ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාපිත කරනවා නම් හොඳයි. ඒ තුළින් මේ කර්මාන්තය රැකගත හැකියි.

රජය විසින් සියලුම නිෂ්පාදකවරුන්ට පනවා ඇති සියයට දාහතරේ බද්ධ ඉවත් කර දෙන ලෙස මා අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුණහොත් ඉතා කෙටි කාලයක් තුළදී මේ ටෙලිනාට්‍ය කර්මාන්තයත්, එහි නියැලී සිටින සියලුම ශිල්පීනුත් ක්ෂේත්‍රය තුළින් ඉවත්ව යන්න පුළුවන්.

l ඔබගේ ඉදිරි බලාපොරොත්තු ?

චිත්‍රපටයක් කිරීමේ බලාපොරොත්තුවක් තියනවා. ඒත් ඒ සඳහා මම තාම පරිණත වෙලා නෑ කියලා හිතෙනවා.

සංලාපය
අනුසාර මාහිංගොඩ


නව අදහස දක්වන්න

Or log in with...