නියං සහන දෙන්න මිලියන 83ක් | දිනමිණ

නියං සහන දෙන්න මිලියන 83ක්

උපාලි කරුණාරත්න

පවතින නියං තත්ත්වය නිසා පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා රජය දැඩි කැපවීමෙන් ක්‍රියා කරන බවත් වියලි කාලගුණ තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට ජලය සහ අනෙකුක් පහසුකම් ලබාදීම සඳහා වෙන් කර තිබෙන මුදල් වලට අමතරව තවත් රුපියල් මිලියන විසි පහක මුදලක් පසුගියදා මහා භාණ්ඩාගාරයෙන් ලබා ගත් බවත් වාරි මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

මේ වන විට වියලි කාලගුණය නිසා පීඩා විදින දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා රුපියල් මිලියන 58කට වැඩි මුදලක් වැයකර තිබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (11) සිය අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

පොළොන්නරුව, අම්පාර, අනුරාධපුරය, මන්නාරම, යාපනය, වව්නියාව, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, මුලතිව්, කරුණෑගල, මොනරාගල, මඩකලපුව, හම්බන්තොට, පුත්තලම, මාතලේ , කැගල්ල, කලුතර දිස්ත්‍රික්ක වල ජනතාව පවතින වියලි කාලගුණ තත්ත්වයෙන් පිඩා විදිති.මොනරාගල, මඩකලපුව, හම්බන්තොට, පුත්තලම, මාතලේ, කෑගල්ල, කළුතර

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා-රටේ දිස්ත්‍රික්ක 17ක පවතින වියලි තත්ත්වය පිළිබඳව අදාළ බලධාරීන් අවධානය යොමු නොකරන බවට ඇතැම් පුද්ගලයින් චෝදනා කරනවා. මාධ්‍යයන් විවිධ දේ ප්‍රකාශ කරනවා. මේ අනුව වියලි කාලගුණය නිසා ආපදාවට ලක් වී ඇති ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ගණන 104ක්. පවුල් සංඛ්‍යාව 248519ක්. පුද්ගල සංඛ්‍යාව 890001ක් වනවා. 2016, 2017 සහ මේ වර්ෂයේ නියං තත්ත්වයන්ට මුහුණ දීමට අපට සිදුවෙලා තිබෙනවා. මේ නිසා කෘෂිකර්මයට බලපෑම් එල්ල වී තිබෙනවා. මේ නිසා ඇතිවන ගැටලු කාරී තත්ත්වයන් විසඳීමට රජයක් ලෙස අප මැදිහත් වී කටයුතු කරනවා. වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළ ජලාශයන්හි ජල මට්ටම 2017 වර්ෂයේ සැප්තැම්බර් 11 දිනය වනවිට පැවතුනේ සියයට විසි හතරක ප්‍රමාණයක්. අද දවසේ සියයට තිස් පහක ජල ප්‍රමාණයත් තිබෙනවා. මේ වසරේ ගිය වසරට වඩා වැඩි ජල ප්‍රමාණයක් ජලාශවල පවතින බව ඒ අනුව පෙනෙනවා.

මේ වන විට ජලය සැපයීමට අවශ්‍ය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 89ක ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා පියවර අරන් තිබෙනවා. ඒ සඳහා මේ වන විට රුපියල් මිලියන 58 කට වැඩි මුදලක් වැය කළා. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවට ජලය ගබඩාකර ගැනීම සඳහා ජල ටැංකි 10512ක් ලබාදී තිබෙනවා. තවත් ජල ටැංකි දෙසීයක් මිලදී ගෙන තිබෙන අතර ඒවායින් අනුරාධපුර දිස්ත්‍රික්කයට ජල ටැංකි සීයක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයට පනහක්, කුරුණෑගල දිස්ත්‍රික්කයට විසිපහක්, මඩකලපුව දිස්ත්‍රික්කයට විසිපහක් ලෙස බෙදා දෙනවා. ජලය බෙදාදීමට බවුසර් රථ 405ක් යොදවා තිබෙනවා. ඒ වගේම ජනතාවට අවශ කරන පහසුකම් ලබාදීමට දිගටම කටයුතු කරනවා.

පසුගිය කාලයේ ඇති වූ නියං තත්ත්වයේදී කෘෂිකර්මාන්තය කර ගැනීම නොහැකිව වගාවන් පාලු වූ ගොවි පවුල් 283911ක් සඳහා රුපියල් පන්දහස බැගින් වියළි සළාක සහනාධාරය ලබාදීමට රුපියල් මිලියන 2104ක් වැය කළා. පවතින වියලි කාලගුණය නිසා උතුරු මැද පළාතේ පවතින වගා ළිං ගුඹුරු කිරීමට, අවශ්‍යතාවය අනුව නළ ළිං ලබාදීමට, වැව්වල ජනතාවගේ සහ සතුන්ගේ අවශ්‍යතා සඳහා තාවකාලික ළිං ඉදිකර දීමට මේ වන විට තීරණය කර තිබෙනවා. මේ කටයුතු සඳහා තවත් රුපියල් මිලියන දෙසීයක අමතර ප්‍රතිපාදන ලබා ගැනීමටද අප කටයුතු කර තිබෙනවා. මියන්මාරයෙන් ලැබූ සහල් මෙට්රික් ටොන් 300 ක ප්‍රමාණය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදා දෙනු ලැබුවා. මෙම මාසය අවසන් වන විට වර්ෂාව ලැබෙයි කියා අප විශ්වාස කරනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්.එම්.එස් ප්‍රේමලාල් මහතා-

මේ අවුරුද්දේ අපට අවශ්‍ය වැසි ප්‍රමාණය ලැබී නැහැ. මේ නිසා බොහෝ ප්‍රදේශ වල නියං තත්ත්වයක් පවතිනවා. මෙම මාසයේ අපට අවශ්‍ය වැසි ප්‍රමාණය බලාපොරොත්තු වන්න බැහැ. ඔක්තෝබර් මාසය හා නොවැම්බර් මාසය කියන්නෙ අන්තර් මෝසම් වර්ෂාපතනය ලැබෙන කාල වකවානුවක්. අදාළ වර්ෂාපතනය ලැබෙයි කියා අප බලාපොරොත්තු වනවා. ඒ පිළිබඳව එල්නිනෝ සංසිද්ධියේ සහ අයි. ඕ.ඩී සංඥාවක් අපට ලැබී තිබෙනවා. එල්නිනෝ සංසිද්ධිය ඇති වන්නෙ පැසිපික් සාගරයේ නැගෙනහිර කොටසේ මුහුදු උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වන විට. එහි බලපෑම ආසියානු රටවලට වර්ෂාපතනය අඩුවීම. ලංකාවට නිරිත දිග මෝසම් කාලයේ වර්ෂාව අඩු වනවා. දෙවන අන්තර් මෝසම් කාලයේ වර්ෂාව වැඩි වෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආපදා කළමණාකරන අංශයේ ප්‍රධාන ඉංජිනේරු සුගීස්වර මහතා-වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ විශාල පරිමාණයේ ජලාශ අසූ දෙකකුත්, මධ්‍ය පරිමාණයේ ජලාශ තුන්සියකට ආසන්න ප්‍රමාණයකුත් තිබෙනවා. මේ වන විට අවසන් වෙමින් යන කන්නයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ වලින් අක්කර පන් ලක්ෂ තිස් දහසකට ආසන් ප්‍රමාණයක් වගා කළා. නියගය නිසා ප්‍රශ්න ඇති වුනත් මේ ප්‍රමාණය හොදින් අප රැක ගත්තා. වාරිමාර්ග ජලාශ වළින් බීමට ජලය ලබා ගන්නවා. බීමට ගන්නා ජලය ලබාදීමට අප ප්‍රමුඛව කටයුතු කරනවා.

ජල සම්පත් මණ්ඩලයේ සභාපති සිඩ්නි රත්නායක මහතා-නියගයට මුහුණ දීමේ කෙටිකාලීන වැඩ පිළිවෙලක් ලෙස ප්‍ර දේශ ගණනාවකින් නළ ළිං හදන්න කියා ඉල්ලීම් කර තිබෙනවා. පුත්තලම 45ක්, කුරුණෑගල 1185ක්, ගම්පහ 10ක්,අනුරාධපුර 1353ක් නළ ලිං සෑදීම සඳහා අප අවධානය යොමුකර මින් සිටිනවා. අප ජලය රැක ගැනීමට, කළමණාකරනයට අවුරුදු දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක්ද සකස් කරගෙන යනවා. ගංගා ද්‍රෝනී තුනක භූගත ජලයේ ගුණාත්මක භාවය පිළිබඳව අප සොයා බලනවා. පානීය ජලය සඳහා ඇති ගැටලුද මෙහිදී විසදිය හැකියි.

නව අදහස දක්වන්න