ඵලදායි ආර්ථිකයකට ඉංජිනේරුවරුන්ගේ කාර්යභාරය සුවිශේෂියි | දිනමිණ

ඵලදායි ආර්ථිකයකට ඉංජිනේරුවරුන්ගේ කාර්යභාරය සුවිශේෂියි

එක්සත් ජාතික පක්ෂය දේශීය මානව සම්පත රැකගත් ආකාරය පිළිබඳව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු දේශිය සමාගම් කිහිපයකට පැවරිම හා ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා දේශිය සමාගම්වල සම්බන්ධතාව ලබා දීම වැනි දෑ මඟින් පෙන්වා දෙන බව අධිවේගී හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා ප්‍රකාශ කරයි.

දැනට පවතින නීතිය අනුව ඉදිකිරිම් ක්ෂේත්‍රය හැර අනෙක් ක්ෂේත්‍රවල කටයුතු කිරිමට විදේශ සමාගම් සඳහා දේශිය සමාගම්වල සම්බන්ධතාව ලබා ගත යුතු බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහාද එම තත්ත්වය ඇති කිරිමට අදාළ නීති රීති ඉදිරියේ දී ගෙන ඒමට තමා බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු දේශිය සමාගම් කිහිපයකට පැවරූ බවත් එම සමාගම් එම කටයුතු සාර්ථකව ඉටු කරන බවත් ඒ මහතා කීවේ ය.

දේශීය බුද්ධිමතුන්ට අවස්ථාව දෙමින් මේ රජය කටයුතු කළ ආකාරය පිළිබඳව පසුගිය දින මාවතගම ක්ෂත්‍රිය විලාහි දී පැවැති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (Institution of Engineer's Sri Lanka) විසින් 05 වන වරට සංවිධානය කරනු ලැබූ ජාතික ඉංජිනේරු සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අමාත්‍ය කබීර් හෂිම් මහතා මෙම අදහස් පළ කළේ ය.

එහි දී අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ අතීතයේ ඉංජිනේරුවරුන් ප්‍රධාන වශයෙන් කොටස් හතරක් ලෙස සිටි බවත් වර්තමානය වන විට එය සෑම ක්ෂේත්‍රයයකටම අදාළව ඉංජිනේරු වෘත්තිය ව්‍යාප්ත වී ඇති බවයි. ඉංජිනේරුවරුන් හට රටේ ආර්ථිකය වඩා ඵලදායී මඟට ගෙන ඒම සඳහා සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා මේ රටේ ඉංජිනේරුවරුන් හට කළ හැකි උපරිම දායකත්වය රට සංවර්ධිත රටක් බවට පත් කරලීමට සහායවීම සඳහා වන බව ද ප්‍රකාශ කළේය. අපි මේ ගෙවන වර්තමාන ලෝකයේ විශාල සමාජීය හා ආර්ථිකමය ව්‍යුහාත්මක විපර්යාසයක් සිදු වන කාලයක් බවත්, බලකොටුවක්ව පැවැති බටහිරට වඩා එහි බලය ආසියානු කලාපයට අත්පත් වෙමින් පවතින කාලපරිච්ජේදයක් පසුකරමින් සිටින බවත් සඳහන් කළේය. ආසියානු කලාපයේ පවතින කුඩා රටවල් මේ වන විට දියුණු රටවල් බවට පත් වෙමින් ඇති ආකාරයද අපේ රට මේ වන විට සිටින ස්ථානය හා ගමන් කරන ආකාරය පිළිබඳව පාලකයන් සේම රටේ මිනිසුන්ද සිතා බැලිය යුතු කාලය එළඹ ඇති බව ද සඳහන් කළේය. ඉදිරියේ දී තමන්ගේ වත්කම මැනිය හැකි වන්නේ මුදල්මය අගයකින් නොව තමන්ගේ බුද්ධිමය වටිනාකමින් බව පෙන්වා දුන්නේය. අතීතයේ සිට අප රට විවිධ වු ගිවිසුම් මගින් ආර්ථිකය සවිමත් කළ ආකාරයත් තානාපතිවරුන් පත් කළ ආකාරයත්, වර්ෂ 1153 සිට 1186 දක්වා වු කාලයේ මහා පරාක්‍රමබාහු රජතුමා නිදහස් වෙළෙඳ කලාපයක් ඇති කළ ආකාරය ගැනත් විස්තර කර සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂ සෑම දෙයකටම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියමින් ලොකු බිල්ලෙක් මැවීමට උත්සහ දරන බවත් වර්තමාන රජය ගත් වැදගත් තීරණ හේතුවෙන් හිටපු ජනාධිපත්වරයාට තිබූ විදුලි පුටු භීතිකාව, විදේශ රටවලින් පැවැති තහංචි, අත්අඩංගුවට ගැනීම් වර්තමාන රජය බලයට පත්වී මාස 3න් අවසන් කිරිමට හැකි වූ බව ද පැහැදිලි කර සිටියේය. රටේ ගෞරවය ආරක්ෂා කරමින් ත්‍රිවිද හමුදාව යුද අධිකරණවලට ගෙනයාමේ උත්සාහය නතර කර ගැනීමට හැකි වූ බවත් පැවසීය.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව සිය අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙම ගිවිසුම ගැන විපක්ෂය ලොකු බියක් මවා ඇති බවත් මාස 18ක් තිස්සේ සාකච්ඡා කර සාකච්ඡා වාර 20කට වැඩි ප්‍රමාණයක් සිදු කර නව ගිවිසුමට එළඹි බව ද අවධාරණය කළේය. මෙම ගිවිසුමේ ඕනෑම කොන්දේසියක් සංශෝධනය කළ හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා දැනුම් දීමකින් පසු දෙපාර්ශ්වයේ ඕනෑම පාර්ශවයකට ගිවිසුමෙන් ඉවත්වීමේ බලයද පවතින බව ප්‍රකාශ කළේය. රටේ පවතින ආගමන විගමන නීතිවලට යටත්ව ක්‍රියාත්මක වන මෙම ගිවිසුම තුළින් දේශිය කර්මාන්තවලට කිසිදු හානියක් සිදු නොවන බව ද අවධාරණය කර සිටියේය.

කුලසිංහ මහතා එදා ශ්‍රී ලංකාවේ සිටිය සුප්‍රසිද්ධ ඉංජිනේරුවරයෙක්. ඔහු මහවැලි ඉදිකිරිම්වලටත් උපදේශකත්වය දුන්නා. ඔහු විශ්වකර්ම දේවල් කරපු අයෙක්. විශේෂයෙන් කොන්ක්‍රීට් තාක්ෂණය ලෝකෙට හදුන්වා දුන්නා පමණක් නොවෙයි කළුතර බෝධිය, ග්‍රහලෝකාගාරය වැනි ඉදිකිරිම්වලට දායක වූ අයෙකි.

මෙවර සමුළුවේ තේමාව වුයේ ‘‘ ජාතික සංවර්ධනය සඳහා ශ්‍රි ලාංකික ඉංජිනේරුවන් ඊයේ - අද සහ හෙට’’ යන්නයි. අදාළ ක්ෂේත්‍රවල විශාරදයන් ලෙස සැලකෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරු 06 දෙනකු විසින් මෙවර සමුළුවේ විශේෂ පත්‍රිකා ඉදිරිපත් කරමින් දේශන පැවැත් වූ අතර එම දේශනවලින් පසුව ක්ෂේත්‍රයට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වර්තමාන සභාපතිනි මහාචාර්ය නිරංජනී රත්නායක මහත්මිය ඇතුළු ඉංජිනේරු ක්ෂේත්‍රවල විශාරදයෝ හා ඉංජිනේරුවරු විශාල පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න