ජීවිතයත් මරණයත් යා කළ කොළ (දෙවැනි කොටස) | දිනමිණ

ජීවිතයත් මරණයත් යා කළ කොළ (දෙවැනි කොටස)

එම අරුත් දැක්වීමට අනුව ආර්නෝල්ෆිනිගේ ගැබ්බර බිරියගෙන් එකවර පුද්ගලයන් දෙදෙනෙකු නිරූපණයවේ. එක් අයකු ඔහුගේ ජීවත්ව සිටින බිරියයි. අනෙකා නම් දරු උපතකදී මිය ගිය ඔහුගේ පළමු විවාහයේ බිරියයි. එම අභව්‍ය තර්කය සාධාරණීකරණය කිරීමට විචාරකයින් හේතු දෙකක් දක්වයි. ඒ ආර්නෝල්ෆිනි යුවළට පිටුපසින් බිත්තියේ සවිකර ඇති උත්තල දර්පණය හා කාන්තාවගේ හිසට ඉහළින් එල්වා ඇති ආලෝක පහන් පොකුරේ වන නිවීගිය ඉටිපන්දම් තිරයයි. නිවීගිය ඉටිපන්දම් සිළුව මරණයේ සංකේතයක් ලෙසත්, උත්තල දර්පණයෙන් පරාවර්ථිත, යුවළගේ ඇදපළුදුවූ ප්‍රතිබිම්බයෙන් වෙනස් යථාර්ථයකට අයත් ඔවුන්ගේ වෙනත්ම පුද්ගලිකත්වයකුත් නිරූපණය කළාය යන්න එම අර්ථදැක්වීමෙන් කියැවේ.

ජෝන් කොන්ස්ටබල්ගේ ‘The Hay Wain’ නමැති සිතුවම කොළ පැහැයේ තවත් අර්ථ දැක්වීමක් කරළියට ගෙනෙන්නකි. විචාරකයින්ට අනුව එහි නිරූපිත ‘ස්ටුවර්‘ නදියේ මඩ පැහැයට හුරු කොළ පැහැති ජල තරංග නැඟී සිටින්නේ සිත්තරාගේ සිතේ නිධන්ව ඇති ඔහුගේ ළමාවියේ පරිකල්පනත්, යථාර්ථයත් අතර වන වෙනසේ නිරූපණයක් ලෙසයි. ළපටිවියේ මැවූ සිතුවිලි මාළිඟා හා එකී බලාපොරොත්තු බිඳවැටීමෙන් හටගත් කාංසාව කියාපෑමට හරිත වර්ණය සතු දක්ෂතාව කියාපාන කැටපතකි ‘The Hay Wain’ කලා නිර්මාණය.

කොළ පැහැයේ වඩාත් මෑතකාලීන කලාත්මක නිරූපණවලදි එහි භාවිතය සිදුව ඇත්තේ කියන්නට ඇති දෑ හෙළිකරනවාට වඩා සඟවා තබාගන්නා වර්ණයක් ලෙසයි. බෙල්ජියානු ජාතික සංදෘෂ්ඨිකවාදි චිත්‍ර ශිල්පියෙකු වන ‘රෙනේ මැග්රයිට්ගේ‘ සුප්‍රකට ‘The Son of Man’ නමැති ‘ස්වප්‍රතිරෝධි‘ සිතුවම ඊට කදිම නිදසුනකි. සිතුවමේ දැක්වෙන තමාගේම මුහුණේ වැදගත්ම අංග නරඹන්නන්ට නොපෙනෙන පරිදි අවහිර කර ඇත්තේ ඒ අතරට කොළ පැහැ ඇපල් ගෙඩි සිතුවම් කිරීමෙනි.නොපවතින දේවල හා දෘශ්‍යමාන පවතින දේවල් අතර රිද්මය, වඩාත් ගැඹුරු මට්ටමකින් හඳුනාගැනීමට කොළ පැහැය යොදාගැනීම ගැන සමකාලීන චිත්‍ර ශිල්පින්ට හඳුන්වා දුන්නේ මැග්රයිට්ය.

“ අපි දකින හැමදෙයක්ම තවත් නොපෙනෙන දෙයක් හංගාගෙනයි ඉන්නේ. අපි හැමවිටම උත්සාහ කරන්නේ අප දකින දේවල් විසින් හංගාගෙන ඉන්න දේවල් දැකගන්නයි. මේ ආශාව ඇතැම්විට ප්‍රබල හැඟීමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. සමහරවිට සැඟවුණු දෘශ්‍යමාන දේවලුත්, ඇත්තටම පවතින දාශ්‍යමාන දේවලුත් අතර මතභේදයක් ඇතිවන තරමට ඒ හැඟීම වර්ධනය වෙන්න පුළුවන්.“ මැග්රයිට් කොළ පැහැයේ සිය භාවිතය විස්තර කරන්නේ එයාකාරයටය.

ජරාජීර්ණත්වයේ වර්ණයක සිට සශ්‍රීකත්වයේ සුපිරිසිදු වර්ණයක් දක්වා කොළ පැහැයේ සිදුවූ විකාශය ගැන කියාදෙන්නේ ‘ෂෝන් ස්කලීගේ‘ ‘The Bathers’ සිතුවමයි. ඊට වසර හැත්තෑවකට පෙර ‘හෙන්රි මැටිස්‘ විසින් නිර්මාණය කළ ‘The Bathers by a River‘ සිතුවම ඇසුරින් කළ ප්‍රතිනිර්මාණයක් වන ‘The Bathers’ හි දිය නාන පිරිස නිරූපණය කර ඇත්තේ කොළ පැහැති පුළුල්, සිරස් කදම්භවලිනි. පෙනෙන්නට ඇති නොපවතින දේ හා පෙනෙන්නට ඇති සැබවින්ම පවතින දේවල රිද්මය‘ෂෝන් ස්කලී‘ තරම් හොඳින් අවබෝධකරගත් සමකාලීන කලාකරුවකු තවත් නැතිවා විය හැක. මරණය හා දිරාපත්වීම හා බැඳුණු පැහැයක සිට අචින්ත්‍යත්වය හා නිර්මලත්වය දක්වා කොළ පැහැය ගෙනඒමට, සියවස් ගණනාවක සිට චිත්‍ර ශිල්පීන් ගත් උත්සාහය පරිපූර්ණත්වයට පත්කිරීමට ස්කලී සමත්ව ඇත්තේ එකී රිද්මය හඳුනාගැනීම තුළිනි.

රුක්ලන්ති පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...