ලොකු මුදුනා කවුද? | දිනමිණ

ලොකු මුදුනා කවුද?

ලොකු කවුද? මම ද එයා ද? එහෙමත් නැත්නම් අපි ද ඒ ගොල්ලො ද? එතැන ප්‍රශ්න දෙකකි. ඒත් ප්‍රශ්නය හටගන්නේ එක මුලකිනි. මේ නගන ප්‍රශ්න ධුරාවලිය, සමාජගත,ආයතනගත කිරිමේ වෑයමේ කොටසකි. එහි ප්‍රතිඵලයකි.

ලොකුකම පමණක් නොව තව බොහෝ දේ සම්බන්ධකොට මේ දෙබස ගෙන යා හැකි ය. ප්‍රධාන වෙන්නෙ කවුද? මුල් තැන ලා සලකන්න ඕන කාව ද? ප්‍රමුඛතාවය කාට ද? පළමුව කාටද? උරුමය කාට ද? ගහ මරා ගන්නේ මේ ගැන සම්මුතියකට ඒමට බැරි වූ විට ය.

මේ ධුරාවලිය සැකසීමට කරන පෙළ ගැස්ම, ජාතීන් සම්බන්ධයෙන් විය හැකි ය, ආගම් සම්බන්ධයෙන් විය හැකි ය. එවිට ප්‍රශ්නය කවර ජාතියකට මුල් උරුමය තිබේ ද, කවර ආගමක් මුල් තැනෙහිලා සැලකිය යුත්තේ ද, යන වශයෙන් විශේෂිත ප්‍රශ්න ඒ තෝරාගන්නා දේ අනුව සකස් වන්නේ ය.

ව්‍යවස්ථාවේ බුද්ධාගමට උරුම තැන පිළිබඳ විවාදය තුළ තිබෙන්නේ ද මේ ලොකු තැන ගැන කතාව ය.

මේ මූලික වන දේ, ප්‍රමුඛතාවය ලැබිය යුතු දේ තෝරා ගැනීමේ දී භාවිතා වන නිර්ණායක තිබේ. මේ සම්බන්ධයෙන් ගැමියන් අතර භාවිතා වන එක් නිර්ණායකයක් ඔවුන් ප්‍රකාශයට පත් කරන්නේ ප්‍රශ්නයක ආකාරයෙනි. “උඹට ලොකු පිට එකා ද? නැතිනම් ගමේ එකා ද?”

ඊට අමතරව සමාජයේ උපහාසයට කියන කතාවක් ද තිබේ. “උඹට එහෙනම් පස්සෙ ආපු අඟ ලොකු වුණා. ඉස්සෙල්ල ආපු කනට වඩා”.

ලැයිස්තුවේ දිග

මේවායින් කියවෙන්නේ නිර්ණායක විවිධ බව ය. බහුතරය කවුද? වඩාත්ම දිග අතීතයක් ඇත්තේ කාට ද? මේ ආදී වශයෙන් දිග ලයිස්තුවක් ම සලකා බැලීම සඳහා තිබේ.

ප්‍රශ්නය ඇත්තේ බහුතරය අනාගතයේ දී වෙනස් වේය යන අවිශ්වාසය නිසා ද අතීතය ගැන පැහැදිලි සාධක නැති නිසා ද නැතිනම් විවාදාත්මක සාක්කි ඇති නිසා ද මුදුනා තෝරා ගැනීම සහ මුදුනා ලෙස පැවතිම සම්බන්ධයෙන් ගැටුම්වලට ඉඩ තිබීම ය.

ජනවාර්ගික අර්බුදයන් පිටුපස ඇත්තේ මේ ගැටලුව ය. වාර්ගික ජනගහණයේ වෙනස් වීම් ගැන බහුතරයට අයත් සිංහල බෞද්ධ සාමාන්‍ය ජනයා සංවේදී වන්නේ ද ඉතිහාසය හාරමින් හැම ජනවර්ගයකට ම අයත් අය සාක්කි සොයන්නේ ද ඉතිහාසය නැවත නිර්මාණය කිරීමට ඔවුන් ඉදිරිපත් වන්නේ ද මේ නිසා ය.

මුල්තැන කුමට ද? සමතැන දිය නොහැකි ද? උත්තරය කුණුහරුපවලින් මෙහා නවතින්නේ නැත. එහෙම කොහොම ද? අපිට තමයි උරුමය තියෙන්නෙ. අපි තමයි මේකේ පොල්මක්කාරයො. අහවල් එක තියෙන්නෙ අපිට. “මුන් ඩොලර් කාක්කො. ඒකයි ඔය උරුමය අමතක කරන්නෙ“. දැන් තියෙන්නෙ ලේබල් ඇලවීමට වාරය ය. එන්ජීඕකාරයො. පරයො. දේශද්‍රෝහියො. අවජාතකයො. ඔය ඕනෑම ලේබලයකින් කියවෙන්නේ සිංහල ජාතියට හා බුද්ධාගමට මුල් තැන නොදිමේ ප්‍රශ්නයේ ගැඹුර ය. එහි බරපතළකම ය.

මේවා යුද්ධ ඇති කිරීමට කැරලි කෝලාහල ඇති වීමට හා ජීවිත බිලිගැනීමට තරම් බරපතළ කාරණා ය.

එය ඇතැම් අවස්ථාවක කුල සම්බන්ධයෙන් විය හැකි ය. එවිට ඇති වන්නේ යම් නිශ්චිත කුලයක් කුමන කුලවලට වඩා ඉහළින් හා කුමන කුලවලට වඩා පහළින් ස්ථාන ගත කළ යුතු ද යන ප්‍රශ්නය ය. එහි දී යොදා ගැනෙන නිර්ණායකයන් ඇතැම් කුලවල අය විසින් ප්‍රශ්න කෙරෙන නමුදු කුලය එළිපහළියට පැමිණ ජාතිය ආගම මෙන් පිනුම් නොගහන නිසා එය විවෘත ගැටුම්කාරි තත්වයක් රට තුළ උද්ගත කරන්නේ නැත. එහෙත් පවුල තුළ ආරවුල් ඇති කිරීමට මේ කුල ප්‍රශ්නය මුල් වේ. වෙන කුලයකින් දීගයක් ගෙන පවුලට සම්බන්ධ වීමත් සමග එම ගැටුම් ප්‍රකාශයටපත් විමට නියමිත ය.

තවත් අවස්ථාවක එය ස්ත්‍රී, පුරුෂ සහ නිශ්චිත අනන්‍යතාවක් නැති යන කණ්ඩායම් අතර වෙනස සම්බන්ධයෙන් විය හැකි ය. ඒ අතරින් ඉහළින් තැබිය යුත්තේ කවුද? පහළින් ම තැබිය යුත්තේ කවුද? සම තැන නම් අරහං ය. බොහෝමයක් පවුල් ආරවුල්වල පසුබිමේ තියෙන්නේ ප්‍රමුඛයා කවරෙක් ද? ඔහු වෙනුවෙන් ඇය කොතරම් දුරට නැමිය යුතු ද යන කාරණය සමග ය.

ඇතැම් තැනක මෙය මතු වන්නේ භික්ෂූන් වහන්සේ නමකට යම් මිනිසෙකු විසින් නිසි ගෞරවය නොදැක්වූයේ යන කාරණාව පදනම් කරගෙන ය. ඒ මුදුනාට මුදුනා ලෙස නොසැලකීම මුදුනාගේ පමණක් නොව ඒ තැනැත්තා මුදුනා ලෙස පිළිගන්නා සෙසු අයගේ ද කෝපයට හේතු විය හැකි නිසා ය.

ඇතැම් තැනක ප්‍රශ්නය භික්ෂූත්වය හා අධිකරණය හෝ පොලිසිය වැනි ව්‍යස්ථාපිත ආයතන අතුරින් වඩාත් උත්තරීතර වන්නේ කුමක් ද යන්න පිළිබඳව ය. ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් උසාවියට කඩා පැන ඊට අභියෝග කිරීමත් සමග උසාවිය සහ භික්ෂූන් අතරින් මුදුනා කවුද යන ප්‍රශ්නය තෝරා ගැනීමට පහු ගිය දිනක කරුණු යෙදුනේ ය. එහි දී පෙනි ගියේ උසාවිය හාමුදුරුවන්ට වඩා ඉහළ බව ය. ඒ කොතෙක් කාලයකට දැයි දන්නේ දෙවියන් පමණකි. ඒ හාමුදුරුවන් ජනාධිපති සමාවක් ලැබ එළියට ගියොත් උසාවියේ මුල් තැන කැළෑ වදින නිසා ය. භික්ෂූ සංස්ථාව මේ සම්බන්ධයෙන් මුණිවත රැකීමට සූදානම් නැති බව පෙනෙන්නේ ය. මේ ආරවුල විසඳෙන හැටි බලා සිටිම සමාජ විද්‍යාව හදාරන අයට වැදගත් වනු ඇත.

සුළු පැමිණිලි වසරකට දශ ලක්ෂයක් පොලීසියට ලැබීම පිටුපස මේ ජාති ආගම් කුල ස්ත්‍රී-පුරුෂ ආරවුල් ද හරි හරියට තිබේ. ඇතැම් විට ජාති ආගම් කුල ස්ත්‍රී පුරුෂ ආරවුල්, දේපළ හෝ වැට මායිම සම්බන්ධ වෙනත් ආරවුල් සමග එකට වෙලී ඒවා තවදුරටත් සංකීර්ණ කර තිබේ.

ආයතනයක දී ඇතැම් විට එය එළියට එන්නේ එක්කෝ නිලය අනුව ය. එකම නිලයක් තුළ නම් ජේෂ්ඨත්වය අනුව ය (මෙය විශේෂයෙන් රාජ්‍ය ආයතනවල නම් වරදින්නේ නැති නිර්ණායකයකි).

ධුරාවලියේ ඉහළ වැජඹෙන අයට බලය තිබිලා මදි ය. එය භාවිතා කර මදි ය. එය ප්‍රදර්ශනය කිරීමටත් ඔවුන්ට වුවමනා ය.

එක්තරා රජයේ දෙපාර්තමේන්තුවක පහත මාලයේ මිනිසුන් රැස්වෙන ස්ථානයක් තිබුණේය. එහි මිනිසුන්ට වාඩි ගත හැකි පුටු කීපයක් ද තිබුණේ ය. එක් දිනක එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා එතැනින් යන අවස්ථාවේ වාඩි වී සිටි සමහරු හුනස්නෙන් නැගිට්ටේ නැතිව ඒ ලෙස ම වාඩි වි සිටියෝ ය. අධ්‍යක්ෂ ජනරාල්වරයාට තරහ ඉහවහා ගියේ ය. පසුදා පුටු අයින් වුණේ ය. හේතුව නම් ලොක්කා එන විට සොක්කන් විසින් දැක්විය යුතු ව තිබූ ගෞරවය නොදැක්වීම හේතුවෙන් ය. අධ්‍යක්ෂ ජනරාල්වරයා තව අවුරුදු කීපයක් එහි සිටියේ ය. එතෙක් පුටුවල ඉඳ ගැනීමේ වරම එතැන රැඳුන අයට ඉන්පසු ලැබුණේ නැත.

ලොකු දේවල්

මේ ධුරාවලිය එවැනි සුළු කුණාටු ඇති කර අවසන් වන්නේ නැත. ලොක්කාට ලොකු කම පෙන්විමට නම් ලොකු මේසයක් වුවමනා ය. ලොක්කාට එසේ ලොකු මේසයක් හිමිවන විට ලොක්කාගේ ලොක්කාට ඊට වඩා එකක් වුවමනා ය. ලොක්කාට සාමාන්‍ය මිනිසුන් යන වාහනයක යෑ නොහැකි ය. ඊට වඩා ලොකු එකක් වුවමනා ය. ලොක්කාගේ ලොක්කාට ඊටත් ලොකු එකක් අවශ්‍ය වන්නේ ය. කාමරයේ විශාලත්වය ගත්තත් පරිවාර සෙනඟේ ප්‍රමාණය ගත්තත් ඒ හැම දෙයකම මේ ලොකුකම ප්‍රදර්ශනය විය යුතු ය. ඒ සඳහා වැය කළ යුතු පිරිවැය අති විශාල ය. ඇමතිවරුන්ගේ වාහන උණ පිටුපස තිබෙන්නේ මේ “අහිංසක” වුවමනාව ය. එහෙම නො කළහොත් ඒ උත්තමයා නෝන්ඩි ය.

ලොක්කාට වඩා කුමන ආකාරයකින්වත් දිලිසීමට (ඇතැම් තැනක අඳින ඇඳුමකින් පවා කැපී පෙනෙන්නට) වෙන කෙනකුට බැරි ය. ලොක්කාට වඩා හොඳ අදහසක් නම් සොක්කෙකුට කොහොමටත් තියෙන්නට බැරි ය. ඒ නිසා එහෙම එකක් තිබේ නම් ලොක්කාගේ කනට කොඳුරා කියනවා හැරෙන්නට එතුමාට ඉහළින් නොකිව යුතු ය. මෙයින් සිදු වන්නේ බොහෝ නව අදහස් මුළු ගැන්වීම ය. ලොක්කාගේ සිතුවිලිවල සීමාව තුළ රැඳෙන්නට ආයතනයට සිදු වීම ය.

රජයේ ආයතන බොහෝමයක මුදුනා සම්බන්ධව ඇති ගැටුම විවිධ සේවාවන් අතර ගැටුමක් බවට ද පත් වේ. ඒ ද කවුද මුදුනා කියන කාරණය විසඳා ගැනිම සඳහා ය. කුමන සේවාව ද ඉහළ යන කාරණය තේරුම් බේරුම් කර ගැනීම සඳහා ය. වෙනත් තැන්වලටත් වඩා මෙහි දි නිර්ණායක තෝරා ගැනීම ගැටලුවකි. එක් එක් සේවාව තමාට වඩාත් වාසිදායක නිර්ණායක තෝරා ගෙන ඒ මත තමන් උසස් යැයි කියන්නට ඉදිරිපත් වෙන නිසා ය. සම්ප්‍රදායෙන් එන සම්මතයක් ඒ සම්බන්ධයෙන් නැති නිසා ය. පරිපාලන සේවාව තමන් පරිපාලකයන් නිසා ඒ තැන ඉල්ලා සිටින විට ගණකාධිකරණ සේවය තමන් රටේ වටිනාම සම්පත වන මුදල් කළමනාකරණය නිසා වඩාත් ම උසස් සේවාව බවට තර්ක කරන්නේ ය. වෛද්‍ය හා හෙද සේවය අතරත්, හෙද සේවය හා වෙනත් සෞඛ්‍ය සේවා අතරත්, ගැටුම්වල මුදුනා කවුද කියන කාරණය නොවූව ද මුදුනා කොතෙක් සෙස්සන්ට වඩා ලොකු විය යුතු ද යන කාරණය තිබේ. රටේ පවතින බොහෝ වැඩවර්ජන පිටුපස ඇත්තේ ද ඉහළ කවුදැයි තෝරා ගැනීමේ සහ ඔවුන් කොතරම් ඉහළින් සිටිය යුතු ද යන කාරණා පිළිබඳ පවතින අර්බුදයන් ය. වැටුප් වේශයෙන් පැමිණෙන්නේත් නිරපේක්ෂ වැටුප නොව අනිත් සේවාවන්ට සාපේක්ෂව තමන් ලබන වැටුප ය.

මේ තත්වය ආයතනවල කඳවුරු ඇති කිරීමට ද හේතු වන අතර විධිමත් කණ්ඩායමක් ලෙස ආයතනය ගොඩ නැගීමට බාධා ඇති කරයි. කණ්ඩායම තුළ ඇතැම් විට පිළිගැනෙන්නේ නිවැරදි මතය නොව යම් කල්ලියක මතය වූ විට තවදුරටත් කණ්ඩායම කණ්ඩායමක් හැටියට වැඩ කිරීම නවතින්නේ ය. එලිපිට යුද්ධ ප්‍රකාශ නොකෙරුණත් යටින් ගින්දර ගෙන යමින් අප්‍රකාෂිත යුද්ධයක් සිදු වේ. එයින් වඩාත් ම අලාභ ලබන්නේ ආයතනයෙන් සේවා ලබන ජනයා ය. බොහෝ ආයතනවල ධුරාවලියේ පහළින් ම ඉන්නේ ඔවුන් ය. සේවා අතර කඹ ඇදිලිවලට හසුව මිරිකෙන්නේ ඔවුන් ය.

මෙම ධුරාවලිය සමාජ පරිණාමයේ එක් අවදියක සමාජ සැකැස්ම සඳහා අවශ්‍යතාවයක් මත ඇති වී තිබුණු තවදුරටත් එහෙමකට වැදගත්කමක් නැති සංකල්පයකි. අප ඉන්නේ දියුණු ශිෂ්ටාචාරයක් තුළ ය. එවැන්නක වැදගත් වන්නේ මුල් තැන සෙවීම නොව හැමට සම තැන ලැබීම ය. ඉල්ලුම හා සැපයුම අනුව ඉතිරි සියල්ල තීරණය කිරීම ය. නිදහස් සන්නිවේදනයට කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට නව නිපැයුම්වලට ඉඩ හසර සැලසීමට වඩා ඵලදායී ආයතන ඇති කිරීමට ඒ සමතැන අවශ්‍ය ය. තවදුරටත් සමාජ ඉදිරි ගමනට මේ මුල් තැන ගැන කරන පටලැවිලිවලින් වන්නේ අහිතක් ම ය.

ප්‍රශ්නය ධුරාවලිය අහෝසි කිරීම පහසු නොවීම ය. ඒ දැනටම මුල් තැන ගෙන සිටින අය විසින් ඒ සඳහා කරනු ලබන සෑම උත්සහයක්ම ව්‍යවර්ථ කරමින් සිටින නිසා ය.

ධුරාවලියේ වෙනස

රට හැටියට ගතහොත් ඊට අයත් වන්නේ සිංහල, බෞද්ධ, ගොවිගම, මෙන්ම යම් ආකාරයක නිල බලයක් හෝ සමාජ බලයක් දරන, ෙජ්‍යෂ්ඨ පිරිමින් ය.

ප්‍රශ්නය ඇති වන්නේ සිංහල බෞද්ධ වෙනයම් කුලයක කෙනකු හා දෙමළ හින්දු වෙල්ලාල කුලයේ කෙනකු අතරින් මුදුනා තෝරා ගැනීමේ ය. නිදහසට පෙර සිංහල බෞද්ධ ගොවිගම ඡන්ද කොට්ඨාසයක දී එයින් ජය ගත්තේ වෙල්ලාල කුලයේ දෙමළ හින්දු බැතිමතෙකු බව ප්‍රකට කරුණකි. අද සමාජ ගතිකත්වය ඊට වෙනස් ය. ධුරාවලිය වෙනස් ය. ඒ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසින් වුව ද දැකිය හැකි ය. වැදගත් ම නිගමනය නම් ධුරාවලිය වෙනස් වූවා මිසක එය අහෝසි වූයේ නැති බව ය. ධුරාවලියේ පියවර වෙනස් වනවා මිසක එය අහෝසි වන්නේ නම් නැති බව ය.

බලය ඇති අය ධුරාවලිය ආරක්ෂා කරනවා පමණක් නොවේ. එහි වාසි ද දක්වා සිටිති. ධුරාවලියේ තම තැන ගැන මිසක ධුරාවලිය ගැන ප්‍රශ්න කරන අය අඩු ය. “තම තැන” ගැන කතා කරනවා මිසක “සම තැන” ගැන කතා කරන අය අඩු ය.

ධුරාවලිය වෙනුවෙන් පෙනී සිටින අය දක්වන එක් කාරණයක් නම් එය කීකරුකම සහ අවනතභාවය ඇති කර, ගැටුම් අවම කරන බව ය. ඒ නිසා එය සමාජ සංහිඳියාවට හේතුවන බව ය. එහෙත් ඒ කරුණු දැක්වීම තුළ ධුරාවලිය වෙනුවෙන් පෙනී සිටින අය අමතක කරන ප්‍රශ්නය නම් ඔය කියන සංහිඳියාව වෙනුවෙන් ගෙවිය යුතු මිල කුමක් ද යන්න ය. එය කවර තරම් දැයි ලිපියේ මුල දී සාකච්ඡා කළෙමු. දෙවැනි ප්‍රශ්නය ඇත්තටම එය, සංහිඳියාව ඇති කරනවා ද නැත්නම් ගැටුම් ඇති කරනවා ද ඒවා තීව්‍ර කරනවා ද යන්න ය. ඒ ගැන ද අපි දැනටමත් කතා කර ඇත්තෙමු. අධික මිලකුත් ගෙවා ඇති කරන්නේ නිශේධනීය ප්‍රතිඵලයක් නම් අප කුමක් නිසා එය දිගින් දිගට කර තබා ගෙන යා යුතු දැයි යන්න උත්තර අවශ්‍ය ප්‍රශ්නයකි.

එකක් සම්බන්ධයෙන් ඔවුන් හා එකඟ විය හැකි ය. ගැටුම මුළුමණින් පරාජය කරන්න නොහැකි වුව ද ඇතැම් තැනක ගැටුම තාවකාලිකව කල් දමන්නට එය දායක වන බව ය. ධුරාවලියට අභියෝග කරන්නට නොහැකි දුර්වල මිනිසුන් එය පිළිගෙන තාවකාලික පල්ලම් බැසීමට ඉඩ ඇත. එහෙත් ධුරාවලිය වෙනුවෙන් පෙනී සිටින අය නොදන්නා වූ ද නො පිළිගන්නාවූ ද කාරණය නම් එසේ පල්ලම් බහින මිනිසා තුළ කැකෑරෙන වෛරයක් හා දැඩි ආතතියක් ඇතිවන බව ය. ඒ පීඩනය දරා ගත නොහැකි තත්වයට පත් වූ විට මතුවන්නේ සුළු පටු විරෝධයක් හැටියට නොව කැරැල්ලක් හැටියට ය. ලංකාවේ තරුණ කැරලි දෙක පිටුපස ද දීර්ඝ යුද්ධය පිටුපස ද තිබුණේ එලෙස පුපුරා ගිය පීඩනයේ ප්‍රතිඵලය ය.

ඒ නිසා ම මේ ධුරාවලිය මුළුමණින්ම ඉවත් කිරීමට අප විසින් කටයුතු කළ යුතු ය. ධුරාවලියක් වෙනුවට මිනිසුන්ට සම තැන හිමිවන සමාජයක් බිහි කළ යුතු ය. බලය එක තැනක ඒකරාශී කරනු වෙනුවට බෙදා දෙන සමාජයක් බිහි කළ යුතු ය. කවුද මුදුනා ලොක්කා යන ප්‍රශ්න වෙනුවට කුමක් හරි ද වැරදි ද යන ප්‍රශ්නය මතු කර එයට උත්තර දෙන සමාජයක් බිහි කළ යුතු ය.

මේ ඉල්ලන්නේ අරාජිකත්වය නොවේ. ලොක්කෙක් වෙනුවට නායකයෙක් ඇති සමාජයකි. සෙසු අය පමණක් නොව නායකයා ද නීතියට යටත් සමාජයකි. හිතුමතේට තීරණ ගැනීමෙන් තොරව සමාජ වගකීමක් ඇති ව තීරණ ගන්නා නායකයෙකුගෙන් යුත් සමාජයකි. බලය ප්‍රදර්ශනය කරනවා වෙනුවට බලය සමාජ යහපතට යොදා ගත හැකි නායකයන් සහිත සමාජයකි. බලය ඉදිරියේ නිවට වන්නේ නැතිව එය අවශ්‍ය විටක ප්‍රශ්න කරන සමාජයකි.

නිශාන්ත කමලදාස


නව අදහස දක්වන්න

Or log in with...