විල්පත්තුව වනෝද්‍යානයෙන් වාර්තාගත ආදායමක් | දිනමිණ

විල්පත්තුව වනෝද්‍යානයෙන් වාර්තාගත ආදායමක්

මානෙල් පුෂ්ප කුමාරි

විල්පත්තුව ජාතික වනෝද්‍යානය එක් කෝටි හැට නව ලක්ෂයක වාර්තාගත ආදායමක් අගෝස්තු මාසයේ සංචාරකයින් පැමිණීමේන් උපයා ගෙන තිබේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා උද්‍යාන ලැබූ ඉහළම ආදායම මෙය බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා ප්‍රකාශ කෙළේ ය.

මෙම වාර්තා ගත ආදායම ලබා ගැනීමට හැකිව ඇත්තේ උද්‍යානය නැරඹීමට පැමිණි දේශීය සංචාරකයින් 8000 කට ආසන්න පිරිසකට සහ විදේශීය සංචාරකයින් 4500 කට ආසන්න පිරිසකට අලෙවි කළ ප්‍රවේශ පත්‍ර මඟින් බව ඒ මහතා පැවසීය.

දශක කීපයක් එල්.ටී.ටී.ඊ තර්ජන හේතුවෙන් වසා තිබූ මෙම උද්‍යානය නැවත විවෘත කිරිමත් සමඟ සංචාරකයින් මේ ආකර්ශනීය භුමිය නැරඹිමට පැමිණීම වැඩිවී තිබේ.

දිස්ත්‍රික්ක තුනකට මායිම්ව පිහිටි විල්පත්තුව ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම වනෝද්‍යානයයි. විල්ලු සහ කරදිය මිශ්‍ර ජලය ඇති වැව් රැසකින් සමන්විත විල්පත්තුව වඩාත් ජනප්‍රිය වී ඇත්තේ අලංකාර දිවියන් දැක ගත හැකි උද්‍යානයක් ලෙසයි.

එසේම අලි ඇතුන්, මුවන්, ගෝනුන් ඇතුළු වන සතුන්, උරඟ විශේෂ, සමනලුන් විශේෂ ඇතුළු සතුන් විශාල ප්‍රමාණයකින් පෝෂීත භුමියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

එසේම දෙස් විදෙස් සංචාරකයින් ආකර්ශනයට ලක් කරන සංචාරක බංගලා ද විල්පත්තුවේ අගය තවත් වැඩි කැර තිබේ.

මුහුදු මට්ටමේ සිට සාමන්‍ය මිටර 15.2 ක් පමණ ඉහළින් පිහිටි මෙම ජාතික උද්‍යානයේ උතුරු ප්‍රදේශයට මායිම් ව මල්වතු ඔය හා මෝදගම් ආරු ද දකුණට මායිම්ව කලාඔය ද පිහිටා තිබිම උද්‍යානයේ අලංකාරය වැඩි කිරීමට හේතු වී ඇති බවත් හෙතෙම කීය.


නව අදහස දක්වන්න