බෞද්ධ සාහිත්‍ය උළෙල 14 දා BMICH හීදී | දිනමිණ

බෞද්ධ සාහිත්‍ය උළෙල 14 දා BMICH හීදී

උදුලා පීරිස්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහයෝගීත්වයෙන් සංවිධානය කරන බෞද්ධ සාහිත්‍ය උළෙල මේ මස 14 සවස 2.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

12 වන වරටත් සංවිධානය කරන මේ උළෙලේදී 'පාණදුරාවාදයේ ප්‍රතිකථනය' තේමා පාඨය ලෙස නම්කර ඇත.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ඇරයුමෙන් ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහනායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤානරතන මහ නාහිමියන්ගේ මූලාසනයෙන් බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මේ සාහිත්‍ය උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. සංස්කෘත අංග මෙන්ම 2017 ප්‍රකාශයට පත්කළ බෞද්ධ ග්‍රන්ථ,පද්‍ය,සඟරා වැනි සාහිත්‍ය කලා විශිෂ්ඨ නිර්මාණ ඇගයීම සඳහා ඒවා රචනාකල සංස්කරණයට කළ විද්වතුන් වෙත ප්‍රණාම පිරිනැමීමක්ද මෙහිදී සිදු කෙරේ.

ස්වකීය ජීවිතය පුරා බෞද්ධ ශාස්ත්‍රීය,පර්යේෂණ,පරිවර්තන,සංස්කරණ, දේශන,වැනි ක්ෂේත්‍රයන්හි කරන ලද අද්විතීය සේවාව අගයමින් ආචාර්ය එඩ්වින් ආරියදාස විද්වතාණන් මහාචාර්ය ගුණපාල මලලසේකර සම්මානයෙන් පිදුම් ලබන අතර සිය දිවි මගෙහි බොදු සිතුවම් ඉදිරිපත් කිරීමෙන් සිදු කරන ලද අනභිභවනීය මෙහෙවර අගය කරමින් සුනිල් වීරකුමාර සිත්තරාණන් සොයිලියස් මැන්දිස් සම්මානයෙන් පිදුම් ලබනු ඇත.

රටපුරා සියලු කලාවන් මෙන්ම විවිධ ක්ෂේත්‍රයන් සඳහා ඇගයීම් තිළිණ ප්‍රදානයන් පුද සැලකිලි හරසර පැවැත්වූවද බෞද්ධ සාහිත්‍යයට හෝ ඊට දායකවූ ගිහි පැවිදි කිසිවෙකු වෙනුවෙන් සම්මාන ඇගයීම් සිදුකර නොමැතිව තිබූ බැවින්ප්‍රථම වතාවට බෞද්ධ සම්මාන උළෙලක් පැවැත්වූයේ 2007 වසරේදීය. ඒ අනුව බෞද්ධ මහා සම්මේලනයේ එවක සභාපතිත්වය හෙබවූ හා වර්තමාන සභාපති ජගත් සුමතිපාල මහතාගේ සංකල්පයක් මත බෞද්ධ සාහිත්‍ය මහෝත්සවය අඛණ්ඩව වසර 12ක් පුරා පවත්වාගෙන පැමිණ තිබේ.

ඡයාරුපය- සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න