පැණි දොඩම් ද? රට දොඩම් ද? | දිනමිණ

පැණි දොඩම් ද? රට දොඩම් ද?

බිබිලේ පැණි දොඩම් නැත්තට ම නැති වුණේ ය. නුවරඑළියේ පෙයාර්ස් යාන්තමට පවතින’මුත් ඊට වෙළෙඳ පොළක් නැත. පැණි දොඩම් වෙනුවට රට දොඩම් ඇත. පෙයාර්ස් වෙනුවට රට ඇපල් ඇත. යාපනේ මිදි අභාවයට යමින් පවතී. ඒ වෙනුවට වෙළෙඳ පොළ ජයගත් පිටරට මිදි වර්ග ඕනෑ තරම් තිබේ. දොඩම්, ඇපල්, මිදි පමණක් නොව, බඩ ඉරිඟු, කජු, කුරක්කන් පවා රටින් ගෙන්වයි. ඒවා වෙළෙඳ පොළ ආක්‍රමණය කර තිබේ. මේ අනුව අපේ දේශීය ගොවියාට සිදුවන්නේ කුමක් ද? දේශීය කෘෂිකර්මයට සිදුවන්නේ කුමක් ද? ගොවියා එක්කෝ ගොවිකම අතහැර කුලී වැඩට යා යුතුය. දේශීය කෘෂිකර්මය වෙනුවට වෙනත් දෙයක් සොයා ගත යුතු ය.

කෙනෙකුට තම සිතැඟි පරිදි පිටරට භාණ්ඩ ගෙන්වීමේ හැකියාවක් නැත. ඊට අදාළ ප්‍රතිපත්ති තිබේ. නීති - රීති තිබේ. අණ - පනත් තිබේ. මේ සියල්ල ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන් ය. නිලධාරීන්ට අවශ්‍ය මඟ පෙන්වීම හා උපදේශනය ලබා දෙන්නේ ඒ - ඒ - විෂයභාර අමාත්‍යවරුන් ය. නැතහොත් දේශපාලකයන් ය. නිලධාරින් නරක යැයි අප කියන්නේ නැත. දේශපාලකයන් නරක යැයි ද අප කියන්නේ නැත. එහෙත් දේශපාලකයා, නිලධාරියා හා ව්‍යාපාරිකයා එකතු වූ කල බොහෝ දේවල් සිදුවීමට පුළුවන. විවෘත වෙළෙඳ පොළ තුළ රටේ ආර්ථිකය හසුරවන ප්‍රධාන පුද්ගලයා ව්‍යාපාරිකයා බව අමුතුවෙන් කිව යුතු නැත. අපේ ව්‍යාපාරිකයන්ගෙන් බහුතරයකට දේශීයත්වය ගැන හැඟීමක් ඇතැ’යි පිළිගැනීම අසීරුය.

දේශීය වශයෙන් සාර්ථක ව වගා කළ හැකි එහෙත් වෙළෙඳ පොළ අහිමි ආහාර ද්‍රව්‍ය සඳහා ඉතා සාධාරණ තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. ජනාධිපතිවරයාගේ ම වචනයෙන් කියන්නේ නම්, මින් පසු රටේ සාර්ථකව වගා කළ හැකි ආහාර ද්‍රව්‍ය සඳහා විකල්පයක් ලෙස ගෙන්වන පිටරට භාණ්ඩ ආනයනය තහනම් ය. ජනාධිපතිවරයා මේ තීරණය ගත්තේ හම්බන්තොට ගොවි හමුවකට සහභාගී වන අතරතුර ය. දේශීය ගොවියා හා දේශීය කෘෂිකර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගත් මේ තීරණය ඓතිහාසික එකකි. ඓතිහාසික තීරණයෙන් ව්‍යාපාරිකයන්ගේ කූට උපාය මාර්ග පරාජයට පත්වනු ඇත.

අප මුලින් ද සඳහන් කළ පරිදි ව්‍යාපාරික ප්‍රජාව මූලික වශයෙන් ක්‍රියා කරනුයේ අධික ලාභය යන සංකල්පය පෙරදැරිව ය. පිටරටින් ගෙන්වන කොයි භාණ්ඩයෙන් වුව මඩිය තරවන්නේ ව්‍යාපාරිකයාගේ ය. පිටරට ඇපල්, පිටරට දොඩම්, පිටරට මිදි, පිටරට කජු නිසා අධික ලාභයක් ව්‍යාපාරිකයා කරා ඇදී එයි. එම ලාභය ලබා ගැනීම සඳහා පාරිභෝගිකයා යොදා ගැනීම ව්‍යාපාරිකයාගේ ක්‍රමය වෙයි. ඇතැම් භාණ්ඩ සඳහා වෙළෙඳ පොළ තුළ කෘත්‍රිම හිඟයක් මවන්නේ ව්‍යාපාරිකයා ය. මේ කෘත්‍රීම හිඟය මත පදනම් වී භාණ්ඩ ආනයනයට අවසර ලබාදෙන්නේ නිලධාරින්ය. ඇපල්, ‍ෙදාඩම් ආදිය පිටරටින් ගෙන්වීම නිසා ගොවියා නැත්තට ම නැතිවන්නේ වුව ව්‍යාපාරිකයා රුපියල් කෝටි ගණනින් මුදල් උපයයි. එය ජාවාරමක් ලෙස සැලැකිය හැකි ය.

ශ්‍රී ලංකා වැනි රටක ආර්ථිකයේ පදනම විය යුත්තේ කෘෂිකර්මය යි. එය ආර්ථික විශේෂඥයන් පොදුවේ පිළිගත් මතයකි. එහෙත් කෘෂිකර්මයේ නවීකරණයක් අදත් දකින්නට නැත. කෘෂිකර්මය නවීන විය යුතු සේ ම ගොවියා ද නූතන විය යුතු ය. එහෙත් එවැන්නක් දකින්නට නැත. රටට අවශ්‍ය ස්ථාවර කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නැතිකම ද ඊට බලපායි. ඩී. එස්. සේනානායක යුගයේ ජනපදකරණය ඔස්සේ එක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. බණ්ඩාරනායක මැතිනියගේ පස් අවුරුදු සැලැසුම යටතේ තව ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. ජේ. ආර්. ජයවර්ධනගේ මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරය යටතේ තවත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. ඉන්පසු කෘෂිකර්මය සඳහා විශේෂ වූ දෙයක් ඉටුනොවූ තරම් ය.

වත්මන් ආණ්ඩුවට දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමේ වුවමනාවක් ද එය නවීකරණයට පත්කිරීමේ වුවමනාවක් ද ඇති බව පෙනී යයි. ජනාධිපතිවරයා වාරිමාර්ග හා වැව් පද්ධතිය කෙරෙහි උනන්දුවන අතර අගමැතිවරයා කෘෂිකර්මයට අදාළ වෙළෙඳ පොළ කෙරෙහි උනන්දු වෙයි. කෘෂිකර්මයේ සංවර්ධනය සඳහා මේ දෙක ම අවශ්‍ය වෙයි. ජලය හිඟකම, නියඟය ආදී හේතු නිසා කන්න පහක් ම වගා නොකළ ප්‍රදේශ පවතී. කරුණු සොයා බලනවිට පෙනී යන්නේ පුරාණ වැව් හා වාරිමාර්ග නඩත්තු නොකිරීම මීට බලපාන ප්‍රධාන හේතුසාධකයක් බව ය. ආණ්ඩුව වැව් හා වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරයි.

අගමැතිවරයාගේ සංකල්පය වන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන ඔස්සේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීම ය. අපනයන ගම්මාන, අපනයන කලාප මේ අනුව පිහිටුවීමට නියමිත ය. ඉතාලිය කාර්මික රටක් ලෙස ප්‍රසිද්ධ වුව ඒ රටේ කෘෂිකර්මාන්තය දියුණු ය. ඉතාලියේ අධිවේගී මාර්ගයක් දිගේ ගමන් කරනවිට දකින්නට ලැබෙන්නේ සශ්‍රීක ගොවි බිම් හා කර්මාන්තශාලා ය. කම්හලක් - ගොවිබිමක්, ගොවිබිමක් - කම්හලක් ලෙසින් ඔව්හු ඒවා පවත්වාගෙන යති. ලෝකයේ හොඳ ම වයින් මෙන් ම වේගවත් ම මෝටර් රථ ද ඉතාලිය නිෂ්පාදනය කරයි. නූතන ඉතාලිය යම් ආර්ථික පසුබෑමකට ලක් වී ඇත්තේ වෙළෙඳ පොළ කළමනාකරණය කරගැනීමේ දුර්වලතා නිසා යැයි කියන්නට පුළුවන. මේ බිඳවැටීම තාවකාලික එකක් වන්නට පුළුවන.

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත යැයි කියූව ද එය ඇත්තක් නො වේ. එබඳු කතා දේශපාලකයන්ගේ පුරාජේරු ලෙස බැහැර කළ යුතුව තිබේ. එහෙත් අපට සහලින් ස්වයංපෝෂිත වීමේ හැකියාව තිබේ. ඒ සඳහා ගත යුතු එක් ක්‍රියාමාර්ගයක් වන්නේ රටේ ඇති පුරන් කුඹුරු වගා කිරීම ය. රට පුරා පුරන් කුඹුරු අක්කර එක්ලක්ෂ හතළිස්දහස් ගණනක් ඇති බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වෙයි. විවිධ හේතු නිසා මේවා පුරන් වී ඇත. කෙනෙකුගේ අදහස වී වගාව පාඩු සහිත බව ය. තව කෙනෙකුගේ අදහස ජල හිඟය නිසා වගාවෙන් වැඩක් නැති බව ය. තවත් කෙනෙකුගේ අදහස පුරන් කුඹුරු ගොඩකොට වෙනත් ව්‍යාපාර සඳහා එම ඉඩම් අලෙවි කිරීම ය. මේවාට ඉඩකඩ ලබා දුනහොත් නැවෙන් හාල් එනතුරු බලා සිටින්නට අපට සිදු වේ.

ආණ්ඩුව පුරන් කුඹුරු නැවත වගා කිරීම සඳහා අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව වගා නොකරන ඕනෑම කුඹුරක් නැවත වගාව සඳහා යොදාගනු ලැබේ. කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට පුරන් කුඹුරු අක්කර එක්ලක්ෂ ගණනම නැවත අස්වද්දනු ලැබේ. “ගිං” හා “නිල්වලා” ගංඟා යෝජනා ක්‍රමය ද වහා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවරයා මේ අතර පෙන්වා දෙයි. එම ව්‍යාපෘතිය බාලගිරිදෝෂයක් බවට පත්ව ඇත්තේ ඇතැම් නිලධාරින්ගේ හා ඇතැම් දේශපාලකයන්ගේ ද වැරැදි නිසා බව ද පෙනී යයි. මේවා විවෘත ව සාකච්ඡා කොට අවශ්‍ය තීරණ ගත යුතු ව තිබේ. එවිට අපේක්ෂිත ඉලක්ක කරා යා හැකි ය.

 


නව අදහස දක්වන්න

Or log in with...