ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි ප්‍රගතිශීලි පෙරමුණක් ගොඩනැඟිය යුතුයි | දිනමිණ

ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි ප්‍රගතිශීලි පෙරමුණක් ගොඩනැඟිය යුතුයි

ස්වර්ණා විජේකෝන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවක් පක්ෂ කාර්යාලයේ දී පැවැති අතර මාධ්‍ය ප්‍රකාශක, ඇමැති මහින්ද සමරසිංහ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අදහස් දක්වන අයුරු ඡායාරූප - නිරෝෂන් බටේපොල

එළඹෙන ජනාධිපතිවරණය, මහ මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ වලට ශක්තිමත්ව මුහුණ දිය හැකි පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම සියලු ප්‍රගතිශීලි බලවේග ඒකරාශි කරමින් පුළුල් පෙරමුණක් ගොඩනැගීමේ ජාතික වගකීම සියලු දෙනා වෙත මේ මොහොතේ පැවරෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කෙළේය.

පුද්ගල කේන්ද්‍රීයව මෙන්ම පුද්ගල හැගීම් වලට අනුව කටයුතු කිරීම පක්ෂයක වගකීමක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලු බලවේග එක් කේන්ද්‍රස්ථානයකට ගොනුකර ගනිමින් පක්ෂය ශක්තිමත් කිරීම සිදුකළ යුතු බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය‍.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙසේද පැවසීය‍

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වනවිට සියයට අනූවක් පමණ අවසන්. බල මණ්ඩල පිහිටුවීම, කාන්තා සංවිධාන පිහිටුවිම, තරුණ සංවිධාන පිහිටුවීම, ආදී බොහෝ කටයුතු මේ වනවිට අවසන්. ඒ වගේම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව සිදුකිරිම සඳහා වෘත්තීය වේදීන්, බුද්ධිමතුන්, ආදි සියලු දෙනා සම්බන්ධ කරගෙන සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන් මග ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය වැඩපිලිවෙළක් ආරම්භ කිරිමට අපි සූදානම්.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටට , ගමට, වත්මන් තරුණ පරපුරට ගැලපෙන පරිදි ස්වදේශීක සංකල්පයන්ගෙන් සන්නද්ධ කරමින් ප්‍රතිසංවිධානය කිරීම සිදුවෙනවා. ඒ වගේම ලබන 19 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වෙනවා. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම ඉදිරි ගමන් මග පිළිබඳවත් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතයි. එමෙන්ම අපගේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කිරිමෙන් පසුව පක්ෂයේ සංවත්සරය සැමරීම පිළිබඳවත් මෙහිදි අවධානය යොමුකරනවා.

සාමාන්‍යෙයන් රටක උද්ඝෝෂණ, වැඩ වර්ජන, විරෝධතා යනු රටක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් ලෙසය් මම දකින්නේ . වැඩකරන ජනතාව , විශ්ව විද්‍යාල ප්‍රජාව ආදි විවිධ කොටස් විවිධ අරගල , විරෝධතා වල නිරත වනවා. එවැනි විරෝධතා සඳහා ඉඩ තිබිය යුතුයි. පසුගිය දිනක එක්තරා දේශපාලන කණ්ඩායමක් විසින් විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා. එහිදි එම විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වූ එක් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිටින් ගමන් කරන විට පක්ෂ කාර්යාලයට හූ කිව්වා. අපි එය කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒ මොහොතේදි මම පක්ෂ කාර්යාලයේ සිටියා. එම සිදුවීම මම දුටුවා. ඇත්තටම මෙම සිදුවීම මම දකින්නේ තමන් හැදූ වැඩු මවට හූ කිව්වා වගේ සිදුවීමක් ලෙසයි. එම සිදුවීම ආචාර ධර්ම විරෝධියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටට ජයග්‍රහණ රැසක් ලබාදුන්නු පක්ෂයයි. ඒ නිසා අපි මුලින්ම පක්ෂයට ආදරය කළ යුතුයි. දේශපාලනික වශයෙන් අපි අතර විවිධ මතවාද තිබෙන්නට පුළුවන්. නමුත් රටේ අනාගතය වෙනුවෙන් සිතා සියලු අර්බුද අමතක කිරීමේ හැකියාව අපට තිබිය යුතුයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායටම විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලබාදුන්නා.නමුත් වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කරන්නට ජනාධිපතිවරයා අවස්ථාව දුන්නේ නැහැ. ඒ නිසා පවතින සියලු අර්බුද සාකච්ඡා මාර්ගයෙන් අවසන් කරගෙන පක්ෂය ශක්තිමත් කර ගනිමින් සියලු කණ්ඩායම් එක්ව ඉදිරි ගමන් මඟ ශක්තිමත් කළ යුතුයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ සෑම ප්‍රශ්නයක් වෙනුවෙන්ම මැදිහත් වෙනවා. බැඳුම්කර සිදුවීම,රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරීම, බැංකු පද්ධතිය සම්බන්ධයෙන් අර්බුද මතු වූ අවස්ථා ආදී සෑම සිදුවීමක් වෙනුවෙන්ම ජනාධිපතිවරයා මැදිහත් වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා

වරාය ඇමැතිවරයා ලෙස අද මට දැඩිලෙස සතුටු විය හැකි දවසක්. ලෝකයේ ලොකුම වරායන් අතරින් 2018 වසරේ පළමු කාර්තු දෙක තුළ වැඩිම බහාලුම් සිදුකර ඇති වරායන් අතරින් පළමු තැන අපගේ කොළඹ වරායට හිමිව තිබෙනවා. මෙම කාර්තු වල කොළඹ වරායේ බහාලුම් කටයුතු වල ප්‍රගතිය සියයට 15.6ක්. දෙවන ස්ථානය හිමිකර ගත් සිංගප්පූරු වරායේ බහාලුම් කටයුතු වල ප්‍රගතිය සියයට 11.6ක්. තුන්වන ස්ථානය ඉන්දුනිසියාවේ ජකර්තා වරායට හිමිව තිබෙනවා. කොළඹ වරායෙන් බහාලුම් පර්යන්ත පුළුල් කිරීම වෙනුවෙන් පසුගිය රජයන් පවා කටයුතු කළා. කොළඹ වරායේ පර්යන්ත තුනක් ක්‍රියාත්මක වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ලබන 19 දා රැස් වෙනවා. එහිදි පක්ෂයේ 67 වන සංවත්සරය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගැනත් සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ වගේම ආණ්ඩුවේ සිට විපක්ෂය එක්වූ ඇමැතිවරුන්ගෙන් ඇතැමුන් තවමත් ඔවුන්ගේ නිල නිවාස භාරදි නැති බවට චෝදනා කරනවා. මේ නිවාස සම්බන්ධ කටයුතු කරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්. එම ඇමතිවරු නිවාස භාර දි නැත්තම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිම අදාළ නිලධාරීන්ගේ වගකීමක්.

පසුගිය වකවානුවේදී මානව හිමිකම් කඩවිම් ඇතුළු විවිධ චෝදනාවන් ලංකාවට එල්ල වුණා. නමුත් රණවිරුවන් සම්බන්ධයෙන් කිසිඳු මැදිහත් වීමක් සිදුකරන්නට දෙන්නෙ නැහැ කියා ජනාධිපතිවරයා වරින් වර ප්‍රකාශ කළා. රාජ්‍ය නායකයා, සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රණවිරුවන් පාවා නොදෙන බව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබෙනවා. අද වනවිට ජාත්‍යන්තරයෙන් අපට එල්ලවන බාදාවන් අඩු වී තිබෙනවා.යුද්ධය වකවානුවේදී විශාල පිරිසක් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගියා. ඒ අය බොහෝ කාලයක් සරණාගතයින් ලෙස ජීවත් වුණා. නමුත් යුද්ධය අවසන් වීමත් සමඟ විශාල පිරිසක් නැවත ලංකාවට එමින් සිටිනවා. 2009 වසරේ සිට මේ දක්වා සරණාගතයින් ලෙස ඉන්දියාවේ සිටි දසදහසක පිරිසක් ලංකාවට පැමිණ තිබෙනවා. ඉන්දීය පවුල් උතුරේ පදිංචි කරන බවට විමල් වීරවංශ මහතා චෝදනා කරන්නේ කරුණු නොදැනගෙනයි. ඒ නිසා නිවැරදිව කරුණු දැනගෙන කතා කරන ලෙස මම විමල් වීරවංශ මහතාට කියනවා.

 

නව අදහස දක්වන්න