සිරකරුවෝ ද මනුෂ්‍යයෝය | දිනමිණ

සිරකරුවෝ ද මනුෂ්‍යයෝය

ඇය මැදිවියට ළං වෙමින් සිටින්නීය. ඇගේ පෙනුම සන්සුන්ය. ඒත් ඇය හිතේ අපමණ දුකක් හංගාගෙන සිටින බව ඇය දුටු පමණින් මට හැඟුණාය.

මම හීන් සීරුවේ ඇයට ළංවූයෙමි. යෙහෙළියක් නිසා හිරගෙදරට එන්නට වූ ඇගේ කතාව අසන්නට මම ඔබට ද ඇරයුම් කරන්නෙමි.

ඇගේ කතාවයි මේ,

චන්ද්‍රානි, සිටින්නේ සිරගෙදරය. ඇගේ දඬුවම් කාලය අවුරුදු පහළොවකි. එදා මම ඇය සමඟ කතා බස් කළෙමි. තමාට හිරේ එන්නට සිදු වූ වරද ඇය මට කීවාය.

“මට කාත්කවුරුවත් නැහැ. මගේ අම්මා තාත්තා මැරුණා. අක්ක කෙනෙක් විතරයි හිටියේ. එයත් නැති වුණා. මම කිසිම ප්‍රශ්නයක් තිබුණ කෙනෙක් නෙමෙයි බොහෝම නිස්කලංකව ජීවත් වුණු කෙනෙක්. ඉගෙන ගෙන තිබුණට එකපාරට රස්සාවක් හොයා ගන්න මට අමාරු වුණා. ටික කාලයක් ගෙදරටම වෙලා හිටියා. ඒ එහෙම ඉන්නකොට තමයි මට රජයේ රස්සාවක් ලැබුණේ.

ඒ රස්සාව මගේ උගත්කමට ගැලපුණේ නැති වුණත් මං ඒකට යන්න ගත්තා.” දිගටම රස්සාවට ගියා ද ? “ඔව්. ඒක රෝහල් සේවයේ රස්සාවක්. සේවා මුරයකට තමයි වැඩ කළේ. ගමෙන් පිට රජයේ රෝහලක රස්සාවකට ආව නිසා මම රෝහල කිට්ටුව බෝඩිමක නතර වුණා. රස්සාව ලැබෙන කොට මට අවුරුදු විසි හතරක් විතර ඇති.” විවාහ වෙන්න හිතුවේ නැද්ද ?

“ඇයි නැත්තේ. මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. එයා මගේ ගමේ. මං කොළඹ රස්සාවට එනවට එයා කැමති වුණේ නැහැ. එයා ගොවිතැන් වැඩ කළේ. ඒ නිසා එයා ගම දාලා එන්න කැමති වුණේ නැහැ. මං කා ගැනවත් ඕනෑවට වඩා වදවෙන්න යන කෙනෙක් නෙමේ. මම දෙයියනේ කියලා රස්සාව කරගෙන බෝඩිමට වෙලා හිටියා.

ඔය අතරේ තමයි මට රෝහලේ මා එක්කම වැඩ කරපු කෙනෙක් මංගල යෝජනාවක් ගෙනාවේ. ඒත් මං එයාට කැමති වුණේ නැහැ. මං එයාගේ පෙනුමට කැමති වුණේ නැහැ ඒත් මට යාලුවෝ කිව්වා පෙනුම ගැන හිතන්න එපා එයාට කැමති වෙන්න කියලා. ඒත් හිතේ පි‍්‍රයක් නැතිව කොහොමද කෙනෙක් එක්ක ආදරයෙන් බැඳෙන්නේ. මොනවා වුණත් මගේ හිත ගිය කෙනෙක් හිටියා.

මගෙ හිත එයා ගැන හුඟාක් වද වුණා. මගේ ඇස් දෙක එයාව දකින්න හුඟාක් ආසා කළා.” ඒ කවුද? “එයා අපේ ලොක්කා. මං දැනගෙන හිටියා එයාත් මට කැමති බව. නමුත් එයා විවාහ වෙලා හිටියේ. ඒ නිසා එයා ගැන මගේ හිතේ උපන්න ආදරය හිත ඇතුලෙම තිබුණා. ඒක හරියට හීනයක් වගෙයි. තනිවුණ හැම වෙලාවකම මං ජීවත් වුණේ හිතෙන් එයා එක්ක. එයා හරිම කරුණාවන්තයි.

අවාසනාව කියන්නේ මට මගේ ආදරේ කවදාවත්ම කියා ගන්න බැරි වුණා. එයා හදිසියේම මැරුණා. එදා ඉඳලා මගේ ජීවිතය පුදුමාකාර විදිහට හිස් වුණ. මට මාව එපා වුණා. මං තනිවුණා කියලා මට දැනුණා. මං නොකා නොබී වැඩට නොගිහින් දුක් වුණා. බෝඩිමේ මා එක්ක හිටපු යෙහෙළියක් විතරයි මේ හැමදෙයක්ම දැනගෙන හිටියේ. එයා මගේ හිත සනසන්න නොකළ දෙයක් නැහැ.

ඒත් මට හිත හදාගන්න අමාරු වුණා.” “යාළුවා මට කිව්වා එයාගේ ගමේ ගෙදර යමු කියලා. මං ඒ ගෙදර ගියා. අම්මා තාත්තා මට එයාලගෙම දරුවෙක්ට වගේ. සලකන්න ගත්තා. ඒ නිසා මගේ හිත හුඟාක් හැදුණා. යාළුවා රස්සාව කළේ ගාමන්ට් එකක. එයා දවසක් මට කිව්වා යාළුවෙකුගේ ඉඩමක ඔප්පුවකට අත්සන් කරන්න එන්න කියලා. මං යාළුවට හරි ආදරෙයි. ඒ නිසා එයා ගැන සැකයක් තිබුණේ නැහැ.

මං ඒ ගමන ගියා. යෙහෙළිය මාව එයාගේ යෙහෙළියට අඳුන්නලා දුන්නා. එදායින් පස්සේ ඔය විදිහට මං එයාගේ යෙහෙළියගේ ඔප්පු කිහිපයකට අත්සන් කළා. සැකයක් තිබුණෙත් නැහැ. මට මුදලකුත් ලැබුණා. කාලයක් ගියා. මං බොහෝම නිදහසේ හිටියේ. මං හිතෙන හිතෙන ගමන් ගියා. වන්දනාවේ ගියා. යාළුවන්ට, රෝහලේ ලෙඩ්ඩුන්ට උදව් කළා. ඒවායින් තමයි මට ජීවිතේ සතුටක් ලැබුණේ.

” එතකොට ජීවිතේට ලොකු දුකක් එක් වුණේ කොහොමද? “ඒක තමයි මටත් හිතාගන්න බැරි. දවසක් මාව හොයගෙන බෝඩිමට පොලිසියෙන් ඇවිල්ලා තිබුණා. ඒත් මම වැඩට ගිහිල්ලා හිටියේ. දවස් කිහිපයක්ම පොලිසියෙන් ඇවිත් තිබුණ අන්තිමට රෝහලට ආවා. මට හිතාගන්න බැරි වුණා.

ඇයි පොලිසියෙන් හොයන්නේ කියලා. කොහොම හරි පොලිසියට ගියාට පස්සේ තමයි මං දැන ගත්තේ මං අත්සන් කරලා තියෙන්නේ හොර ඔප්පු වගයකට කියලා. පොලිසියෙන් මාව අත්අඩංගුවට ගත්තා. ඒ පාර යාළුවෝ මාව ඇප තියලා නිදහස් කර ගත්තා. නමුත් නඩුව දිගින් දිගටම ගියා.” බෝඩිමේ හිටපු යෙහෙළිය කෝ ?

“එකපාරටම එයා ආගිය අතක් නැතිව ගියා. මා එයාගේ ගමේ ගියා. ගමේ අම්මලා කිව්වා යාළුවා රට ගියා කියලා. එයා මට නොකියාම රට ගියේ ඇයි කියලා හිතා ගන්න බැරිව හිටියේ. ඒත් පොලිසියෙන් ආවට පස්සේ තමයි මට තේරුණේ මෙයාගේ සම්බන්ධයක් ඇති කියලා. එතකොට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. මාව පොලිසියෙන් අත් අඩංගුවට ගත්තා.” ඊට පස්සේ මොකද වුණේ ?

“ඇප දීලා ආවට පස්සේ මම රස්සාවට ගියා. නඩුව දිගින් දිගටම ගියා. මං හිතුවා මට නිදහසක් තියේවී කියලා. ඒත් එකපාරටම වුණ දේ මට හිතා ගන්න බැහැ. අවුරුදු පහකට පස්සේ නඩුව ඉවර වුණා. තීන්දුව ලැබුණා. මට අවුරුදු ගානක දඬුවමක් ලැබුණා. අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මගේ කියලා කාත් කවුරුවත් නැහැ.

මං හිරේ ආවා කියලා මං වෙනුවෙන් දුක්වෙන්න කෙනෙකුත් නැහැ. වෙලාවකට මං හිත හදා ගන්නවා. මේක තමයි සංසාරේ කියලා. ඒත් වෙලාවකට මං වරු ගණන් අඬනවා. ඇයි මට මෙහෙම වුණේ කියලා.” ඇඬුවත් වැළපුණත් මගේ හිත හදන්න සනසන්න කෙනෙක් නැහැ. මේ දුක ගෙවිලා ඉවර කරන්නම වෙනවා.

අවුරුද්දකින් දෙකකින් එළියට එන්න වෙන්නේ නැහැනේ. මට හිතා ගන්න බැහැ කොහොම ගෙවලා ඉවර කරන්නද කියලා. හිතට දැනෙන දුක මෙච්චරයි කියලා කියා නිම කරන්න බැහැ.” යාළුවෝ විශ්වාස කරලා වැඩ කරපු නිසයි අද මට මෙහෙම දුක් විඳින්න වුණේ. දිගු නිහැඬියාවකට පසුව ඇය දෑසේ නැගී කඳුළු පිස දමමින් කිවාය.

(ඉනෝකා සමරවික්‍රම)


නව අදහස දක්වන්න

Or log in with...