ද. ආසියා පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයේ ගැටුම් අද | දිනමිණ

ද. ආසියා පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයේ ගැටුම් අද

ප්‍රින්ස් ගුණසේකර

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව හා පාකිස්තානය, මාලදිවයින හා නේපාලය අතර තරග අද බංග්ලාදේශයේ බංගබන්ධු ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි. කාසියේ වාසිය අනුව ශ්‍රී ලංකාව පරාජය කළ මාලදිවයින හා බංග්ලාදේශය 2-0කින් පරාජය කළ නේපාලය අතර පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලවෙන් අද පස්වරු 3.30ට පැවැත්වෙන අතර, ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැන සිටින පාකිස්තානය හා ‘බී’ කාණ්ඩයේ පළමු තැන සිටින ඉන්දියාව අතර තරගය පස්වරු 6.30ට ආරම්භ වේ.

මේ අතර තරගාවලියෙන් ඉවත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපොලට පැමිණි අතර ලබන වසරේ පැවැත්වෙන දකුණු ආසියා ක්‍රීඩා උළෙල තම එකම ඉලක්කය බව පුහුණුකරු රුමී පකීර් අලී මහතා පැවැසීය. එම ක්‍රීඩා උළෙල අවුරුදු 23න් පහළ පාපන්දු තරගාවලියක් බැවින් ඉතා හොද ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පිල සතුව ඇතැයි හෙතෙම පැවැසීය.

මාලදිවයින මේ තරගාවලියේ සහභාගීවූ තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමාකළ අතර ප්‍රතිවාදී කණ්ඩායම්වලට එරෙහි ගෝල් වාර්තා කිරීමට සමත් වූයේ නැත. නේපාලය ‘ඒ’ කාණ්ඩයේ සහභාගීවූ තරග 3න් දෙකක් ජයගෙන පාකිස්තානය සමග තරගය ගෝල් 2-1ක් ලෙස පරාජයවී එම කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටියේය.

මේ තරගාවලියේ අපරාජිත වාර්තාව තවමත් උසුලා සිටින ඉන්දියාව වෙතින් ශ්‍රී ලංකාව හා මාලදිවයින ගෝල් 2-0 බැගින් පරාජයවී සිටි අතර මේ හේතුව නිසාම ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසෙන ඉතිරි කණ්ඩායම කාසියේ වාසිය අනුව තෝරා ගැණුනි.

ඒ අනුව බංගබන්ධු ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පාපන්දු නායක සුභාෂ් මධුසංක හා මාලදිවයින පාපන්දු නායක අබ්දූල් ගහානී කාසියේ වාසිය උරගා බලා, මාලදිවයින අවසන් පූර්ව වටයට පිවිසියේය. එලෙස ශ්‍රී ලංකා පිල මෙම ශූරතාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට යෑම කණගාටුදායක සිදුවීම විය.

මෙතෙක් පැවැති දකුණු ආසියානු පාපන්දු ශූරතාවලදී පාකිස්තානය හා නේපාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා නොමැති අතර ඉන්දියාව හා මාලදිවයින සිවු වතාවකදී අවසන් මහා තරගයට මුහුණදී ඇත. එයින් එක් වතාවකදී මාලදිවයින ජයගත් අතර අනෙක් අවස්ථා තුනේම ජය ඉන්දියාව සතුව තිබේ.

කෙසේ වුවද සත්කාරක බංග්ලාදේශය මේ ශූරතාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට යෑම තරගාවලිය මලානික ස්වරූපයක් ගැනීමට හේතු විය.

බංග්ලාදේශය තවදුරටත් තරගාවලියේ නොසිටින බැවින් තරග නැරැඹීමට පැමිණෙන පිරිස් අවම තත්ත්වයකට පත්ව ඇතැයි සංවිධායකයෝ පවසති. කෙසේ වුවද අවසන් මහා තරගයට 25000ක පමණ ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙන බවට තරග සංවිධායකයන් තුළ විශ්වාසයක් පවතී.

නව අදහස දක්වන්න