වැස්සට මඩ අව්වට දූවිලි නොච්චිය පාරට බාලගිරි දෝෂය | දිනමිණ

වැස්සට මඩ අව්වට දූවිලි නොච්චිය පාරට බාලගිරි දෝෂය

  •  මුල්ගල තිබ්බා පාර හැදුවෙ නෑ
  • තාර ටික දාන්න අවුරුදු 3ක් තිස්සේ මිණුම් හදනවා
  • ශ්‍රමදානයකින් ඇරෙන්න රජයෙන් සුද්ද කරලා නෑ
  •  ලෙඩෙක් අරන් ගියොත් රෝහලට යන්න කලින් මැරෙනවා

වසර ගණනාවක් තිස්සේ බාලගිරි දෝෂයට ලක් වෙමින් පවතින ගල්ගමුවේ බොහෝ මාර්ග පද්ධති යහපාලන ආණ්ඩුවේදී පවා තවමත් ඒ ආකාරයෙන්ම දැකිය හැක. ඉකුත් වසරේ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැමිණ මාර්ග පිළිසකරකර කාපට් ඇතිරීම සඳහා තබන ලද මුල් ගල්ද එම ස්ථානවලම පැළවෙමින් පැවතීම මෙම තත්ත්වය වඩාත් හොඳින් ඉස්මතු කරයි. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ඉහළගම සිට ගම් බිම් කිහිපයක් ඔස්සේ දිවෙන නොච්චිය හරහා සංගප්පාලය දක්වා මාර්ගයද මේ වන විට ගමන් කළ නොහැකි තත්ත්වයට පත්ව ඇතත් බලධාරීන්ට ඒ පිළිබඳ වගක් නොමැත. සෑම වසරකම ඡන්ද පොරොන්දු දෙන්නට තබාගෙන ඉන්නා ගල්ගමුවේ බොහෝ මාර්ග ඇතැම් මැති ඇමැතිවරු ඉහළ පුටුවලට තේරී පත්වුවත් ඒ ආකාරයෙන්ම පැවතීම කණගාටුව කරුණකි.

ගල්ගමුව නාන්නේරිය මාර්ගයේ ඉහළගම හංදියෙන් ආරම්භ වන මාර්ගය නොච්චිය, කුඩාවැව, සංගප්පාලය, ගම්පොළ, කරඹෑව හා කොහොමන්කුලම හරහා දිවෙන අතර මේ වන විට මෙම මාර්ගය විශාල වශයෙන් අබලන් වී තිබේ. මාර්ගය පිළිසකර කර දෙන්නැයි අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළද එය කනකට හෝ නොගෙන බලධාරීන් ඇස් පියා සිටීම හමුවේ ජනතාව මෙසේ කියා සිටියහ.

නොච්චිය පදිංචි ඩී. එම්. තිලකරත්න මහතා - ‘‘අපි කොච්චර කීවත් මේ කිලෝමීටර් කීපය තාර ටිකක් දාලා හදලා දෙන්න කවුරුත් නෑ. කාට කාටත් මිනිස්සු මතක් වෙන්නෙ ඡන්ද කාලෙට විතරයි. වැස්ස දවස්වලට මේ පාර ගොඩක් මඩ වෙනවා. ලිස්සනවා. ලොකු ලොකු වළවල් හැමතැනම තියන නිසා පයින් යන්නත් ලොකු දුකක් විදින්න ඕනේ. මේ තමා අපිට ගල්ගමුව නගරයට යන්න තියන පාර. තාර ටිකක්වත් දාලා හදලා දෙන්නෙ නැති නිසා අපි පත්වෙන දුෂ්කරතාව දන්නෙ අපි විතරයි. මේ පාර පායන කාලෙට දූවිලි විමානයක්. මේ කොටස විතරක් ප්‍ර‍තිසංස්කරණය කරන්නෙ නැතුව අත්හැරලා දාලා තියෙන්නෙ ඇයි කියලා අපි දන්නෙ නෑ."

ඩබ්. එම්. රාජපක්ෂ මහතා - "අපේ ළමයි ඉස්කෝලෙ යන්නෙ ලොකු දුෂ්කරතා මැද්දේ. දැනට මාස දෙකකට තුනකට විතර උඩදි අපි කොට දාලා මේ පාර වැහුවා. ඒත් වැඩක් නෑ. මේක තමා මේ ගම් හතට අටක ජනතාවක් භාවිතා කරන මාර්ගය. බස්, ලොරි, ට්‍රැක්ටර්, වෑන් වගේ වාහන ගමන් කරනවා. ඒත් මේ පාරේ කවදාවත් හදිසි ගමනක් යන්න බෑ. සමහර තැන් කොන්ක්‍රීට් කරලා තියනවා. ඒවත් දැන් කැඩිලා. කවදාවත් රජයෙන් මේ පාරට පස් ටිකක් දාලාවත් හදලා නෑ. ගම්වල මිනිස්සුම තමා ඒවත් කරන්නෙ. රෑට හදිසියේ ලෙඩෙක් අරන් ගියොත් ගල්ගමුවට යන්න කලින් ලෙඩා මැරෙනවා. පැද්දි පැද්දි ගැස්සි ගැස්සි මේ පාරේ ගිහින් අපේ වාහන උනත් ගන්න දෙයක් නෑ. ඡන්දයක් ළං වෙද්දි පාරට කාපට් ටික දාන්නම් කියලා එනවා. අවුරුදු 2 ක් තිස්සේ මිණුම් කටයුතු කරනවා. ඡන්දෙන් පස්සෙ පැත්ත බලන්නෙ නෑ. යහපාලන ආණ්ඩුවෙන් මේ අපේ දුප්පත් පාර තාර ටිකක් දාලා අපිට යන්න එන්න පුළුවන් විදිහට හදලා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.“

අයි. එම්. ගුණරත්න මහතා - ‘‘මම රැකියාව විදිහට කරන්නෙ පාන් විකුණන එක. ඒත් මේ මාර්ගය නිසා විශාල දුෂ්කරතාවකට පත්වෙලා ඉන්නෙ. වන අලි ප්‍රශ්නත් තියනවා. ඒ මදිවට පාරවල්වල අබලන් තත්ත්වය අපිට විඳින්න වෙලා. මුල් ගල් තිබ්බා විතරයි. කයිවාරුව වගේ වැඩත් තිබුණ නම් අපිට මෙහෙම දුක් විදින්න වෙන්නෙ නෑ. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙ මේ පාර අපිට හදලා දෙන්න කියලා. “

මෙම මාර්ගයේ ගමන් ගන්නා මගීන් හා මාර්ගය දෙපස රැඳී සිටින ජනතාව විඳින පීඩාව අතිමහත්ය. රටේම මාර්ග විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට බඳුන් වන නමුත් මෙම මාර්ගයේ ඇතැම් කොටස් ගිලා බැසීමකටද ලක්ව තිබේ. මේ නිසාම හමුවේ මෙම මාර්ගය කඩිනමින් ප්‍ර‍තිසංස්කරණය කර මහජන ප්‍රයෝජනය සඳහා ලබා දීම බලධාරීන් සතු වගකීමකි.

සටහන සහ ඡායාරූප

එම්. එම්. ක්‍රිෂාන්ග ල්ගමුව සමූහ


නව අදහස දක්වන්න

Or log in with...