ඉන්ධන-ගෑස් මෙහෙයුම | දිනමිණ

ඉන්ධන-ගෑස් මෙහෙයුම

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඛනිජ ඉන්ධන හා ‍වායු සම්පත් ගවේෂණය කඩිනම් කිරීමට රජය තීරණය කෙළේ පසුගිය අවුරුද්දේ මැයි මාසයේදීය.

එම තීරණයට අනුව යමින් BGP PIONEER සාගර ගවේෂණ නෞකාව අපේ උතුරු නැ‍ඟෙනහිර සාගරයේ නිශ්චිත ප්‍රදේශයක සැරිසරමින් ද්විමාන භූ කම්පන දත්ත ලබාගැනීමේ කාර්යය පසුගිය සතියේ ආරම්භ කළාය. එය ලාංකික තෙල් ගවේෂණ ක්‍රියාවලියේ තවත් ඉදිරි පියවරකි.

ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ඛනිජ තෙල් සංවර්ධන ලේකම් කාර්යාලය තෙල් ගවේෂණ කටයුතු මෙහෙයවයි.

ඛනිජමය ගවේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරය ප්‍රධාන කලාප තුනකට බෙදා ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා කියයි. ලංකා ද්‍රෝනිය, මන්නාරම ද්‍රෝනිය සහ කාවේරි ද්‍රෝනිය එම ප්‍රධාන කලාප තුනය.

ලංකා ද්‍රෝනිය නැවත උප කලාප 6 කටත්, මන්නාරම ද්‍රෝනිය උප කලාප 9 කටත්, කාවේරි ද්‍රෝනිය නැවත උප කලාප 5 කටත් බෙදා ඇති බවද දසනායක මහතා කියයි. ඔහු තවදුරටත් පවසන අන්දමට පසුගිය සතියේ ද්විමාන භූ කම්පන තරංග එකතු කිරීම ඇරඹුණේ නැ‍ඟෙනහිර සාගර කලාපයට අයත් JS 5 සහ JS 6 යන මුහුදු උප කලාප දෙක තුළය. එම කලාප දෙකට අයත් වෙරළ තීරය කිලෝමීටර් 5000 කි. මීටර් 3000 සිට 4000 දක්වා වූ අතිගැඹුරු හතර කලාපයක පයනියර් නෞකාව දැන් සිය රාජකාරියේ නිරතව සිටී. ගොඩබිම අතින් බලන විට එම මුහුදු කලාපය මඩකළපුව සිට ත්‍රිකුණාමලයෙන් ඔබ්බට විහිදී තිබේ.

ගවේෂණ නෞකාව

මන්නාරම ද්‍රෝනිය බටහිර වෙරළේ මාතර සිට මන්නාරම තෙක් විහිද ඇති ප්‍රදේශයකි. සාමාන්‍යයෙන් එහි ගැඹුර මීටර් 1500 ක් පමණය. කාවේරි ද්‍රෝනිය මන්නාරමින් උතුරට විහිදී නැ‍ඟෙනහිර මුහුද තෙක් තවදුරටත් ව්‍යාප්ත නොගැඹුරු සාගර ප්‍රදේශයකි. මේ සෑම කලාපයක්ම වරින්වර ගවේෂණයනට ලක්කර තිබේ.

අදාළ ගවේෂණ කටයුතු සඳහා පයනියර් නෞකාවට දින 45 ක පමණ කාලයක් ගතවනු ඇතැයි බලාපොරොත්තු වේ. පැනමා රාජ්‍යයේ ලියාපදිංචි කර ඇති මේ ගවේෂණ නෞකාවේ බර ටොන් 5739 කි. කාර්ය මණ්ඩල 45 කි. ශ්‍රී ලංකාවේ ගවේෂණයේ නිරතවන කාලය තුළ ශ්‍රී ලංකාවේ නියෝජිතයෙක් සහ නාවික හමුදාවේ නියෝජිතයෙක් එම නෞකාවේ රැඳී සිටිති. ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය නවතම උපකරණ එහි තිබේ.

නෞකාව මඟින් ලබාගන්නා දත්ත විශ්ලේෂණය කිරීම සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ සඳහා විශාල වියදමක් ද දැරීමට සිදුවේ. මේ ක්‍රියාවලිය සඳහා අමෙරිකානු ඩොලර් දසලක්ෂ 9 ක් පමණ වන විදේශ ආයෝජනයක් හිමිවේ. ලෝක ප්‍රකට SCHLUMBERGER ආයතනයට අයත් මැලේසියානු පර්යේෂණාගාරයක් වෙත පර්යේෂණය සඳහා මේ දත්ත යවනු ලැබේ. මේ සඳහා වන පූර්ණ විශ්ලේෂණයට මාස 5 - 6 ක පමණ කාලයක් ගතවිය හැකි යැයි වජිර දසනායක මහතා කියයි.

‍එම දත්ත විශ්ලේෂණයේ ප්‍රතිඵල ධනාත්මක වන බවට විශ්වාසය පළකරන දසනායක මහතා ඉදිරි කටයුතු තෙල් ගවේෂණ සමාගමක් වන TOTAL නම් ප්‍රංශ සමාගමයට පැවරෙන බව ද කියයි. නැ‍ඟෙනහිර මුහුදු තීරයේ JS 5 සහ 6 උප කලාපවල ගවේෂණ කටයුතු සඳහා ලෝක ප්‍රකට TOTAL EANDP සමාගමය සමඟ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම ගිවිසුමකට එළැඹුණේ 2016 පෙබරවාරි මාසයේදීය.

ලෝක තෙල් මිල පහත වැටීම සමඟ තෙල් ගවේෂණ කර්මාන්තය තුළට ආයෝජන ගලා ඒම අඩපණ විය. මැදපෙරදිග තෙල් ළිං කැණීමේ ව්‍යාපෘති නතර කරනු පවා දක්නට ලැබුණි. නැවත වරක් තෙල් ගවේෂණයට ආයෝජන ඉදිරිපත් වීම කඩිනම් වූයේ තෙල් මිල යහපත් අතට හැරීම සමඟය. මෙබඳු තත්ත්වයක් මැද ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණයට ආයෝජකයන් ඉදිරිපත් වීම වැදගත් සිදුවීමකි. ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂයකි.

ඉදිරි කටයුතු සඳහා ඇ. ඩොලර් දසලක්ෂ 50 කට අධික ආයෝජනයක් අවශ්‍ය වේ. දැනට ඒ සඳහා ගිවිසුම්ගතව සිටින ප්‍රංශයේ TOTAL සමාගමය දැවැන්ත මූල්‍ය ශක්තියක් සහිත පැරැණි සමාගමකි. එහි වත්කම ඇ. ඩොලර් බිලියන 272 කැයි අලුත්ම වාර්තා කියයි. සේවකයෝ දැනට 98277 කි. මේ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් අතර 7 වන ස්ථානය උසුලයි. අග්නිදිග ආසියාවේ තායිලන්තය, කොරියාව, ඉන්දුනීසියාව, හොංකොං ඇතුළු රටවල ඉන්ධන ක්ෂේත්‍රයට සම්බන්ධ TOTAL සමාගමය දැන් බුරුමය සමඟ ද ගිවිසුම්ගතව සිටී. මවු සමාගමය 1924 දී පිහිටුවන ලද අතර දැනට ඊට අනුබද්ධිත සමාගම් 903 කි.

මේ සමාගමයේ ප්‍රධාන විධායක ක්‍රිස්ටොපී මාජරී රාජකාරි ගමනකදී රුසියාවේ මොස්කව් නුවරට කිට්ටුව ගුවන් අනතුරකට ලක්ව 2014 දී මරුමුවට පත්විය. සමාගමය විසින් ඔහුට ගෙවූ වන්දි මුදල යූරෝ 2746335 කි. සමාගමයේ මූල්‍ය ශක්තිය එමඟින් ද තහවුරු වේ.

නැ‍ඟෙනහිර වෙරළ කලාපයේ දත්ත විශ්ලේෂණ අවසන් වාර්තාව සකස් වන්නේ ශ්‍රී ලංකා සහ TOTAL සමාගමයේ විද්‍යාඥයන්ගේ අතිනි. මෙම දත්ත වාර්තා ඉතා ඉහළ මූල්‍යමය වටිනාකමකින් යුක්තය.

ඛනිජ තලේ සංවර්ධන ලේකම් කාර්යාලයේ (PRDS) අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණ 2040 ට පෙර ධනාත්මක ප්‍රතිඵල ‍ළඟාකර දෙන බවයි. මෙය ඉතා දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියක් බව පවසන ඒ මහතා මන්නාරම් ද්‍රෝනියේ M2 උප කලාපයෙන් දැනටමත් ස්වභාවික වායු නිධි සොයාගෙන ඇති බව ද කීවේය.

මෙම වායු නිධි සංවර්ධනය හා ස්වභාවික වායු නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර ස්වභාවික වායු හා ඛනිජ තෙල් සමාගම්වලින් අභිමතය ප්‍රකාශ කිරීමේ යෝජනා කැඳවීමට 2017 පෙබරවාරියේදී රජය කටයුතු කෙළේය. මන්නාරම් කලාපයේ M2 උපකලාපයේ වායු නිධි ගවේෂණයට සුදුසු ආයෝජකයකු තෝරාගැනීම ඉදිරියේදී සිදුවේ. විදුලි බලය උත්පාදනය කිරීම සඳහා මෙම ස්වභාවික ගෑස් භාවිතා කිරීමට ද නියමිතය.

නැගෙනහිර කලාපය

කෙයාන් ලංකා සමාගමය මන්නාරම් ද්‍රෝනියේ වසර හතක් තිස්සේ කරගෙන ගිය ඛනිජ හා ගෑස් නිධි ගවේෂණය 2015 ඔක්තෝබරයේදී නවතාලීමට කෙයාන් ලංකා මවු සමාගමය තීරණය කෙළේය. එසේ කරන ලද්දේ බලශක්ති ක්ෂේත්‍රයේ උද්ගත වූ ගෝලීය අර්බුද නිසා මිස ශ්‍රී ලංකාවේ වරදකින් නොවේ.

එහෙත් කෙයාන් ලංකා සමාගමය කරන ලද ගවේෂණ මඟින් ලත් වටිනා තොරතුරු ශ්‍රී ලංකාව සතුවේ. දැනට පයනියර් නෞකාව නැ‍ඟෙනහිර මුහුදු කලාපයේ JS JOINT STUDY 5 - 6 කලාපයන්හි කරන ලද පරීක්ෂණ වාර්තාවල හිමිකාරීත්වය ද අත්වන්නේ ශ්‍රී ලංකාවටය. ඛනිජ ගවේෂණ කර්මාන්ත වෙළෙඳ පොළ තුළ මෙවැනි වාර්තාවනට ඉහළ වටිනාකමක් තිබේ.

මන්නාරම 2 උප කලාපයේ වාණිජ මෙහෙයුම් 2020 වන විට ආරම්භ කිරීමට හැකියාව ඇතැයි තදබල විශ්වාසයක් පවතින අතර ස්වභාවික ගෑස් ප්‍රවාහන හා ගෘහස්ථ යන දෙආකාරයකින් ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයක් එවිට උදාවේ.

කාවේරි ද්‍රෝනිය 1967 සිටම වරින්වර විවිධ ගවේෂණයන්ට ලක්විය. ඛනිජ තෙල් පිළිබඳව අපේ රටේ උනන්දුවක් ඇතිවූයේ 1967 - 1968 දීය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගොඩබිම් කලාපයේ කිලෝමීටර් 420 ක් දුර මූලික ගවේෂණයක නිරත වූවාය. පසුව සෝවියට් රුසියාව සහ ශ්‍රී ලංකා රජය ගිවිසුමකට එළැඹ 1972 - 1975 කාලයේ ගවේෂණයක නිරත වූහ. ශ්‍රී ලංකාවට අයත්වන භූමිය තුළ ගැඹුරු ළිං කැණීම් ද සිදුකරන ලදී. 1974 සෝවියට් විද්‍යාඥයෝ මන්නාරම් දූපතේ ද පේසාලේ අවට ප්‍රදේශයේ ද ගැඹුරු ළිං හැරීම් සිදු කළහ. පේසාලේ I, පේසාල II, පේසාල III වශයෙන් කැණීම් සිදුකළ සෝවියට් විද්‍යාඥයෝ පසුව එම ව්‍යාපෘතිය අතහැර දැමූහ.

නැවත වරක් 1975 දී ශ්‍රී ලංකාව පෙක්ස්මින් පැසිපික් ආයතනය සමඟ එක්ව කාවේරි කොටසේ ගවේෂණ ඇරඹීය. 1976 මන්නාරම සහ ඩෙල්ෆ් දූපතේ කැණීම් සිදුකර ගවේෂණ කටයුතු සිදු කෙළේය.

1981 දී සිටීස් සර්විසස් ආයතනය කාවේරි බේසින් සහ මන්නාරම අවට ඉන්ධන සහ ගෑස් සෙවීමේ උත්සාහයක නිරතව මීටර් 1437 ක් ගැඹුරට කැණීම් සිදු කළහ. කැනඩා සෙට්රෝ ආයතනය මන්නාරම සහ කාවේරි කලාපය ගැන උනන්දු විය. ශ්‍රී ලංකාවේ ඉන්ධන ගවේෂණය සඳහා උනන්දුවන ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලන්ඩනය, හුස්ටන් සහ ක්වාලාලාම්පූර් නගරයන්හි ආයෝජක ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක කෙළේය.

2008 ජූලි මාසයේදී CAIRN සමාගමය සමඟ ගිවිසුමකට බැඳී ගවේෂණ කටයුතු කරගෙන යෑමට ඔවුනට ඉඩදුන් නමුත් 2015 දී එම සමාගමය ඉවත්විය. එහෙත් ඔවුනගේ වාර්තා සහ දත්ත ශ්‍රී ලංකාවේ අනාගත ගවේෂණ සඳහා ඉවහල් කර ගැනීමේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවිය.

කාවේරි බේසින් නමින් හැඳින්වෙන ප්‍රදේශය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ද එකසේ අයත්ය. එයින් ශ්‍රී ලංකාවට අයත් කොටස වර්ග කිලෝමීටර් 20,000 කි. පේසාලේ I, පේසාලේ II, පේසා‍ෙල් III මෙන්ම පෝක් බේ I, ඩෙල්ෆ්ට් I, පෙ‍ඩ්රෝ I යන ගැඹුරු ළිං ව්‍යාපෘති අතරින් පේසාල I සහ පේසාල II යන ළිං පිළිබඳ කටයුතු ඉදිරියට ගෙන යෑමට හැකි තත්ත්වයක් දිස්විය. පේසාල I මීටර් 2593 කි. පේසාල II ළිඳ මීටර් 2634 කි.

ගෑස් නිධි

මේ ගැඹුරු ළිංවල ගෑස් හමුවූ නමුත් ත්‍රස්තවාදී කටයුතු ඇරැඹීම නිසා ඒවායේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි වාතාවරණයක් උදා වී යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා කියයි. එසේම මේ ගෑස් හමුවන අවස්ථාව වන විට එයට අවශ්‍ය වාණිජ වැදගත්කමක් ද ප්‍රබලව දක්නට ලැබී නැත.

මන්නාරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් ළිං 4 ක කරන ලද පර්යේෂණවලින් අනතුරුව ළිං දෙකක ස්වභාවික වායු නිධි තිබෙන බව කෙයාන් ආයතනය තහවුරු කරගෙන ඇත. ඩොරාඩෝ සහ බැරකුඩා නම් මේ ගෑස් නිධි මඟින් මෙරට විදුලි නිෂ්පාදනයට මෙගාවොට් 300 ක ධාරිතාවක් එකතු කර ගැනීමේ හැකියාව ලැබේ.

2023 ට පෙර ස්වභාවික වායු නිපදවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ක්‍රියා කිරීම ඛනිජ තෙල් සංවර්ධන ලේකම් කාර්යාලයේ අපේක්ෂාවයි. මෙම ස්වභාවික වායු නිධි ඝන අඩි ට්‍රිලියනයක් පමණ වූ ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් ආනයනය මෙන්ම ඒ සඳහා වැයවන විදේශ විනිමය ද වසරින් වසර වැඩිවෙමින් තිබේ.

2017 වසරේ ශ්‍රී ලංකාව බොරතෙල් මෙට්‍රික් ටොන් 1591000 ක් ආනයනය කිරීමට ඇ. ඩොලර් දසලක්ෂ 709 ක් වැයකර ඇත. මේ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් දසලක්ෂ 107397 කි. එසේම පිරිපහදු කළ ඛනිජ නිෂ්පාදන මෙ. ටොන් 4895000 කි. ඒ සඳහා වැය කළ මුදලේ වටිනාකම ඇ. ඩොලර් දසලක්ෂ 2462 කි. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් දසලක්ෂ 375374 කි.

එල්. පී. ගෑස් සඳහා ආනයනය වියදම (2017 දී) ඇ. ඩොලර් දසලක්ෂ 233 කි. එහි දේශීය වටිනාකම රුපියල් දසලක්ෂ 35505 කි. ආනයනය කරන ලද ගෑස් ප්‍රමාණය මෙ. ටොන් 347000 කි. ශ්‍රී ලංකාවේ ඉන්ධන හා ගෑස් අංශය සංවර්ධනය වන්නේ ‍නම් මේ දැවැන්ත සම්පත් ප්‍රමාණය රට තුළ ඉතිරි වේ. ශ්‍රී ලංකාවේ සියලු ගවේෂණ කටයුතු සිදුවන්නේ ජලජීවී සම්පත්, පරිසර නීතිරීති සහ විනිවිද භාවයකින් යුතුවය.

කරුණාරත්න අමරතුංග

 


නව අදහස දක්වන්න

Or log in with...