උසස් රසවින්දනය ගමට ගෙන ඒම අපේ අරමුණයි | දිනමිණ

උසස් රසවින්දනය ගමට ගෙන ඒම අපේ අරමුණයි

අසංක ජයලත්

l “වසන්තයේ අග” ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

අපේ සුබසාධක සංගමය විසින් මේ වසරේ පැවැත්වීමට සූදානම් වන ප්‍රසංගය තමයි “වසන්තයේ අග” කියන්නේ. විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද ශෂිකා නිසංසලාගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 21 වන දා මාවනැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. දර්ශන වාර දෙකයි. උදේ 10.30 දර්ශනය පාසල් ළමුන්ට. සවස 6.30ට පැවැත්වෙන්නේ මහජන දර්ශනය. පාසල් දර්ශනයේදී 9, 10, 11 ශ්‍රේණිවල සහ උසස් පෙළ සිසුන්ගේ විෂය නිර්දේශයට අයත් ගීත ගායනා කෙරෙන්නේ, වින්දනාත්මක සාකච්ඡාවකුත් සමඟයි. ඒ වගේම මහජන දර්ශනයේදීත් ගීත ගායනය සිදු කෙරෙන්නේ ඒ සුභාවිත ගීතය රසවීඳීමට උපකාරී වන වින්දනීය සාකච්ඡාවක් සමඟ වීම විශේෂත්වයක්.

l මේ වැඩසටහන් මාලාවේ ආරම්භය සිදු වූයේ කුමන ආකාරයෙන්ද?

මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සුබසාධක සංගමය විසින් තමයි මේ වැඩසටහන් මාලාව ආරම්භ කළේ. අපේ සුබසාධක සංගමයේ ඉන්නවා සාමාජිකයින් හැත්තෑ එක් දෙනෙක්. මේක ඇත්තෙන්ම අපේ රැකියාවෙන් පරිබාහිරව සිදු කෙරෙන කටයුත්තක්. අපි මේ කටයුත්ත ආරම්භ කළේ 2013 වසරෙදි. මුල්ම ප්‍රසංගය වුණේ “කෝලම්” ඒක පහත රට නර්තන අංග සම්බන්ධ ප්‍රසංගයක්. 2014 දි “ගී රඟ සොබා” නමින් පැරණි නාට්‍යමය ගීත ප්‍රසංගයක් පැවැත්වුවා. 2015 වසරේදී අපි ඉදිරිපත් කළේ ලයනල් රන්වලයන්ගේ “ගම අවුලඤ්ඤං” ප්‍රසංගය. 2016 දි උඩරට, පහතරට, සබරගමු කියන සම්ප්‍රදායන් තුනේම නර්තනාංග සහිත ප්‍රසංගයක් කළා “ත්‍රී මාත්‍රා” නමින්. 2017 දී අපි දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ “මධුර ජවනිකා” ඉදිරිපත් කළා.

l මෙවැනි ප්‍රසංග පැවැත්වීමේ අරමුණ කුමක්ද?

2013 ඉඳන් 2017 වෙනකල් කළ වැඩසටහන් මාලාවේ අරමුණු කිහිපයක්ම තිබුණා. මේ හැම ප්‍රසංගයක්ම පාසල් ළමුන්ට හරවත් යමක් දෙන්න ගත්ත උත්සාහක් විදිහට අපි ඔවුන් වෙනුවෙන් ම වෙන් වුණු 10.30 ප්‍රසංගයක් පැවැත්වුවා. මොකද අපේ සංගමේ හැමෝම ඉන්නෙ උපාධිධාරින්. ඒ අතර පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් එළියට ආව කවුරුත් නෑ. අපි ඔක්කොම රජයේ විශ්ව විද්‍යාලවලින්, ඒ කියන්නෙ මේ රටේ ජනතාවගේ මුදල්වලින් ඉගෙනගත්ත අය. ඉතිං අපි හිතනවා අවම වශයෙන් අපේ ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන්වත් හරවත් යමක් කිරීමේ වගකීමක් අපිට පැවරිලා තියෙනවා කියලා. ඒ නිසා ම අපි මේ හැම ප්‍රසංගයක් ම කරන්නෙ කාලයක් තිස්සෙ සාකච්ඡා කරලා. ඒ වගේම හොඳින් සංවිධානය වෙලා. මොකද ඒ හැම එකකින් ම දරුවන්ට යමක් දෙන්න ඕනෙ කියන හැඟීම අපේ හිත්වල තියෙනවා. අනිත් කාරණාව තමයි කොළඹයි මාවනැල්ලයි ගත්තම ලොකු වෙනසක් තියෙනවා. කොළඹ ඕන වෙලාවක තැන් කිහිපයකම වේදිකා නාට්‍ය සහ ප්‍රසංග බලන්න පුළුවන්. නමුත් මාවනැල්ලෙ එහෙම නෑ. මෙහෙ හරවත් දෙයක් බලන්න මිනිස්සුන්ට තියෙන ඉඩකඩ හරි අඩුයි. කොළඹට මේ දේවල් අරුමයක් නෙවෙයි. හැබැයි මාවනැල්ල වගේ පැත්තක මේ වගේ ප්‍රසංග කරන්න බැහැ ලේසියෙන්. එකක් තමයි මේවට යන වියදම. අපි මේ වෙනකල් කළේ ප්‍රශස්ත මට්ටමේ ප්‍රසංගයන්. ඒවා රසවිඳින්න පුළුවන් හොඳ රසඥතාවක් තියෙන අයට විතරයි. එහෙම අයට අපේ ප්‍රදේශයේ බලන්න දේවල් අඩුයි. ඒ නිසා ප්‍රදේශවාසීන්ට උසස් රසවින්දනයක් ලබා දෙන එකත් අපේ මූලික අරමුණක්. ශාලාවේ ආසන 1000යි තියෙන්නෙ. නමුත් හැම අවුරුද්දකම අසුන් මදි වෙන ප්‍රමාණයට සෙනඟ පිරෙනවා. අපි කරන ප්‍රසංගය මොකක් වුණත් ඒක අනිවාර්යයෙන් ම නරඹන්න එන පිරිසක් මේ වෙද්දි අපි වටා ඉන්නවා.

l කොහොමද මෙවැනි දේකට පෙළඹුණේ?

අපේ සුබසාධක සංගමයට අරමුදලක් හදාගන්නත් ඕනෙ වුණා. ඒ හේතුවත් මුල් වුණා මේ කටයුත්ත ආරම්භ කරන්න. අපිට ඕනෙ වුණේ අපේ පිරිස එකතු කරගෙන වටිනා යමක් කරන්නයි. අන්තිමේ දි මේක අපිටම අභියෝගයක් වුණා. පළවෙනි අවුරුද්දෙ ප්‍රසංගයට ලැබුණු ඉහළ ප්‍රතිචාරත් එක්ක දෙවැනි අවුරුද්දට ගියා. එතනදි ඊටත් වැඩිය ප්‍රතිචාර. ඔය විදිහට වසරින් වසර ආපු ගමනක් මේක. දැන් අපිට මේක නවත්තගන්න බෑ. මොකද මේ වෙනුවෙන් දැඩි උනන්දුවක් දක්වන ප්‍රේක්ෂක පිරිසක් බිහිවෙලා ඉන්නවා. හැම ප්‍රසංගයක්ම අවසානයේ ඒ අය අපෙන් අහන්නෙ ඊගාව අවුරුද්දෙ මොකක්ද කරන්නෙ කියලා.

l මේ සඳහා සහයෝගය ලබා දෙන පිරිස කවුරුන්ද?

විශේෂයෙන් ම සඳහන් කරන්න ඕනෙ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ගැන. එතුමාගේ අවසරය ඇතිවයි මේ වැඩසටහන් පැවැත්වෙන්නෙ. එතුමා කිසිම පැකිලීමක් නැතිව හැම අවුරුද්දෙම සහභාගි වෙනවා. ඒ අවසරය අපිට ලබා දෙනවා. ඒ වගේ ම විශේෂ සහයෝගයක් ලබා දෙන කෙනෙක් තමයි අපේ ප්‍රාදේශීය ලේකම් තුමිය, ප්‍රියංගනී පෙතංගොඩ. ඊට අමතරව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර අධ්‍යක්ෂකවරු දෙපළ, මාවනැල්ල ප්‍රාදේශීය සභාව, කළාප අධ්‍යාපන කාර්යාලය, ප්‍රදේශයේ විදුහල්පතිවරු සහ ගුරුවරු, රාජ්‍ය බැංකු, පක්ෂ භේදයකින් තොරව ප්‍රදේශයේ දේශපාලනඥයින් සහ මාවනැල්ලේ සිංහල, මුස්ලිම් පුද්ගලික ව්‍යාපාරිකයන් මේ වැඩසටහන පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකල් විශාල සහයෝගයක් ලබා දෙනවා.

l මේ ප්‍රසංගවලින් ලැබෙන මුදල් යොදවන්නේ කුමක් සඳහාද?

අපි මේ ප්‍රසංගවලින් ඉතුරු කරගත්තු ලක්ෂ 13 ½ වගේ මුදලක් වියදම් කරලා මාවනැල්ලෙ කෝන්දෙනිය වසමේ අසරණ පවුලකට නිවසක් හදලා දුන්නා. ඒ වගේම ප්‍රදේශයේ පැවැත්වෙන සංස්කෘතික, අධ්‍යාපනික සහ ආගමික වැඩසටහන්වලටත් අපි මූල්‍ය අනුග්‍රහය දක්වනවා. ඉදිරියට අපේ අරමුණක් තියෙනවා පාසල් ළමුන් කිහිප දෙනෙකුට ශිෂ්‍යත්වයක් ලබා දෙන්නත්. ප්‍රේක්ෂකයාට උසස් රසවින්දනයක් ලබා දෙන ගමන් ම මේ ප්‍රසංගවලින් ලැබෙන මුදල් අපි එවැනි සමාජ සේවාවන් සඳහා යොදවනවා.

කාංචනා සිරිවර්ධන 

නව අදහස දක්වන්න