හේමකුමාරිගේ නායකත්වයෙන් කාන්තා රග්බි පිල හොංකොං යයි | දිනමිණ

හේමකුමාරිගේ නායකත්වයෙන් කාන්තා රග්බි පිල හොංකොං යයි

ෆවුස් මොහොමඩ්

ජාතික කාන්තා රග්බි තරග බිමේ විශිෂ්ටතම ක්‍රීඩිකාවක වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංදිකා හේමකුමාරි අනිද්දා (14) හොංකොං නුවර දී ඇරැඹෙන ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගමාලාවේ කාන්තා තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස පත් කර තිබේ.

වසර 2008දී ජාතික කණ්ඩායමට එක්වූ 28 හැවිරිදි හේමකුමාරි ජාතික කාන්තා රග්බි පිලේ නායකත්වයට පත්වුයේ ඇය නියෝජනය කරන නාවික හමුදා කණ්ඩායමේ ක්‍රීඩිකාවක වන රන්දිකා කුමුදුමලී වෙනුවටය.

අදියර 3කින් සමන්විත ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගමාලාවේ හොංකොං නුවර පැවැත්වෙන පළමු අදියරේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් ඊයේ රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියේය.

මේ තරගාවලියේ පළමු අදියර මේ මස 14 සහ 15 දෙදින හොංකොං නුවර පැවැත්වෙන අතර දෙවැනි අදියරේ තරගාවලිය මේ මස 29 සහ 30 දෙදින දකුණු කොරියාවේ පැවැත්වෙයි. අවසන් අදියරේ තීරණාත්මක තරගාවලිය ලබන ඔක්තෝබර් මස 13 සහ 14 දෙදින කොළඹ දී පැවැත්වීමට නියමිතය.

පල්ලෙකණුගල කනිෂ්ට විදුහලෙන් රග්බි ක්‍රීඩාවට පිවිසි හේමකුමාරි සබරගමුව පළාත් රග්බි සංගමය හරහා ක්‍රීඩාව ප්‍රගුණ කළ අතර වසර 2009-2010 කාලයේ යුද හමුදා රග්බි පිලට එක්වී සිය දස්කම් මුවහත් කරගත්තාය.පෞද්ගලික හේතු මත කාලයක් ක්‍රීඩාවෙන් ඈත්වී සිටි ඇය 2014 වසරේදි නාවික හමුදා කණ්ඩායමට එක්වී යළි රග්බි ක්‍රීඩාවට පිවිසියාය.

‘ජාතික කාන්තා රග්බි පිලේ නායකත්වය ලැබීම ගැන නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම එය මට විශාල ගෞරවයක්. එකම කණ්ඩායමට ක්‍රීඩා කළ හිටපු නායිකාවන් තිදෙනකුම මෙවර කණ්ඩායමට එක්වී සිටීම මගේ වාසනාවක්. මේ තරගාවලියේදි කැපී පෙනෙන දස්කම් දැක්වීම අපේ එකම අරමුණයි.’ හේමකුමාරි එසේ කීවාය.

මෙවර තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල පළමු දිනය වන 14 වැනිදා මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ ලෝකඩ පදක්කම දිනූ කසකස්තාන කණ්ඩායම සමග තරග වදින අතර අනතුරුව සිංගප්පූරුව සමග එදිනම පස්වරුවේ තරග බිමට පිවිසෙයි. දෙවැනි දිනය වන 15 වැනිදා චීනය සමග මූලික වටයේ අවසන් තරගයට එක්වනු ඇත.

නව අදහස දක්වන්න