පැරඩයිස් වැවේ රාක්ෂයෝ | දිනමිණ

පැරඩයිස් වැවේ රාක්ෂයෝ

පැරඩයිස් වැව කුරුවිටට මහා සම්පතකි. සොබා සුන්දරත්වය නැංවීමෙහි ලා ප්‍රමුඛස්ථානයක්ද එයට හිමිවෙයි. එහෙත් දැන් මේ වැව් කෝමළියට අත්වි තිබෙන්නේ සෝචනීය ඉරණමකි. වැව දවසින් දවස විනාශ මුඛයට ඇදී යයි. ආරම්භයේ අක්කර හයක පමණ වපසරියක තිබූ වැවට අද ඉතිරිව ඇත්තේ අක්කර තුනහමාරක ප්‍රමාණයකි. ඒ විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. වැවට සිදුවන විනාශකාරී ක්‍රියා අවම කොට ඉතිරි ප්‍රමාණය රැක ගැනීම සඳහා වැව සුරැකීමේ සංවිධානය පිහිටුවා ගනු ලැබුයේ මීට වසර පහළොවකට පමණ පෙරය. ඒ වැව ආසන්නයේ පිහිටි වාපිකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාදෙල්ගමුවේ විජයමූර්ති හිමි ගේ ප්‍රධානත්වයෙනි. වැව සුරැකීමේ සංවිධානයේ ලේකම් ධූරයද හොබවන්නේ උන්වහන්සේය

මේ පිළිබඳ අදහස් දැක්වූ පූජ්‍ය මාදෙල්ගමුවේ විජයමූර්ති හිමි -

‘මේ වැවේ තිබෙන වැදගත්ම ලක්ෂණය වැවේම පිහිටි උල්පත්වලින් ජලය පිරීමයි. පිටින් ජලය එන්නේ නෑ.දැන් වැවේ රොන්මඩ පිරී දුගඳ හමනවා. මෙහි මත්ස්‍යයින්ද ඉන්නවා. වැවේ ජලය සම්පුර්ණයෙන් හිස් නොකර රොන්මඩ පමණක් ඉවත් කළ හැකි නවීන උපකරණ දැන් තිබෙනවා. දිගුකලෙක සිට අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ වැව සංවර්ධනය කර සංරක්ෂණය කරන ලෙසයි. වැව විනාශ කිරීමේ විවිධ ක්‍රියා සිදුකිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ දරන හැම අවස්ථාවකම අපි ජනතාව සමඟ එක්ව විරුද්ධ වුණා. සමහර පුද්ගලයින් රාත්‍රි කාලයේ වැවේ කොටසක පතල් හෑරීමට උත්සාහ කරනවා. මම ඒ පිළිබඳ ඉතා සෝදිසියෙන් ඉන්නේ.

ඒදණ්ඩවල එක්සත් ගොවි සංවිධානයේ සභාපති බී.ටී.රත්නපාල මහතා -

වැවේ රක්ෂිතය වෙන් කිරීමේදි එය හරියට සිදු වී නෑ. වැව් රක්ෂිතය වෙන් කළ යුත්තේ ඉඩෝර කාලයේදි නොව වැවේ ජලය මුළුමණින්ම පිරි ඇති විටයි. එහෙත් රක්ෂිතය වෙන්කර ඇත්තේ වැවේ ජල මට්ටම අඩු අවස්ථාවකයි. අපි ඉල්ලන්නේ වැවේ රක්ෂිතය නියමිත පරිදි වෙන්කර දෙන ලෙසයි. ඉස්සර මේ වැව් ජලය බීමටත් පාවිච්චි කර තිබෙනවා. ප්‍රදේශයේ අය පමණක් නොව පිට ප්‍රදේශවල පිරිස් දිය නෑවේ, රෙදි සේදුවේත් මේ වැවෙන්. අද හරකෙකුටවත් බහින්න බැරි තරමට වැව අපිරිසුදුයි. වැවේ සොරොව් දෙකම කැඩිලා වැලි කොට්ට ගහලා තිබුණේ. එය හැදුවත් නැවත කැඩිලා. මේ වැව් ජලයෙන් පහළ ප්‍රදේශයේ කුඹුරු යායක් පෝෂණය වෙනවා.

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර එස්.කේ.උඳුගොඩ මහතා -

වැව ආසන්නයේ තිබෙන ඉඩම් කට්ටිකර විකුණලා. එහි නිවාස සාදා ජනතාව පදිංචි වෙලා. දේපළ සමාගම විසින් ඉඩම් සැකසීමේදි කානූ පද්ධති හරවා තිබෙන්නේ වැවටයි. ඒ හරහා අපවිත්‍ර දෑ වැවට ගලා ඒම වළක්වා ගනිමින් වැව ආරක්ෂා කිරීමට පදිංචිකරුවන් රැස් කර දැනුම්වත් කිරීමේ සාකච්ඡා තිබ්බා.

කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් අශෝක මහතා -

සංචාරක ආකර්ෂණය ඇති කරමින් වැව සංවර්ධනය කර අලංකාරයට ගස් සිටුවා රබර් බෝට්ටු සේවාවක්ද පවත්වාගෙන යාමට ප්‍රාදේශීය සභාවේ යෝජනාවක් තිබුණා. එය ක්‍රියාත්මක වුණේ නෑ.ඉඩෝර කාලෙට පැරඩයිස්, රණසිංහ පෙදෙස, පොඩි වැව වැනි ප්‍රදේශ වලට වතුර නෑ. දිය නෑමට හා රෙදි සේදීමට ගම්වැසියන් දුර ප්‍රදේශවලට යන්න ඕනෑ. වැවේ රොන්මඩ ඉවත්කර සංවර්ධනය කළොත් පෙර පරිදිමෙ ප්‍රයෝජනයට ගත හැකි වෙයි. විවිධ පාර්ශ්ව තම යටි අරමුණු ඉටු කර ගැනීමේ අරමුණෙන් වැව හෑරීමට උත්සාහ දරනවා.

කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමරත්න මල්කැකුල මහතා -

පැරඩයිස් වැව සංරක්ෂණය කිරීමට ප්‍රාදේශීය සභාව හරහා විවිධ යෝජනා ගෙනාවා. සංචාරක ප්‍රවර්ධනය ඇති කිරීමේ අරමුණෙන් වැව දෙපස අලංකරණය කර බෝට්ටු සේවාවක් ඇති කිරීමට යෝජනා කළත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. වැව ආසන්නයේ ඉඩම් කට්ටිකර විකිණීමේදී ප්‍රාදේශීය සභාවටද ඉඩම් කොටසක් ලැබුණා.වැව සංවර්ධනය කිරීමේ අරමුණෙන් විටෙන් විට විවිධ සංවිධාන හා පුද්ගලයින් මැදිහත්ව වැව හෑරීමට උත්සාහ ගත්තත් ඒවා ක්‍රියාත්මක කිරීමට ඉඩ දුන්නේ නෑ. දැනුත් යම් පිරිසක් වැව හෑරීමට කටයුතු කරන බවට තොරතුරු ලැබෙනවා. අපි සියලු දෙනාම ඊට විරුද්ධයි.ඒ පිළිබඳ සෝදිසියෙන් ඉන්නේ. එවැනි දෙයක් සිදු වුණොත් ප්‍රාදේශීය සභාවක් විදියට මන්ත්‍රීවරුන් සියලු දෙනාම එම ස්ථානයට ගොස් උද්ඝෝෂණය කරනවා. මේ ප්‍රදේශයට තිබෙන එකම වැව මෙයයි.

කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති කෘෂිකර්ම කමිටු රැස්විමේදි වැව අපවිත්‍ර වීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. ඒ අනුව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා මේ පිළිබද කරුණු සොයා බලා අවට පදිංචිකරුවන් දැනුම්වත් කරන ලෙස ද කමිටුව මගින් දැනුම් දෙනු ලැබීය.

සටහන සහ ඡායාරූප

රූපිකා කේ.බණ්ඩාර කුරුවිට සමූහ

නව අදහස දක්වන්න