දික්ඕවිට මුහුදු තීරය ආරක්ෂා කිරීමට සියලු විධිවිධාන | දිනමිණ

දික්ඕවිට මුහුදු තීරය ආරක්ෂා කිරීමට සියලු විධිවිධාන

වත්තල, දික්ඕවිට මුහුදේ සිදු වූ තෙල් කාන්දු වීම නතර කොට අදාළ තෙල් නැව තාවකාලිකව මුහුදෙන් ඔබ්බට යැවීමට කටයුතු කර තිබෙන අතර,මේ වන විට පරිසර අමාත්‍යංශයේ නිලධාරීන්,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් මෙන්ම නාවික හමුදාවේ නිලධාරීන් එක්ව වෙරළ තීරය යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුමක නිරතව සිටින්නේයැයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

වත්තල, දික්ඕවිට මුහුදේ සිදු වූ තෙල් කාන්දුව හේතුවෙන් එම වෙරළ තීරයට ඇති වූ හානිය පිළිබඳ සොයා බැලීම සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පෙරේදා (10) පස්වරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී තෙල් මුහුදු ජලයට මුසු වීම හේතුවෙන් මුහුදු ජීවීන්ට මෙන්ම ජලජ ශාක වලට සිදු විය හැකි හානිදායක තත්ත්වයන් පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට ලක් විය.මේ අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක් වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මෙහෙයවීමෙන් මේ වන විටත් එම වෙරළ තීරයට හා මුහුදු ජලයට තවදුරටත් සිදු වන හානිය අවම කර එය වළක්වා ගැනීමට කඩිනමින් අවශ්‍ය පියවර ගෙන ඇත.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා වෙරළේ සිදු කළ සංචාරයෙන් අනතුරුව සිදුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් පැවැසුවේ

ශ්‍රී ලංකාවට තෙල් ලබා ගැනීමට ගිය අවස්ථාවකයි මෙම තෙල් කාන්දුව සිදු වෙලා තියෙන්නේ.මේ නිසා තෙල් කාන්දුව සිදු වූ මොහොතේ සිට එම තෙල් වෙරළට ගලා ඒමට පෙර එය මැඩ පවත්වා ගැනීමට ලොකු උත්සාහයක නිරත වුණා.නමුත් එය වළක්වා ගැනීමට තිබුණු ශක්තිය අවම වීම හේතුවෙන් එම තෙල් වෙරළ තීරයට එකතු වුණා.මෙය සාමාන්‍ය කාන්දුවක් වුණාට යම් හානියක් තිබෙනවා.එම නිසා ඒ හානිය අවම කර ගැනීම සඳහා පරිසර අමාත්‍යංශය යටතේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් පරිශ්‍රමයක් යොදමින් සිටිනවා.මේ අනුව තෙල් කාන්දු වීම නතර කොට අදාළ තෙල් නැව තාවකාලිකව මුහුදෙන් ඔබ්බට යැවීමට කටයුතු කර තිබෙනවා.මේ වන විට පරිසර අමාත්‍යංශයේ නිලධාරීන්,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් මෙන්ම නාවික හමුදාවේ නිලධාරීන් එක්ව වෙරළ තීරය යථා තත්වයට පත් කිරීමේ මෙහෙයුමක නිරතව සිටිනවා.කෙසේ වෙතත් හෙට දිනය වන විට නැවතත් පිරිසිදු මුහුදු වෙරළ තීරය යළි ගොඩ නැගීමට හැකි වෙතැයි අපි විශ්වාස කරනවා.එමෙන්ම මෙයට දීර්ඝ කාලීන විසඳුමක් වශයෙන් මේ වනවිටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත් ස්පාඤ්ඤ රජයත් අතර සාකච්ඡා වී තිබෙනවා බ්ලූ ෆ්ලෑග්( BLUE FALG )නමින් පිරිසිදු වෙරළ තීරයන් 14 ක් අලුතින් රට තුල ස්ථාපිත කරන්න.ඒ සම්බන්ධයෙන් මේ වෙද්දී තවදුරටත් සාකච්ඡා සාර්ථක වී තිබෙනවා. ඒ හරහා ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ නැවකට සමාන යාත්‍රාවක් ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ අපට ලැබීමට නියමිතයි.

මේ අනුව නැවත මෙවැනි තත්වයක් ඇති වූ අවස්ථාවකදී වෙරළ තීරය සහ මුහුදු ජලය කඩිනමින් පිරිසිදු කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා.එමෙන්ම මෙරට සංචාරක ව්‍යාපාරයටත් එය ඉතාමත් ඉවහල් වෙනවා.මේ නිසා ස්පාඤ්ඤ රජයේ සහයෝගය මත අපට තව වසරක් ඇතුළත අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත ඒ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකි වනවා.වෙරළ මතුපිටින් පමණක් නොව මුහුදු පතුලට ගොස් නිරීක්ෂණය කළහොත් ප්ලාස්ටික් සහ පොලිතින් වැනි අපද්‍රව්‍ය තිබෙනවා.ඒ නිසා අපි එම අපද්‍රව්‍යත් පිරිසිදු කරන්න කටයුතු කරනවා.

ටොන් දෙකක පමණ තෙල් ප්‍රමාණයක් තමයි මුහුදට කාන්දු වෙලා තියෙන්නේ.එය මුහුද තුළ විසිරිලා තිබෙනවා.මෙම කාලය මුහුදේ අධික රළ සහිත කාලයක් නිසා මුහුදේ පාවෙමින් තිබෙන තෙල් තට්ටු එක් රොක් වී වෙරළට ගොඩ ගැසී තිබෙනවා.මේ අනුව මතුපිට තිබෙන එම තෙල් තට්ටුව ඉවත් කර ගත්තාට පසුව මුහුදු ජීවීන්ට සිදු වන හානිය අවම වනවා.නමුත් මේ හරහා මුහුදු ජීවීන්ට හානියක් වෙලා නැහැ කියලා කිවූවොත් ඒක බොරුවක්.කෙසේ නමුත් එලෙස සිදු වී තිබෙන හානිය අවම කර ගැනීමට තමයි අපි සියලු දෙනාම දිවා රෑ නොබලා ඒ සියලු ආයතන එක්ව එකා වගේ කටයුතු කරන්නේ.ඇත්තටම වර්තමානයේ වුණත් මෙලෙස නැවක හෝ වේවා වෙනත් ආකාරයකින් තෙල් මුහුදට කාන්දු නොවුණද? ප්ලාස්ටික් හේතුවෙන් ලෝකයේ දවසකට මුහුදු ජීවීන් ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් මුහුද තුළදීම මිය යනවා.මේ අනුව ඒවා අවම කර ගැනීම සඳහායි අප දීර්ඝ කාලීන සැළසුම් දියත් කරමින් යන්නේ.

 

නව අදහස දක්වන්න