අපේ සාර්ථකත්වය අවබෝධයයි | දිනමිණ

අපේ සාර්ථකත්වය අවබෝධයයි

ප්‍රගීත්-සුමුදු

විද්‍යුත් මාධ්‍යවල උදෑසන පුවත්පත් කියැවීම සාමාන්‍ය කාරණයකි. එහෙත් අප අද කතාබහ කරන දෙපළ පුවත්පත් කියැවීමේ කලාවට නවමු අංග එක් කළ විශේෂ චරිත දෙකකි. ඔවුන් සෑම ඉරිදාම උදෑසන පෙරවරු 6.30 සිට 7.30 ට සියත නාලිකාව ඔස්සේ අප හමුවන්නේ ප්‍රධාන පුවත්පත්හි අන්තර්ගත අතිරේක (ටැබ්ලොයිඩ්) වල විස්තර සමගිනි. ඒ වෙනස ඔබ හමුවට රැගෙන එන්නේ නිවේදකයකු වන ප්‍රගීත් විජේසූරිය හා සිළුමිණ පුවත්පතේ විශේෂාංග කර්තෘ මෙන්ම සත්මඬල සඟරාවේ ප්‍රධාන කර්තෘ වන සුමුදු චතුරාණි ජයවර් ධනයි. මෙවර රසමංජරිය හරහා මේ ඉඩහසර වෙන්වන්නේ ඔවුන් දෙදෙනා සමඟ ඒ පිළිබඳ කතාබහක යෙදෙන්නට ය.

“රූපවාහිනි මාධ්‍ය පැමිණීමත් සමඟ ම පාඨකයන් අතර පුවත්පත්වලට තිබුණු ආකර්ෂණීය බව තරමක් අඩු වී යනවා. එහිදි මාධ්‍ය පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා ව‍ෙන්නට පටන් ගැනෙනවා. ඉස්සර පුවත්පත් එනතුරු ගමේ බලාගෙන සිටි අයගේ, ප්‍රවෘත්ති සෙව්ව අයගේ, විවිධ කලා තොරතුරු සෙව්ව අයගේ පුවත්පතේ තැන ආක්‍රමණය කරන්නේ රූපවාහිනියයි. එහෙත් කිසිම දිනෙක පුවත්පත් කියන මාධ්‍ය මිලිනව යන මාධ්‍යයක් විදියට මා නොදැක්කත්, ඒ සඳහා තිබුණු ආකර්ෂණීය බව තරමක් අඩු වීම නිසයි, එහි තැන ක්ෂණික මාධ්‍යයක් වුණු රූපවාහිනියට පැවෙරෙන්නේ. රූපවාහිනියටත් වෙබ්අඩවි, විවිධ සමාජජාලාවල බිහිවීමත් සමඟ ඇති වන්නේ තරගයක්. ඒ තරගයේදී අනෙක් දේ සමඟ රූපවාහිනිය ඉදිරියට යන්නේ කෙලෙස දැයි සොයාගෙන යන ගමනේ ප්‍රතිඵලයක් විදියටයි ලෝකයේ පුවත්පත් කියන මාධ්‍ය රූපවාහිනියෙන් රූපරචනයක් විදියට කියැවීම ආරම්භ කරන්නේ. අපේ රටේදි මේ කාරණය ආරම්භ කරන්නේ මුල්පිටුව සමඟ බන්දුල පද්මකුමාර මහත්මයා හරහායි. මෙහි සංකල්ප නිර්මාර්තෘ වන්නේ ප්‍රවීණ අධ්‍යකෂ කැලුම් පාලිත මහිතරත්න මහතායි. මෙවැනි වැඩසටහනක් ලංකාවේ කෙරෙන්නේ ප්‍රථම වතාවටයි. එය හිතන්නේ නැති ප්‍රමාණයකට ජනප්‍රිය වීම සිදු වන්නේ මේ අතරයි. එලෙස වන්නේ මිනිසුන්ගේ තිබුණු කාර්යබහුලත්වයත් සමඟයි. මොකද නැවතිල්ලේ ඉස්පාසුවක ඉඳගෙන පුවත්පතක් කියැවීමට තරම් කාලයක් ඔවුන්ට නොතිබීම නිසා ම ක්ෂණික මාධ්‍යවලට ඔවුන්ගේ තිබුණේ බොහෝ ඇල්මක්. ඒ හරහා ඊට ප්‍රාසංගික පැත්තක් එකතු වීමත් සමඟ පුවත්පත්වලින් අකුරුත් සමඟ කරන සෙල්ලම ප්‍රාසංගික මාධ්‍යයක් වීම අරඹනවා. එහි ප්‍රතිඵලයක් විදියටයි එක් එක් නාලිකා විවිධ ආකාරයෙන් ඉදිරිපත් කිරීමත් සමඟ විවිධ දේ සොයා යන්නේ. ඒ අනුව වැඩසටහන් අතර විවිධ හැඩ ගන්වන්නට පටන් ගැනෙනවා. මේ නිසා මිනිස්සුන්ට බොහොම කෙටියෙන් තමන්ට අවශ්‍ය ප්‍රවෘත්ති, දේශපාලන තොරතුරු, කලා තොරතුරු ආදී සියල්ල සිරස්තල ඔස්සේ දැන ගැනීමට අවස්ථාවක් රූපවාහිනිය හරහා උදාවෙනවා. එහිදි මෙහිම දිගුවක් විදියටයි සියත නාලිකාව පුවත්පත්වල තිබෙන කලා තොරතුරු පමණක් ඇතුළත් ටැබ්ලොයිඩ් කියැවීම ආරම්භ කරන්නේ.එයත් කැලුම් පාලිත මහිතරත්නයන්ගේ සංකල්පයක්”

ලෝකයේ රූපවාහිනියේ බිහිවීමත්, සියත රූපවාහිනියේ ටැබ්ලොයිඩ් කියැවීම ආරම්භ කිරීමත් පිළිබඳ කතාබහ ආරම්භ කරන ලද්දේ මේ වැඩසටහනේ සන්නිවේදිකාවක ලෙස කටයුතු කරන සුමුදු චතුරාණි ජයවර්ධන ය. ලෝකයේ වගේ ම අපේ රටේත් පුවත්පත් රූපවාහිනියෙන් කියැවීම ආරම්භ කරන කාලයේ ඒ කණ්ඩායමේ සිටි කැලුම් පාලිත මහීරත්න, සියතට පැමිණීමත් සමඟ ඉරිදා දිනයේ පුවත්පත් කියැවීම ද වෙනසකට භාජනය කරයි.

“මුලින් ම මා සියතට සම්බන්ධ වන්නේ උදෑසන වැඩසටහන් සඳහායි. ඒ අතරතුරදියි ‘ලෝකය හා ගෝලය’ කියන වැඩසටහන ආරම්භ කරන්නේ. ඒ වැඩසටහන්වලින් පසුවයි පුවත්පත් කියැවීමේ දිනපතා වැඩසටහනට මා සම්බන්ධ වන්නේ. සතියේ දිනවලදි පුවත්පත් කියැවීමේදි මුලින් ම මා සමඟ සම්බන්ධ වූයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මහාචාර්ය ප්‍රැක්ටික් රත්නායක, ජනක මල්ලිමාරච්චි යන අයයි. මේ කටයුතු සිදුවන අතරදියි එහි එවකට අධ්‍යක්ෂවරයා වුණු කැලුම් පාලිත මහීරත්න මහතාගේ අදහසක් අනුව ඉරිදා දිනයේ උදෑසන කලා අතිරේකවල ඇතුළත් කලා තොරතුරු සමාලෝචනය කිරීම ආරම්භ වන්නේ. ඒ වැඩසටහන ආරම්භ කරන්නේ මමත් සුමුදුත් විසින්.”

සියත රූපවාහිනියේ ඉරිදා වැඩසටහන වන ටැබ්ලොයිඩ් කියැවීමට සහභාගි වන අනෙක් මාධ්‍යය සඟයා ප්‍රගීත් විජේසූරිය ද සිය අතීත සිතුවිලි මතකයට නැඟුවේ එලෙසිනි.

“නිවෙසට ඉරිදා පුවත්පත අරගෙන ගියාට පස්සේ බොහෝ දෙනා අතට ගන්නේ එහි තිබෙන ටැබ්ලොයිඩ් පුවත්පතයි. ඒ තරමට ම ලක්බිම - රිද්ම, දිවයින - මීවිත, ලංකාදීප - සදැල්ල, සිළුමිණ - රසඳුන, රිවිර - රිවිසරසි,මව්බිම- හදගැස්ම කියන ටැබ්ලොයිඩ් පුවත්පත් බොහොම ආකර්ෂණීයයි. මේ ටැබ්ලොයිඩ් පුවත්පත ආරම්භ කිරීමට මූලික වූ තැනැත්තා වන්නේ ද බන්දුල පද්මකුමාර මහතායි. ඒ ආරම්භයත් සමඟ විවිධ ආකාරයෙන් පවත්වන ලද සමීක්ෂණ වාර්තාවලින් ද අපට පෙනෙන්නේ ඉරිදා ජාතික පුවත්පත කරගහ ගෙන යන්නේ ටැබ්ලොයිටඩ් ද යන්නයි. ඒ තරමටම ටැබ්ලොයිඩ්වල තිබෙන සාර් ථකත්වය ප්‍රධාන පුවත්පතේ අලෙවියට බලපෑම් කළ බව රහසක් නොවෙයි. එහෙත් රූපවාහිනියේදී පුවත්පත් කියැවී‍මේ කාරණයේදී ටැබ්ලොයිඩ්වලට ඔවුන්ගේ විශේෂ අවධානයක් යොමු වූයේ නැහැ. එහෙත් ඒ කාරණය සියත රූපවාහිනයේදි වෙනසකට ලක් ‍කරනවා.”

එලෙස ටැබ්ලොයිඩ් අතිරේක වල ඇතුළත් කලා තොරතුරු සමාලෝචනය ගැන සුමුදු චතුරාණි පැවසූ අතර ඒ හරහා කියැවෙන බොහෝ ලිපිවල තෝරාගැනීම පිළිබඳ පැවසූයේ ප්‍රගීත් විජේසූරියයි.

“ටැබ්ලොයිඩ් කියැවීමේදි ලිපිවල තෝරා ගැනීම සම්බන්ධයෙන් මේ ලිපිය ගත යුතුය; මේ ලිපිය නොගත යුතුය යන්නට යම් වර්ග කිරීමක් අපට තිබුණේ නැහැ. එහෙත් සෑම ටැබ්ලොයිඩ් එකක් සඳහා ම අප සමාන ඉඩක් ලබාදීමටයි උත්සාහ කළේ. සමහර ටැබ්ලොයිඩ් අතට ගත්තට පස්සේ එහි කියවන්නට බොහෝ දේ තිබුණා. එවිට ඒ සියලු දේ අතහැර යන්නට අපට හැකියාවක් තිබුණේ නැහැ. මේ අනුව අප කිසිම ටැබ්ලොයිඩ් එකකට මූලිකත්වයක් ලබාදුන්නේ නැහැ. ඒ වගේ ම ටැබ්ලොයිඩ්වල තිබෙන නමකට විශේෂත්වයක් කළේත් නැහැ. එහිදී ප්‍රවීණ අයගේ වගේ ම නවක අයගේ ලිපිවල තොරතුරුවලටත් මූලිකත්වය ලබාදීමට අප උත්සාහ ගත්තා. ඔවුන් සියලු දෙනාගේ කාර්යයන්වල ගත යුත්තක් තිබේ නම්, නරඹන්නන් සියල්ලන්ට ම ඒ ගැන ප්‍රකාශ කිරීමට දෙයක් ඇත්නම්, අප නිතර ම ඒ සියලු දේ වැඩසටහනේදී පැවසුවා. අලුත් සොයාගැනීම්, බොලිවුඩ්, හොලිවුඩ් තොරතුරුවල පටන් සාහිත්‍ය, ක්‍රීඩා තොරතුරු දක්වාත් ඒ සියලු තොරතුරු බෙදී ගියා.”

ප්‍රගීත්ගෙන් ගිලිහුණු බොහෝ කරුණු කාරණා අතරට සුමුදු චතුරාණිගේ මේ අදහස් පෙළ නරඹන්නන්ට සියත ඉරිදා ටැබ්ලොයිඩ් පිළිබඳ වෙනස් ම කතාවකි.

“ප්‍රධාන පුවත්පතෙන් ඔබ්බට ගොස් ටැබ්ලොයිඩ්ල තිබෙන තොරතුරු දැන ගැනීමට තරම් කාරණා එහි අඩංගු වේ දැයි කෙනකුට සිතෙන්නට හැකියි. අප වෙත එල්ල වන බොහෝ සංකීර්ණ ගැටලු හමුවේ ඔද්දල් වන සිතට ඖෂධයක් වන්නේ කලාවයි. කලාවේ නියැළෙන කලාකරුවන්ගේ තොරතුරු හා එහි ඇතුළත් බොහෝ දේ මේ වැඩසටහන ඔස්සේ කතාබහ කිරීම මඟින් රැගෙන ආවේ කලින් කියන ලද සිත්වලට සැනසීමක්. ඒ වගේ ම කලාකරුවන්ට ඒ හරහා ලැබුණේ වැඩි වටිනාකමක්. ඔවුන් වගේම පුවත්පත්වල සංස්කාරකවරුන් මේ වැඩසටහන වටා පෙළ ගැසී සිටියා. ඒ ඔවුන් වෙනුවෙන් අනෙක් වැඩසටහන්වලදි වැඩි අවධානයක් යොමු වී නොතිබුණු නිසයි. අනෙක් කාරණය නම් මම හා ප්‍රගීත් මේ වැඩසටහන ඉදිරිපත් කිරීමේදී නිතර ම උත්සාහ ගන්නේ ඒ ලිපියෙන් ඔබ්බට ගොස් රූපවාහිනිය නරඹන්නාට දැනුමක් ලබාදීමටයි. එහි තිබෙන දෙයට වඩා දෙයක් කියන්නට අප ගන්නා උත්සාහයේදී නව දැනුමක් සම්පාදනය වීම විශේෂයි. අලුත් ගීත, අලුත් චිත්‍රපට, නාට්‍ය වැඩමුළු ආදී සියල්ල පිළිබඳ දැනුම්වත් කිරීම මඟින් අනෙක් අයට ඒ කටයුතු සඳහා සහභාගි වීමට අවස්ථාව හිමි වුණා. මේ නිසා ටැබ්ලොයිඩ් කියැවීමෙ හරහා වෙනම හැඩයක්, ප්‍රවේශයක් ආරම්භ වූ බවකුයි අපට හැඟෙන්නේ.”

වැඩසටහනක් දෙදෙ‍නකුගේ සහයෝගයෙන් දිගින් දිගට ම පවත්වාගෙන යෑම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. ඒ කාර්යයේ ස්වභාවය පිළිබඳ ප්‍රගීත් දකින්නේ මෙලෙසිනි.

“සැබෑවට ම ඒ කාරණය සංකීර්ණයි. එහෙත් ඒ කාරණය තේරුම් ගැනීම අනුවයි සරල බවක් ඇති වන්නේ. එය තීරණය වන්නේ කාලයත් සමඟයි. කාලයේ ගතවීමත් සමඟ මා සමඟ කටයුතු කරන අනෙක් නිවේදිකාවගේ ස්වභාවය මට දැනෙන්නට පටන් ගන්නවා. මා සමඟ වැඩසටහන කරන අනෙක් නිවේදිකාව ඉදිරිපත් කිරීම කරන්නේ කෙලෙස ද? යන්න ඇති වන දැනීමයි වැඩසටහනේ සුහඳ බව පෙළගස්වන්නේ. මා හැමදාම පුවත්පත් කියවන නිසාත්, මා නිවේදකයකු නිසාත් ඈ ඉක්මවා යෑමටත්, වැඩිපුර කතා කිරීමටත් අවශ්‍ය වන්නේ නැහැ. අප දෙදෙනා අතර සම තත්ත්වයකුයි නිර්මාණය වී ඇත්තේ. මා දකින අනෙක් කාරණය නම් අප අතර පවතින සහයෝගීතාවයි. සුමුදු මේ කටයුත්තේදී යම් තැනකදි ඒ පිළිබඳ වඩා දැනුවත් නොවන්නේ නම් ඒ අවස්ථාවේදී මට ඉඩහසර ලබාදෙන අතර ම, යම් අවස්ථාවක මා වැඩි දැනුවත් බවකින් යුක්ත නොවන්නේ නම් වැඩි ඉඩහසරක් ඈට ලබාදීමටත් අප දෙදෙනා පසුබට වන්නේ නැහැ. මේ නිසා ම අප අතර ගැටීමක් ඇති වන්නේ නැහැ. ඈ යමක් කියවාගෙන යන විට අතර මැදින් බාධා කිරීමක් කරනවාට වඩා ඒ අදහසට යමක් අතරමගදි එකතු කිරීමට නම් අප දෙදෙනා අතර යම් අවබෝධයක් තිබිය යුතුයි. ඒ අවබෝධය අප දෙදෙනා ම සතුයි. මෙවැනි සමහර වැඩසටහන්වලදි නිවේදක, නිවේදිකා දෙදෙනා නිසා නරඹන්නා අවුලකට පත්වන අවස්ථා පිළිබඳ අත්දැකීම් කොතෙකුත් අප සතුයි. එහෙම අවුලක් මේ වැඩසටහන හරහා නරඹන්නන් අතර ඇති නොවන බව මට විශ්වාසයි. මා එලෙස පවසන්නේ මේ වැඩසටහනට අපට ලැබෙන ප්‍රතිචාර හමුවේයි.”

පුවත්පත් හරහා පාඨකයන් හමුවන පිවිසෙන සුමුදු නිවේදිකාවක නොවේ. ඈ පුවත්පත් මාධ්‍යවේදිනියකි; සිළුමිණ පුවත්පතේ විශේෂාංග කර්තෘවරිය වන ඇය සිළුමිණ පුන්කලස ශාස්ත්‍රීය අතිරේකයේ සංස්කාරකවරිය ද වෙයි. ඊට අමතර ව ඇය ‘සත්මඬල‘ මාසික සඟරාවේ ප්‍රධාන කර්තෘ ද වෙයි.

උදෑසන පුවත්පත් කියැවීමේදී පෙර සූදානම බොහෝ වටිනා කාරණයකි. මේ ඒ සඳහා ඔවුන් මුහුණ දෙන්නේ කෙලෙසක ද යන්නට ගෙනහැර පෑමකි.

“පෙර සූදානමක් නැතිනම් මේ තරමට වඩාත් හොඳින් අපට වැඩසටහන කිරීමට ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදියට සමහර ටැබ්ලොයිඩ්වල තිබෙන ලිපිවලදි ඒ සඳහා සිරස්තලයක් යොදා ඇත්තේ ඒ ලිපිය කෙරෙහි පාඨකයන්ගේ සිත ඇඳ බැඳ තබා ගන්නා අයුරින් විය හැකියි. එහෙත් එහි ගත යුතු සාරය, හරය ඒ සිරස්තලයේ නොවිය හැකියි. එවැනි අවස්ථාවකදි සම්පූර් ණයෙන් ම ලිපිය කියෙව්වොත් පමණයි හොඳම ස්ථානය කුමක් ද යන්න අපට හඳුනාගත හැක්කේ. අප මේ ඉදිරිපත් කිරීම කරන්නේ පුවත්පත කියවන පාඨකයාට මෙන්ම රූපවාහිනිය නරඹන නරඹන්නන් ද උදෙසායි. ඒ නිසා අප වැඩසටහනේදී මේ පිළිබඳ බොහෝ සෝ සැලකිලිමත් වෙනවා. වැඩසටහනට පෙර සුමුදු වගේ ම මමත් එකම ටැබ්ලොයිඩ් එකේ එක ම ලිපිය කියවනවා. එවිට ඈට හොඳයි කියලා හිතෙන ස්ථාන ඈ ලකුණු කර ගන්නා අතර ම, මට හොඳයි කියලා හිතෙන ස්ථාන මා ලකුණු කර ගන්නවා. සමහර විට අප දෙදෙනා ම එකම ලකුණු කිරීමක යෙදිලා තිබෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. එහිදි සමාජයට පණිවුඩයක් ගෙනෙන, හරයක් ලෙස හැංගී තිබෙන එවැනි කාරණයකටයි මූලිකත්වය ලැබෙන්නේ. එවැනි අනුගමනය කිරීමක් නිසයි අපේ වැඩසටහන අන් වැඩසටහන් අතරින් සාර් ථකත්වය කරා ගමන් කර තිබෙන්නේ.”

ප්‍රගීත් හා සුමුදු ඉදිරිපත් කරන සියත පරත්තරේ වැඩසටහනේ ඉරිදා කලා ටැබ්ලොයිඩ් අතිරේක වල ඇතුළත් කලා තොරතුරු සමාලෝචනය කිරීම මේ වනවිට බොහෝදෙනා අතර ජනප්‍රියත්වයට පත් වී ඇත. මේ කටයුත්ත පිටුපස සිටින සියතේ ප්‍රධානීතුමා ඇතුළු අනෙක් කාර්යමණ්ඩලය ද බෙහෙවින් ආදරයෙන් යුතුව සිහිපත් කළ ඔවුන් පවසන්නේ මේ වැඩසටහනේ සාර් ථකත්වය පසුපස ඒ පිරිස ද සිටින බවයි.

තිලානි ශානිකා විතානාච්චි


නව අදහස දක්වන්න

Or log in with...