රවීන්ද්‍ර විජේගුණරත්න ගියේ මෙක්සිකෝ ආරක්ෂක ඇමැතිගේ ආරාධනයකට | දිනමිණ

රවීන්ද්‍ර විජේගුණරත්න ගියේ මෙක්සිකෝ ආරක්ෂක ඇමැතිගේ ආරාධනයකට

ස්වර්ණා විජේකෝන්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙක්සිකෝව බලා පිටත්ව ගොස් ඇත්තේ එරට ආරක්ෂක ඇමැතිවරයාගෙන් ලද ආරාධනයකට අනුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි.

මෙක්සිකෝවේ පැවැත්වෙන උත්සවයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී සිටින රවින්ද්‍ර විජේගුණරත්න මහතාට කිසිඳු හේතුවකට පළා යාමේ අවශ්‍යතාවක් නොමැති බවත් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් සිදුකර ඇති ඒ මහතා විරෝදාර රණවිරුවකු බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධයෙන් මේ දිනවල විවිධ මාධ්‍ය වාර්තා පළවන බවත් එම මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් නොමැති බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

රට වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ රණවිරුවන් ප්‍රශ්න හමුවේ පළා නොයන බවත් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පිළිබඳව තමන් පෞද්ගලික මට්ටමෙන් පවා දන්නා බවද මහින්ද සමරසිංහ මහතා සඳහන් කෙළේය.

කවර හෝ කරුණක් සම්බන්ධයෙන් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගෙන් ප්‍රශ්න කිරිමේ අවශ්‍යතාවක් වේ නම් ඒ මහතා මෙක්සිකෝවේ සිට නැවත පැමිණිමෙන් පසුව සිදුකළ හැකි බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී ඊයේ (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.


නව අදහස දක්වන්න

Or log in with...