මෙලෙසයි පුදබිම තැනුණේ එළුවාගල වන අරණේ | දිනමිණ

මෙලෙසයි පුදබිම තැනුණේ එළුවාගල වන අරණේ

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ කොට්ඨාසයේ අංක 96 ගොඩවෙල ග්‍රාමසේවා වසමේ පවුරක් මෙන් ගම වට කර ගෙන පිහිටි ගනේකන්ද, ගොඩවෙල වත්ත කන්ද, එළුවාගල කන්ද ගම් පියස වඩ වඩාත් සුන්දරත්වය දනවයි. ගම මැදින් දී ඇල්ල ඔය ගලා බසින්නේ අවට කෙත් වතු සරු සාර කරමිනි. කොළඹ නුවර මාර්ගයේ‍ හොරගස්මංකඩ හන්දියෙන් දකුණට හැරී කිලෝමීටරයක් ගිය විට මෙම ස්ථානය හමුවේ. ඇතැම් විට මෙම කදු මුදුනට පිවිසි ඔබට සමනල කන්ද හා ශ්‍රී පාදය දිස්වෙයි. මනහර කෙත් යායකින් වට වූ බිම් කොටසක ගමේ කෙත් අරම පිහිටිමත් එහි ඝණ්ඨාර නාදයත් කාගෙත් මනසට පහන් හැඟිමක් ඇති කරයි.

එහෙත් අවාසනාවකට එළුවාගල කන්ද පාමුල විදුලිය නැතිව ගෙවල් සමූහයක් බැද්දට තනි වී තිබිණි. එම ගෙවල් වැසියෝ විදුලිය ලබා ගැනීමට කොතෙක් වෙර දැරුවද ගමේ හයි හත්තිය තිබෙන උදවිය තම ඉඩම්වලින් විදුලි රැහැන් ඇදීමට ඉඩ නොදුන්හ. කෙසේ හෝ මේ කර්තව්‍යය ඉටුකර දීමට දැනට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඇස්.ඩබ් සෝමසිරි විජේසිංහ මහතා ඉදිරිපත් විය. මොහු සබරගමුව පළාත් සභා පශුසම්පත් හා ග්‍රාමීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අධිනීතිඥ එච්.ආර්. මිත්‍රපාල මහතාට මේ පිළිබඳ දැනුම්වත් කර රජයේ විමද්‍යගත අරමුදලින් විදුලිය ලබා දී කාගේත් නෙත් අවදි කරවීය.

දිනෙක එළුවාගල මුදුනේ දැවැන්ත බුද්ධ ප්‍රතිමාවහන්සේ නමක් නෙළා පුදබිමක් කරන්නට ද ඇස්.ඩබ්.සෝමසිරි විජේසිංහ මහතා ගේ අපේක්ෂාව විය. ඒ පිළිබඳ යෝජනාව දහම් පාසල් සංවර්ධන සමිති රැස්වී‍මේදී ඉදිරිපත් කළේය. දහම් පාසලේ ප්‍රධානාචාර්ය අමරපුර ශ්‍රී ධම්මාරාම සද්ධම්මයුක්තික පාර්ශ්වයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය ඕගොඩපොළ මහින්ද හිමිපාණන් මේ පිළිබඳ තම දැඩි අවධානය යොමු කළහ. දරුවන්ට ද එය තේරුම් කර දී යෝජනා ස්ථිර කරගෙන එළුවාගල පුදබිමක් කිරීමට සි‍යල්ලෝම තරයේ අදිටන් කරගත්හ.

පා ගමනින් හෝ යාමට මාර්ගයක් නොමැති ගල් සහිත වන රොද පසුකර එම කඳු මුදුන පුදබිමක් කිරීම සුළුපටු කාර්යයක් නොවූවත්. ගමේ කවුරුත් පාහේ මේ කටයුත්තට කැමැත්ත පල කොට ගල මුදුන අවට ඉඩකඩම් පාරවල් පමණක් නොව මුදල් පවා ලබා දීමට කැමැත්ත පළ කළහ. කඩිනමින් මෙහි අහවරක් දැකීම කාගේත් අභිලාසය වූයෙන් පොසොන් කලාපය එළුවාගල අශ්‍රිතව පැවැත්වීමට දහම් පා‍සල් ඇදුරු මඩුල්ල හා සිසු සිසුවියන් තීරණය කළහ.

මෙම කඳු මුදුනට නැඟීමට ලී පඩි පෙළ සකසා බුදු සිරිතේ හා ජාතක පොත්වහන්සේ ඇතුළත් කතා ආශ්‍රිත යන්ත්‍රානු සාරයෙන් ක්‍රියාකරවන දර්ශනීය නිර්මාණ සකස් කරන ලදී. දින පහක් තිස්සේ මෙම ස්ථානයට පැමිණි දහස් ගණන් ජනතාව වෙනුවෙන් දන්සැල්ද පැවැත්වීය. පොසොන් කලාපය නැරඹීමට පැමිණි ජනතාවගේ ආධාර උපකාර ද ලැබිණි.

එළුවාගල මුදුනේ ආරක්ෂිත වැටක්ද ඉදිකර තිබේ. මෙම ස්ථානය සංවර්ධනයට නොයෙක් ප්‍රදේශවලින් හා ගමේ කාගේත් සහයෝගය සහ ශ්‍රම දායකත්වය ද ලැබේ. විවිධ ආයතනවලින් මේ සඳහා අමුද්‍රව්‍ය ලබා දෙන මුත් අංග සම්පූර්ණ පුදබිමක් කරවීමට විශාල බරපැනක් අවශ්‍ය වේ.

කලින් කලට මේ අවට ගස් කපා විනාශ කිරීම නිසා මේ ගම අවට ජල සම්පත අද අඩුවෙමින් පවතී. නායක හිමියන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් නා පැළ, නුග පැළ, කොහොඹ පැළ , විවිධ මල් වර්ග හා වෙනත් ගස් වර්ග දැනටමත් මෙහි රෝපණය කර ඇත. එදා අමාරුවෙන් ගිය බැතිමතුන්ට අද ලෙහෙසියෙන්ම නැගීමට පඩි පෙළ බැඳ තිබේ. ඉදිරියේදී යෝගා ශ්‍රම භික්ෂූන් වහන්සේලා වැඩ සිටින භාවනා කුටි ඉදි කිරීම නායක ස්වාමින් වහන්සේගේ අපේක්ෂාවයි. විශාල වියදමක් දරා විදුලියද මෙම ස්ථානයට ලබා ගෙන ඇත. බුදු පිළිම, චෛත්‍ය, විහාර මන්දිර ආදී විහාරංග රැසක් තවම ඉදිවෙමින් පවති.

මෙම පෙදෙසේ වඳුරන්, රිලවුන්, ඌරන්, වැලිමුවන්, හාවන්, වළි කුකුළන් ඇතුළු නොයෙක් සතුන් සැරිසරති. ගිරා සැළලිහිණිය, කහ කුරුල්ලන් ආදී නොයෙක් පක්ෂීන් සමූහ එහෙ මෙහෙ ඉගිලෙති. මේ සුන්දර පරිසරය පසුකරමින් කදු මුදුනට යන විට සිරිපා ලාංඡන ආකෘතිය දැක ගත හැකිය. එසේම දේව මන්දිරය, ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයකින්ම ලබාගත් බෝධින් වහන්සේ ,සොළොස් මහේ පහණ, හිටි පිළිම වහන්සේ එළු අඩිය යන අංග දැක බලා ගත හැකිය.

සටහන ධර්මසිරි දයාරත්න

ඡායාරූප සුරාජ් රණසිංහ


නව අදහස දක්වන්න

Or log in with...