සේනක බිබිලේ ප්‍රතිපත්තියෙන් මැරෙන්න සිටි රෝගීන්ට ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා | දිනමිණ

සේනක බිබිලේ ප්‍රතිපත්තියෙන් මැරෙන්න සිටි රෝගීන්ට ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා

සන්ධ්‍යා කරුණාරත්න

මැරෙන්න සිටි රෝගීන්ට ජීවත් වීමට අවස්ථාව ලැබී තිබෙන්නේත්, අන්ධ වෙන්න සිටි පුද්ගලයන්ට පෙනීම ලැබී තිබෙන්නේත් මහාචාර්ය සේනක බිබිලේ මහතා බිහි කළ ඖෂධ ප්‍රතිපත්තිය වත්මන් ආණ්ඩුව මඟින් ක්‍රියාවට නැංවීම නිසා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර රෝහල්වලට හය දෙනෙක් ඇතුළත් වූයේ නම් ඔවුන්ගෙන් පස් දෙනෙක් ඖෂධ නැතිකම නිසා මරණයට පත් වන බවත් අද ඒ තත්ත්වය වෙනස් වී හය දෙනෙක් රෝහලට ඇතුළත් වන්නේ නම් ඉන් පස් දෙනකුට සුවපත් බව ලැබෙන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

මහාචාර්ය සේනක බිබිලේ සමරු උළෙලට සහභාගි වෙමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි ඇමැතිවරයා මේ බව පෙරේදා (10) ප්‍රකාශ කළේය. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර ඇමැතිවරයා අතින් දැක්වීම ද මෙහිදී සිදුකෙරිණ. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් මේ උළෙල සංවිධානය කර තිබිණ.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසර සිසුවකු ලෙස ඉගෙනුම ලබන කාලයේ සිට මට මහාචාර්ය සේනක බිබිලේ මහතා මතකයි. ඒ කාලයේ ඖෂධවේදය සම්බන්ධයෙන් අපට ඉගැන්වීමට කොළඹ සිට එතුමා දින දෙකක් අපේ විශ්වවිද්‍යාලයට පැමිණෙනවා. ඔහු ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක්. ඒ කාලයේ ඩිස්ප්‍රීන් පෙත්තක් ශත 12 ක් වුණා. ඇස්ප්‍රීන් පෙත්ත ශත 2 යි. ඖෂධවල පවතින මේ වෙනස නිසා ඖෂධ ප්‍රතිපත්තියක් අවශ්‍යයයි කියන මතයේ ඔහු සිටියා. මහාචාර්ය සේනක බිබිලේ මහතා කුමන බාධක මධ්‍යයේ වුවත් ඖෂධ ප්‍රතිපත්තියක් සෑදුවා. එහි කරුණු තුනක් අඩංගුයි. අත්‍යවශ්‍ය ඖෂධවල මිල නියාමනය, ඖෂධ ආනයනය හා බෙදා හැරීම‍, රටට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම යනාදි කරුණු තුන මෙම ඖෂධ ප්‍රතිපත්තියෙහි අඩංගු වුණා. බිබිලේ මහතාට ක්‍රියාවට නැංවීමට හැකි වු‍ණේ ඖෂධ ආනයනය කිරීම හා බෙදා හැරීම පමණයි. අනෙක් කාරණා ක්‍රියාවට නැංවීමට සූදානම් වන විටදි එතුමාට විශාල බලපෑම් ආවා. එදා මෙදා තුර කාලය තුළදී සෞඛ්‍ය ඇමැතිවරුන් ගණනාවක් පත් වුණා. මේ ප්‍රතිපත්තිය ගැන ඇමැතිවරුන් කතා කළත්, සේනක බිබිලේ මහතාගේ ගුණ සැමරුම කළත් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුටත් බැරි වුණා. වසර 45 ක් තිස්සේ මේ ප්‍රතිපත්තිය ගැන කතා කළා විතරයි. ඇතැම් සෞඛ්‍ය ඇමැතිවරුන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් එය කරන්නට දුන්නේ නැහැ. තවත් අවුරුදු දහයක් මේ ප්‍රතිපත්තිය ගැන කතා කරමින් සිටියා නම් මෙය නැත්තටම නැති වෙනවා. මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනිද්දි මටත් බාධා ගණනාවක් ආවා. ඒවා හමුවේ මම සැලුණේ නැහැ. කවුරු මොනවා කීවත් ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට මම තීරණය කළා. ඒ අනුව තමයි අද ඖෂධ මිල පාලනය කර තිබෙන්නේ. ඒ වගේම ඖෂධ නිෂ්පාදනයට කර්මාන්ත ශාලා කිහිපයක් ආරම්භ කළේ. මේවා ක්‍රියාත්මක කරන කොට තමයි අපට තේරෙන්නේ සේනක බිබිලේ ප්‍රතිපත්තිය කොතරම් ශක්තිමත් ද කියලා.

මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තියට අනුව මේ වන විට ඖෂධ වර්ග 73 ක මිල අඩු කර තිබෙනවා. ඖෂධවල මිල අඩු කිරීම නිසා රජයට රුපියල් බිලියන 2.2 ක ලාභයක් ලැබී තිබෙනවා. ජනතාවට රුපියල් බිලියන 4.4 ක ලාභයක් ලැබී තිබෙනවා. අද වන විට රෝගීන්ට හොඳම බෙහෙත් අඩු මිලට ලබා ගන්න පුළුවන් වාතාවරණයක් වෙළඳපොළ තුළ නිර්මාණය කර තිබෙනවා. රජයේ රෝහල්වල ඖෂධ හිඟ දැන් වාර්තා වෙන්නේ නැහැ. අපේ රජයෙන් කරන සුබසාධන වැඩ සම්බන්ධයෙන් මාධ්‍යයේ පළවන්නේ නැහැ. අපි පසේ බුදුවරු වගේ. ධර්මය හදාරනවා නමුත් දේශනා කරන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ ආණ්ඩුවෙන් ජනතාවට සෙත සලසනවා. නමුත් ඒවාට ප්‍රසිද්ධියක් නැහැ. අක්ෂි කාච, ස්ටෙන්ස් නොමිලේ ලබාදෙන නිසා රෝහල්වල පෝලිම වැඩියි. සෞඛ්‍ය සේවාව යහපත් අතට ගමන් කරන නිසා වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවා පාර්ලිමේන්තුවේදි අපට හොඳ කීවා. අපි ආණ්ඩුව ලබා ගන්නා විට පිළිකා රෝගීන්ට ඖෂධ ලබා දුන්නේ රුපියල් ලක්ෂ 15 ක් වෙනකම් විතරයි. නමුත් දැන් එය ඔවුන්ගේ මරණය සිදු වන තෙක් ඖෂධ ලබා දෙනවා. ඇතැම් අවස්ථාවලදී එක් රෝගියකුට රුපියල් ලක්ෂ 450 ක් වෙනකන් ප්‍රතිකාර ලබා දී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය ධනපතිවාදි කියලා කියනවා. ධනපතිවාදි වුණත් අපි ජනතාවගේ සුබසාධන කටයුතුවලට ඉහළ වටිනාකමක් අපි ලබා දී තිබෙනවා. උත්තරීතර පක්ෂ මේ ලෝකයේ කොහේවත් නැහැ. ලක්ෂ වාරයක් සටන් පාඨ කීවත් වැඩ පෙන්වන්නේ නැත්නම් වැඩක් නැහැ. මේ පුංචි රටෙන් යුග පුරුෂයෙක් බිහි වුණා. සේනක බිබිලේ මහතා කියන යුග පුරුෂයා අතින් බිහි වූ ඖෂධ ප්‍රතිපත්තිය අමෙරිකාව, බ්‍රිතාන්‍ය රටවල පවා ක්‍රියාත්මක කරනවා.

40 වැනි මෙම ගුණ සමරු උළෙලෙහි ප්‍රධාන දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශල්‍ය විශේෂඥ වෛද්‍ය බවන්ත ගමගේ මහතා සිදු කළේය.

මෙහිදී විශ්වවිද්‍යාල 04 ක ඖෂධවේදය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිවු දෙනකුට සේනක බිබිලේ ශිෂ්‍යත්වය පිරිනැමීම ද, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වසර 20, 25 සහ 30 ඉක්මවා සේවය කරන සේවක සේවිකාවන් අගයා මුදල් සහ රන් පවුම් පිරිනැමීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරිණ. ඖෂධ මිල අඩු කරමින් ජනතාවට සෙත සැලසීම අගය කරමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු තිළිණයක් ද පිරිනැමීම සිදු කෙරිණ.

මේ අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසල් කාසිම්, හිටපු ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති නිතිඥ සරත් ලියනගේ, කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මොහොමඩ් රූමි, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහත්වරු ද, මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පවුලේ උදවිය ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප - හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න

Or log in with...