ජොන්ස්ටන්ගේ නඩුව බලන්න ගිය ඒකාබද්ධ මන්ත්‍රීවරු සාක්ෂි කරුවන් ළඟ බලෙන් වාඩිවෙලා | දිනමිණ

ජොන්ස්ටන්ගේ නඩුව බලන්න ගිය ඒකාබද්ධ මන්ත්‍රීවරු සාක්ෂි කරුවන් ළඟ බලෙන් වාඩිවෙලා

ලක් සතොස ආයතනයේ මූල්‍ය වංචා කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගතව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන කුරුණෑගල මහාධිකරණයට ගිය පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15ක පමණ පිරිසක් අධිකරණයේ සාක්ෂිකරුවන් සඳහා වෙන් කොට ඇති ස්ථානයේ වාඩි වී ඇති බව වාර්තා ෙවයි. මෙම මන්ත්‍රීවරුන් අතර සාලින්ද දිසානායක, එස් එම් චන්ද්‍රසේන, ජයරත්න හේරත්, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත් යන ඒකාබද්ධ විපක්ෂයට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.

එක් සාක්ෂිකරුවකු සාක්ෂි ලබා දෙන අතරතුර එම නඩුවේ අනෙකුත් සාක්ෂිකරුවන්ට එකී මුල් සාක්ෂිකරුවාගේ සාක්ෂිය නොඇසෙන පරිදි එක් ස්ථානයක රඳවා තැබේ. එය අධිකරණ ශාලාවෙන් පිටත ස්ථාපනය කොට ඇත. ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට සහය පළ කිරීමට පැමිණි පසුගිය රජයේ ප්‍රබලයන් පිරිසක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ සාක්ෂිකරුවන් අසල වාඩිවී සිටීම මෙම නඩුවේ සාක්ෂිකරුවන් වෙත අයුතු බලපෑමක් කිරීමක් බවත්, ඒ පිළිබඳ පරීක්ෂණයක් කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එකී මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියා කළ යුතු බවත් විචාරකයෝ පවසති.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු සෙසු විත්තිකරුවන් තිදෙනා (සැප් 12) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණය නියෝග කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.


නව අදහස දක්වන්න

Or log in with...