හම්බන්තොට-මාතර ජනතාවගේ අපේක්ෂා ඉටු කරන්නේ ගිං-නිල්වලා ව්‍යාපෘතියයි | දිනමිණ

හම්බන්තොට-මාතර ජනතාවගේ අපේක්ෂා ඉටු කරන්නේ ගිං-නිල්වලා ව්‍යාපෘතියයි

සියලු පුරන් කුඹුරු වගා කිරීමේ වැඩපිළිවෙළක් සකසනවා
- ඇමැති අමරවීර

* රජය කටයුතු කරන්නේ ජනතා අවශ්‍යතා ඉටු කරන ප්‍රතිපත්තිය මත සිට පමණයි
* ගිං- නිල්වලා ව්‍යාපෘතියේ මූල්‍ය අක්‍රමිකතා ගැන යළි සොයා බලන්න රජයට සිදුවෙලා
* සෞඛ්‍යයටත්-කෘෂිකර්මයටත් ස්වභාවධර්මයෙන් අභියෝග රැසක් එල්ල වෙනවා

හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කයන්හි සංවර්ධනයේ නව පරිවර්තනයක් සිදුකෙරෙන සහ එම දිස්ත්‍රික්කයන්හි ගොවි ජනතාවගේ අපේක්ෂාවක් වූ ගිං - නිල්වලා ව්‍යාපෘතිය ඉතා අවශ්‍ය බවට වූ ප්‍රතිපත්තිය මත රජය කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ගිං- නිල්වලා ව්‍යාපෘතියේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවන් පිළිබඳ වත්මන් රජය යටතේ ද නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුව ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ පෙරේදා (10) හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය වූ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමට දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහනට එක් වෙමිනි.

එම අවස්ථාවේ දී ගොවි ජනතාවගේ ගැටලු ඇතුළත් සංදේශයක් ද ජනාධිපතිවරයා වෙත භාර කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

පුරන් කුඹුරු පිළිබඳ අපේ රටේ ගොවි ජනතාවට තිබෙන්නේ දීර්ඝ කාලීන අත්දැකීමක්. ඒ වගේමයි කෘෂිකර්ම හා ගොවි ජනසේවා දෙපාර්තමේන්තුවටත් විශාල අත්දැකීම් තිබෙනවා.

අධි තාක්ෂණික ලෝකයේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට යාමේ දී අපට බාධාවන් තිබෙනවා. රටේ විවිධ ක්ෂේත්‍රවල වාර්ෂික සංවර්ධන ඉලක්ක, සංවර්ධන සැලසුම් ගත්විට සම්පූර්ණ කිරීමට අපහසුවන කරුණු කිහිපයක් තිබෙනවා. ඒ කරුණු අපට පමණක් නෙවෙයි, ලෝකයේ සියලුම රටවලට අදාළයි. ජාතික සැලසුම්වලට අපි වාර්ෂිකව මුදල් වෙන් කරනවා. ඒ වගේම විවිධ ක්ෂේත්‍රවලට ජාතික සැලසුම් හදනවා. සෞඛ්‍ය, අධ්‍යාපන සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සැලසුම් බොහෝ විට අපේක්ෂිත ඉලක්ක කරා යන්නේ නැහැ. එම සැලසුම් ඉදිරියට නොයන්න සෑම රටකටම අපේක්ෂා නොකළ සිදුවීම් සිදු වෙනවා. ඒ තමයි ස්වභාව ධර්මයාගෙන් ඇතිවන අභියෝග.

අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවට 2019 වසරට රුපියල් කෝටි 5000ක් වෙන් කළා. බෙහෙත්වලට මෙච්චරයි, යන්ත්‍රසූත්‍රවලට මෙච්චරයි, ගොඩනැගිලිවලට මෙච්චරයි, පරිපාලන වියදම්වලට මෙච්චරයි කියලා වෙන් කරනවා. නමුත් අපේක්ෂා නොකළ ලෙසට ලෙඩ රෝග මතුවෙනවා. ඒවා ඩෙංගු, වසංගත, ගංවතුර හානිවලින් ඇතිවන ලෙඩ වෙන්න පුළුවන්, නියඟය නිසා ඇතිවන තත්ත්වයන් වෙන්න පුළුවන්. එතනදී වාර්ෂික සෞඛ්‍ය සැලසුම් වෙනස් වෙනවා. කෘෂිකර්මාන්තයත් එහෙමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සැලසුම් හදනවා. මුදල් අමාත්‍යාංශයෙන් මුදල් දෙනවා. නමුත් මුදල් මෙච්චරයි මේ වසරට, මෙන්න සැලසුම්, මෙන්න නිෂ්පාදන ඉලක්ක කියලා බලාපොරොත්තු වෙනවා. අපේක්ෂිත ඉලක්ක ළඟාකර ගන්න පුළුවන් කියා හිතනවා. නමුත් බලාපොරොත්තු නොවන විදියට නියඟයක් එනවා. එවිට ඔක්කොම ඉවරයි. බලාපොරොත්තු නොවන විදියට ගංවතුරක් එනවා. එවිටත් ඔක්කොම ඉවරයි.

ඒ නිසා සෞඛ්‍ය හා කෘෂිකර්මාන්තය කියන්නේ ලෝකයේ ඕනෑම රටක ස්වභාව ධර්මයාගේ හැසිරීමත් එක්ක වෙනස්වන දෙයක්. ස්වභාව ධර්මයාගේ පිබිදීම් සහ කඩා වැටීම් සිදුවෙනවා. ස්වභාව ධර්මයාත් සමඟ සටන් කරන ක්ෂේත්‍රයන් තමයි සෞඛ්‍ය සහ කෘෂිකර්මය කියන්නේ.

පුරන් කුඹුරු ඇතිවෙන්නේ කුමන කාරණයක් නිසාද කියා සිතා බැලුවොත් ඒවා ඇතිවන කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි අතිවිශාල වශයෙන් ඉඩම් තිබෙන අය වෙනත් ආර්ථික ශක්තීන් ඇතිවිට කුඹුරු අත්හැර දැමීම. ඔවුන් සිතනවා තමන්ගේ අනෙක් ව්‍යාපාර දියුණු කර ගන්න එක හොඳයි මේ සඳහා කාලය ගත කරන්න අවශ්‍ය නැහැ කියා. මෙයින් පොඩි ආදායමක් තිබෙන්නේ කියා සිතනවා. ඒ එක කාරණයක්. අඩු ආදායම්ලාභී සාමාන්‍ය ගොවි ජනතාවට තිබෙන ඉඩම්වලින් කාලගුණික සහ දේශගුණික බලපෑම් නිසා කුඹුරු වැඩ කරගන්න බැරිව අත්හරිනවා. ඒවා පුරන් කුඹුරු වෙනවා.

ජාතික සංවර්ධන ව්‍යාපෘති සෑදීමේ දී නිසි පරිදි ශක්‍යතා අධ්‍යයනයන් නොමැතිව කිරීම නිසා ඇතැම් වෙලාවට කුඹුරු ගොඩවෙනවා. ජල මාර්ග හරස් වී කුඹුරු වැඩ කිරීමට අවශ්‍ය ජල ප්‍රමාණය නොමැති වීමෙන් කුඹුරු පුරන් වෙනවා. මෙවැනි කරුණු ගණනාවක් කුඹුරු පුරන් වීමට හේතු වෙනාවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පුරන් කුඹුරු තිබෙනවා නම් ඔය කරුණු තුනටම ඇතුළත් කුඹුරු ඇති. ලංකාවේ පුරන් කුඹුරු වැඩිම පළාත බස්නාහිරයි. මම කෘෂිකර්ම ඇමතිවරයා විදියට අවුරුදු හයක් සිටි නිසා ඒ බව මම දන්නවා. මේ පිළිබඳ මට අත්දැකීම් තිබෙනවා. නියඟය නිසා පසුගිය අවුරුදු කිහිපයේ දී පිටරටින් සහල් ගෙන්වන්න සිදු වුණා. පසුගිය මාස හත, අටේ ගෙන්නුවේ නැහැ. මේ අවුරුද්දේ වර්ෂාව ඇතිවීම නිසා නියඟය පැවැති ප්‍රදේශවල එම තත්ත්වය අඩු වුණා. හම්බන්තොට ඇතැම් ප්‍රදේශවල නියඟය තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් නියඟය තවමත් තිබෙනවා. මෙහි තිබෙන තත්ත්වයන් අපි හඳුනාගෙන මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි. ඇමැතිතුමා පිටරටින් ගෙන්වන ආහාර ලැයිස්තුවක් සඳහන් කළා. දොඩම්, බඩ ඉරිඟු, මිරිස්, කජු වැනි දේවල් සඳහා යන වියදමත් සඳහන් කළා. මේවා ගේන්න අවසර දෙන්නේ කවුද? අවසර දෙන අයත් මෙතන ඉන්නවා. කජු ගේන්න කවුද අවසර දෙන්නේ? බඩ ඉරිඟු ගෙන්වීමට කවුද අවසර දෙන්නේ? දොඩම් ගේන්න කවුද අවසර දෙන්නේ? ඒ සඳහා අත්සන් කරන මහත්වරු මෙහි සිටිනවා. අපි ලැයිස්තුවක් කියනවා මේවා ගේනවා කියලා. එක එක ජාවාරම්කාර මුදලාලිලාට ඕන විදියට ජාවාරම්කරුවන් එක්ක හවුල් වී සිටින දේශපාලනඥයන්ට ඕන විදියට, මේවා ගේන්න දෙන්න එපා. ඇමතිතුමා සඳහන් කළා, දොඩම් ගේනවන්න අවුරුද්දකට රු. කෝටි 96කට වැඩිය වැයවෙනවා කියා. තමුන්නාන්සේලා පිටරටින් ගෙන්වන දේවලට අත්සන් නොකර හිටියානම් හරි .

මම ගිය සතියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නේපාලයේ සිට ඉන්දියාව හරහායි ලංකාවට පැමිණියේ. එහිදී දුන්නා කජු වගයක් කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගේන මේ කජුවලට අත්සන් කරලා අනුමත කරන්නේ කවුද? බඩ ඉරිඟු මේ රටට ගෙන්වීම පිළිබඳ ප්‍රතිපත්තියක් ලෙස මම හැමදාම විරුද්ධයි. මම මහවැලි ඇමතිවරයා විදියට අවුරුදු 16ක් වැඩ කර තිබෙනවා. ලංකාවේ මහවැලි ඇමැතිවරයා විදියට වැඩිම කාලයක් වැඩ කර තිබෙන්නේ මම. කෘෂිකර්ම ඇමැතිවරයා විදියට අවුරුදු 6ක් සිටියා. මේ ක්ෂේත්‍ර පිළිබඳ දන්න නිසායි මම කියන්නේ. මේ රටේ වගා කිරීමට හැකි දේවල් එක එක ජාවාරම්කාරයන්ට ඕන විදියට පාරිභෝගිකයාගේ තත්ත්වය පිළිබඳ වාර්තාව ඉස්සරහට දාලා ගෙන්වන එක නතර කළ යුතුයි. මේ පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහන සාර්ථක කරන්න තමන්නාන්සේලාගේ සහයෝගය ලබා දෙන්න.

ගිං - නිල්වලා ව්‍යාපාරය ගැන ගොවි මහත්වරු මට සංදේශයකුත් බාරදුන්නා. ගිං - නිල්වලා ව්‍යාපාරය ගැන පසුගිය ආණ්ඩුවේ දී සිදු වූ සිද්ධි ඔබ සියලු දෙනා දන්නවා. ඒ පිළිබඳ වෙනම පරීක්ෂණත් පවත්වනවා. මේ ආණ්ඩුවෙනුත් ගිං-නිල්වලා ගැන නැවත පරීක්ෂණයක් කරන්න වෙයි කියා මට හිතෙනවා. ගිං - නිල්වලා ව්‍යාපෘතියේ වගකීම තිබෙන අය කවුරුන් හෝ වේවා තමන්ගේ දේශපාලන වටිනාකම් පරිස්සම් කරගෙන කටයුතු කරන්න. මෙහි කැබිනට් පත්‍රය මාස තුනක් ප්‍රමාද වුණා. ඒ ඇයි කියාත් මම දන්නවා. ඉතිරි ටික මගෙන් රටට ප්‍රකාශ කරගන්නේ නැතුව එම කටයුත්ත කරන්න කියා මම ඔවුන්ට ප්‍රසිද්ධියේම කියනවා.

විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට සේවයක් වෙන එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පරිවර්තනයකට ලක්වන ගිං - නිල්වලා ව්‍යාපාරය සාර්ථක කරගැනීම ඉතාමත් අවශ්‍යයි. ඒ ගැනත් මතක් කරමින් පුරන් කුඹුරු අස්වැද්දවීමේ පුළුල් ජාතික වැඩසටහන සියලු ආකාරයෙන්ම සාර්ථක වේවායි කියා ආශිර්වාද කරනවා.

මහින්ද අමරවීර මැතිතුමාට, හම්බන්තොට දිස්ත්‍රික්කයට මම කෘෂිකර්ම ඇමතිකම දුන්නේ රටට වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයටත් හොඳ වැඩ කොටසක් කරන්න. එතුමා ඉතාමත් කාර්යක්ෂමව එම වැඩපිළිවෙළ සිදු කරනවා. සියලු දෙනා සහයෝගය ලබා දී මේ කාර්යය සාර්ථක කරන්න කියා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා- ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් සියලු පුරන් කුඹුරු අස්වැද්දිය යුතුයි කියා රටේ අවධානය යොමු කළා. ඒ අනුව මා වාර්තා ලබා ගත්තාම අපේ කුඹුරුවලින් අක්කර එක්ලක්ෂ හතළිස් අටදහසකට වැඩි ප්‍රමාණයක් 2016 සමීක්ෂණයට අණුව පුරන් කුඹුරු විදියට හඳුනාගෙන තිබෙනවා. ඒ ප්‍රමාණයෙන් අක්කර පහළොස්දහසක් පමණ ගිය වසර වන විට වපුරන්න පටන්ගෙන තිබෙනවා. ගාල්ලත් බොහොම වැඩියෙන් පුරන් කුඹුරු තිබෙන දිස්ත්‍රික්කයක්. ඒ වගේම තව එක්ලක්ෂ දහ හතර දහසකට වැඩිය වගා කළ හැකි කුඹුරු විදියට අපි හඳුනාගෙන තිබෙනවා. එක්ලක්ෂ දහහතර දහසක් පමණ තිබෙනවා වගා කළ නොහැකි කුඹුරු. ඒ නිසා අපි කෘෂිකර්ම අමාත්‍යාංශය විදියට සූදානමින් සිටිනවා මේ සියලු පුරන් කුඹුරුවල ගොවිතැන් කරන්න. වීගොවිතැනට වෙන්න පුළුවන් සමහර විට වීගොවිතැන පාඩු නම් බඩඉරිගු, මුංඇට කව්පි, එළවළු, නැතහොත් අවම වශයෙන් මත්ස්‍ය වගාවට හෝ යොදා ගතයුතුයි කියන මතයේ අපි ඉන්නවා. සියලුම ඉඩම් හිමියන්ට මේ ඉඩම් වගා කරන්න කටයුතු කරන්න කියා අපි දැනුම් දී තිබෙනවා. දැන් ඒකේ ප්‍රතිචාර පිළිබඳ අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒවගේම අපේ පනතේ තිබෙන බලතල අණුව මේ සියලුම කුඹුරු ඒ අය වගා කරන්නේ නැත්නම් වගා කරන්න උනන්දුවක් දක්වන තරුණ ගොවි ජනතාවට වගාකරන්න අපි ලබාදෙනවා. කිසියම් ඉඩම් හිමියෙක් මේ කටයුත්තට විරුද්ධ වෙනාවානම්, මේ කටයුත්තට අකුල් හෙළනවා නම් මම බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ අශිර්වාදය මත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අපේ පනතට සංශෝධන ගෙනවිත් හෝ මේ ඉඩම් වගා කරන්න.

කුඹුරු හිතා මතාම පුරන් වෙන්න අරින අය ඉන්නවා. මම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ගිහින් බැලුවාම බස්නාහිර පළාතේ විතරක් කුඹුරු ඉඩම් තුන්දහස් හත්සීයකට වැඩි ප්‍රමාණයක් ගොඩ කරන්න අවසර ඉල්ලා තිබෙනවා. ජනාධිපතිතුමා මේ පිළිබඳ අවධානය යොමු කර මහා පරිමාණයේ ඉඩම් ගොඩ කිරීම නවත්වන්න අපේ අමාත්‍යංශයට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික පූජක තුමන්ලා, මුදල් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න,දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති යූ.ජී.බී. ආරියතිලක, දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක එස්.තෙන්නකෝන් යන හමත්වරුන්, නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මහජන නියෝජිතයන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ගොවිජනතාව අතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත සහ හම්බන්තොට සමූහ
ඡායාරූප - සුදත් මලවීර


නව අදහස දක්වන්න

Or log in with...