නැතිබැරිකමට කොළ එළියක් දෙන සමෘද්ධිය | දිනමිණ

නැතිබැරිකමට කොළ එළියක් දෙන සමෘද්ධිය

(සුරක්ෂිත ශ්‍රී ලංකාවක් - සවිමත් ප්‍රජාවක් වෙනුවෙන් සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය මේ දිනවලදී දිවයින පුරා ක්‍රියාත්මකය. මේ ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.)

ජනතාව දියුණු විය යුත්තේ තම ශක්තියෙන්මය. වෙනත් අයෙකුගේ අනුකම්පාවෙන් හෝ පිහිටෙන් නොවේ. මේ කියමන සනාථ වෙන ආකාරය තවත් වරක් අපි “සමෘද්ධි වැඩසටහනෙන් නැඟුණු ජන දිවියෙන් දුටිමු.

පෙරට යාමට අවශ්‍ය ශක්තිය ධෛර්ය මේ ජනතාව සතුව තිබුණි. නොතිබුණේ ඒ ශක්තිය මතු කිරීමට අවශ්‍ය මඟ පෙන්වීමක් පමණි. දයාව, කරුණාව, මෛත්‍රීය පිරුණු උතුම් දර්ශනයක් සහිත යහපත් මඟපෙන්වීමක් සමෘද්ධියෙන් ජනතාවට ලැබුණි. දිළිඳු ජනතාව කිසිදු නිර්මාණශීලී හැකියාවක් නැති, වගකීමක් දැරීමට නොහැකි කුසීත පිරිසක් ලෙස සැලකූ යුගය දැන් හමාර වී ගොසිනි.

දිළිඳුකම කරුමයක් හෝ පව් පින් ලෙස සැලකූ ආකල්පවල එල්බ සිටි ඇත්තන් උත්සාහය, ස්වශක්තිය, ධෛර්ය, සහභාගිත්වය මත වෙනස් විය හැකි නව මානයකට සමෘද්ධියෙන් දැන් දිසාගත කොට ඇත.

“සමෘද්ධි” යනු සශ්‍රීකත්වයයි. ඉසුරුමත් බවයි. අඩුවක් නොමැතිකමයි. පරිපූර්ණත්වයයි. සමෘද්ධි වැඩසටහනින් බලාපොරොත්තු වන්නේ ඉසුරුමත් සමාජයක් ගොඩනැඟීමයි. මිනිසුන්ගේ සීමිත සම්පත් පුළුල් ආශාවන් අතර පරස්පරභාවයක් ගොඩනැඟීම සමෘද්ධිමත් සමාජයක් බිහිකිරීමට බාධාවක්ව තිබුණි. අඩු ආදායම්ලාභීන් සේම ඔවුන් ජීවත්වන පරිසරයේ විභව ශක්තීන් හඳුනාගෙන ඒවා සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය භාවිතා කර, වර්ධනය කරමින් සඵලදායීව, කාර්යක්ෂම, දුගී හිතවාදීව, තිරසාරව, සවිබලගන්වා දිළිඳු ජනතාව දිළිඳුකමෙන් එතෙර කරවීම සමෘද්ධියේ වෑයමයි.

ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමෙහිලා දිළිඳුබව තුරන් කිරීමෙන්, සමාජ සාධාරණත්වය සහතික කිරීමේ ජාතික ප්‍රතිපත්තිය බලාත්මක කරමින් පුද්ගලයා පවුල හා කණ්ඩායම් කේන්ද්‍රගතව සවිබලගැන්වූ ප්‍රජාවක් බිහිකරලීම උදෙසා “සමෘද්ධි” වැඩසටහන දැන් නව මුහුණුවරකින් ගම් දනව්හි ප්‍රචලිතව ඇත.

සමෘද්ධි සහනාධාරය නැතිබැරි ජන ජීවිත නංවාලූවේය. සහනාධාර බෙදාදීමෙන් නොනැවතුණු සමෘද්ධිය ප්‍රතිලාභීන්ගේ ජීවිතවලට ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි නැවුම් ප්‍රවේශයක් ද ගෙන දුන්නේය.

මෙ‍තෙක් රටපුරා බෙදාහරින ලද විවිධ අංශවලට අයත් ආධාර, සේවාවන් හා වෙනත් දීමනා සියල්ල නිසි පරිදි සුදුසු අයට ලැබුණේ ද යන්නත් ඒවා පැහැදිලි ලෙසම ගමට ගියේ ද යන්නත් විමසිය යුතු කරුණකි. එසේ ගියත් එහි සහන ලැබුණේ යමක් කමක් කළහැකි පිරිසක් අතටය. මේ තත්ත්වය සැමදා මෙලෙස පැවතිය හැකි වන්නේ ද? මේ සහන සේවාවන් නැතහොත් අපේ රටේ මේ ජාතික ධනය, යමක් කමක් කළ හැකි, ඇති හැකි අයට නොව සෑම අඩු ආදායම්ලාභියෙකු වෙත පොදුවේ ලැබිය යුතුය. පවතින අභියෝගයන්ට මුහුණදීමට කල්තියා සැලසුම් කළ ජාතික මට්ටමේ වැඩපිළිවෙළක්, හිඩැසක් නොමැතිව දැන් සමෘද්ධි වැඩසටහනෙන් ක්‍රියාත්මකය.

රටක සමෘද්ධියක් ඇතිවෙනවා කියන්නේ සෑම පවුලක්ම සතුටින් හා පිළිවෙළකට ජීවත්වීමයි. මේ සඳහා අපට ඇති බාධකය වන්නේ දිළිඳුකමයි. රැකියා නැතිකමයි. ණය ගැතිභාවයයි. සමාජ අසාධාරණයයි. ප්‍රමාණවත් අධ්‍යාපනික හා සෞඛ්‍ය පහසුකම් නොමැතිකමයි. ගම්බද පළාත්වල පොදු සංවර්ධනයට යෙදෙන මුදල් අපතේ යාමයි. කාන්තාවන්ට ඇති නොසැලකිල්ලයි. මේ තත්ත්වයන් ක්‍රමයෙන් නැති කරමින් එක් එක් පවුල සමෘද්ධි වැඩසටහන් තුළින් ඉහළ ජීවන මට්ටමකට ගෙන ඒමට සමාජ සවිබල ගැන්වීම් ඇමැතිවරයා දැන් මැදිහත්ව කටයුතු කරයි.

දිළිඳුකම පිටුදැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට මනා අත්දැකීමක් ගෙන දුන්නේ ‘ජනසවියයි’ ‘ජනසවිය’ වැඩසටහනෙන් සමෘද්ධි ව්‍යාපාරය ඔපවැටුණි. සෑම පවුලක්ම සතු සම්පත්, හැකියාවන් හා උගත්කම සැලකිල්ලට ගෙන ඒ ඒ පවුල්වලට සුදුසු වැඩපිළිවෙළ ජනගතව ඇත. ඔබ ගැන සහ ඔබගේ හැකියා ගැන දැඩි විශ්වාසයකින් යුතුව සමෘද්ධි වැඩසටහන් දැන් ගම්දනව්හි ක්‍රියාත්මකය.

අපේ රටේ ආර්ථික මෙන්ම සංස්කෘතිය අනුව ද ‘පවුල’ යන ඒකකයට ලැබෙන්නේ ඉතා වැදගත් ස්ථානයකි. එම පවුල් ඒකකය අමතක කොට, එහි සංවර්ධනය අමතක කොට මෙවැනි සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි වන්නේය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2006 වසරේ මෙරට දුප්පත් ජනගහනය සමස්ත ප්‍රජාව අතුරින් සියයට 15.2කි. එය 2016 වසර අවසන් වන විට සියයට 4.1කි.

සමෘද්ධි වැඩසටහන වසර 23ක් පැවතුණත් එමඟින් අපේක්ෂා කළ සමාජ, ආර්ථික දියුණුව අපට ළඟා කරගත නොහැකිව ඇත. මේ නිසාවෙන්ම සමෘද්ධි වැඩසටහනේ ප්‍රතිසංස්කරණය කළයුතු තැන් රාශියක් ඇති බව ඇමැති පී. හැරිසන් මහතා තදින් අවබෝධ කොට ගෙන ඇත.

ක්ෂුද්‍ර මූල ණය වෙනුවට මධ්‍ය පරිමාණ ණය වැඩසටහන් ක්‍රියාවට නැංවීම ඇමැතිවරයාගේ නියමයෙන් දැන් සිදුවෙයි. සමෘද්ධි බැංකුව ඒ සඳහා සීරුවෙන් සිටී. කුඩා ව්‍යවසායකයන් වෙනුවට සමාගම් මූලාරම්භයක් ගමෙන් බිහි කිරීම සමෘද්ධියේ අපේක්ෂාවයි.

සමෘද්ධි නිලධාරියා සහනාධාර ලබාදෙන්නෙක් හෝ උපදෙස් දෙන්නන් වෙනුවට ප්‍රජා මූල නායකයන්ගේ මඟපෙන්වන්නෙක්, සහායකයෙක් බවට පත් විය යුතුය යන්න දැන් අවධාරණය කොට ඇත. ශිල්පීය සවිබලකරණයෙන් වෘත්තීමය වශයෙන් වැඩි වටිනාකමක් ලබාදෙන පුහුණු කිරීම් ක්‍රියාවට නැංවීමද දැන් ක්‍රියාත්මකය.

සමෘද්ධි වැඩසටහන දේශපාලනීකරණය වී තිබීම එල්ලවී ඇති ප්‍රධාන චෝදනාවකි. එවකට පැවති ආණ්ඩුව විසින් තම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ තරුණ තරුණියන්ට සමෘද්ධියේ පත්වීම් හිමිවීම එහි සත්‍ය තත්ත්වයයි. සමෘද්ධියේ සහන එවිට ගලා ගියේ ද ගම්මානයේ වෙසෙන එම ආණ්ඩුවේ පාක්ෂිකයන් වෙතටමය. නැතිබැරිකමට සහනාධාර හිමිවෙනවා වෙනුවට තම පාක්ෂිකයන්ට සහනාධාර ලබාදීමේ ප්‍රමුඛතාවක් එකල විය.

සමෘද්ධි වැඩසටහන දෙස පාට කණ්ණාඩි දමා බැලූ යුගය අවසන් කිරීමේ කටයුතු දැන් සිදුවෙමින් පවතී. සහනාධාර හිමි විය යුතු පිරිස් ගම් දනව්හි බොහෝ සිටියත් පක්ෂ බේදය නිසාවෙන් ඇතැමෙකුට සමෘද්ධි සහනාධාරය නොලැබිණි. යහපාලන රජයේ අභිමතය පක්ෂ පාට, ආගම්, කළු සුදු බේද නොසැලකෙන සමෘද්ධි සහනාධාර ක්‍රමයකි.

දැනට සමෘද්ධි සහනාධාර ලබන පවුල් ලක්ෂ 13කට අධික වෙයි. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 8කට පමණ අලුතෙන් සමෘද්ධිය හිමිවිය යුතුය යන්න සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයේ නවතම වාර්තා පෙන්වා දෙයි. ලක්ෂ 1 ½ක පමණ පිරිසකට සමෘද්ධි සහනාධාරය ලබාදීම දැන් සිදුවෙමින් පවතී. නව සමෘද්ධි සහනාධාර ලබාදීමේ පළමු උත්සවය පසුගියදා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැතුණි. අනෙක් පිරිස්වලට අදියර කිහිපයකින් සමෘද්ධි සහනාධාර ලබාදීම පී. හැරිසන් ඇමැතිවරයාගේ උත්සාහයයි. ගම් දනව්හි බොහෝ නැතිබැරි මිනිසුන් දැන් සැනසුම් සුසුම් හෙළන්නේ මේ නිසාවෙනි. සමෘද්ධි සහනාධාරලාභීන්ගේ සහන කිසිවක් කපා නොදමන බවට ඇමැතිවරයා සපථ වී ඇත. රටේ සමෘද්ධි සහන ලබන ජනතාව දේශපාලන ඉත්තන් කරන යුගය අවසන් කරන බව ද ඇමැතිවරයා නිරන්තරයෙන් පවසයි.

සමෘද්ධි සේවක පිරිස්හි සේම සහනාධාරලාභීන්ගේ ගැටලු හඳුනාගැනීම සඳහා පසුගියදා ඇමැතිවරයා දිස්ත්‍රික් මට්ටමේ හමුවීම් කැඳවීය. මේ වන විට දිස්ත්‍රික් 18ක නිලධාරි හා සහනාධාරලාභී හමුවීම් සාර්ථකව නිම කොට අවසන්ය. ඇමැතිවරයාගේ අදහසකට අනුව ආරම්භ කරන ලද සමෘද්ධි ගම්දොර වැඩසටහනින් සමෘද්ධිලාභීන්ගේ ගැටලු එවෙලේම විස‍ඳෙයි.

රටේ කොතරම් ආර්ථික දුෂ්කරතා තිබුණ ද යහපාලන රජය ජනතා සුබසාධනය නතර නොකරයි. එහෙයින් සමෘද්ධි ප්‍රතිලාභී පවුලකට ලබාදෙන සහනාධාරය දැන් දෙගුණ කර තිබේ.

සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන කඩිනම් කර ඇත. ඒ අනාගත දරුවන්ගේ අධ්‍යාපනය සුබසාධනය වෙනුවෙන්මය.

ස්ථිර නිවහනක උරුමයේ සිහිනයෙන් කල් ගෙවන සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සඳහා සමෘද්ධි නිවාස ලොතරැයිය ක්‍රියාත්මකය. ඒ සඳහා ලබාදෙන ලද රුපියල් ලක්ෂයක ත්‍යාග මුදල නව ඇමැතිවරයා විසින් ලක්ෂ දෙක දක්වා වැඩි කර ඇත. මරණාධාර, විවාහාධාර, ඇතුළු ජීවනාධාර කඩිනමින් ලබාදීමට ඇමැතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ඇතැම් පෞද්ගලික ප්‍රජා මූල්‍ය ආයතන ජනතාවට ගෙන දෙන්නේ පීඩනයකි. හිසරදයකි. එය අවම කිරීමට සමෘද්ධි බැංකු ආශ්‍රිත කුඩා කණ්ඩායම් දැන් සවිමත් කොට ඇත. සමෘද්ධි බැංකු කාලයට අනුව නවීකරණය වේ.

සහනාධාරලාභියකුට සමෘද්ධි බැංකුවකින් ණය ලබාගත හැකිව තිබුණේ රුපියල් ලක්ෂයක් දක්වා වූ උපරිමයකි. දැන් එය ලක්ෂ 25ක් දක්වා වැඩි කොට සමෘද්ධි පවුල් සවිබල ගැන්වීමේ කඩිනම් උත්සාහයක යෙදෙයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ගොඩනඟන විට එහි සේවක ගැටලු දෙස එවකට සිටි පාලකයන් මුනිවත රැකීය. 27000ක් පමණ වන සමෘද්ධි සේවක පිරිස්වලට තවම නිසි වැටුප් තල නැත. විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් නැත. තත්ත්වය මෙසේ තිබිය දී සමෘද්ධි නිලධාරීන් 166 දෙනෙක් දැනට මිය ගොස්ය. විශ්‍රාම වැටුපක් නොලබා, විශ්‍රාම ගිය ගණන 103කි.

පෙර සිටි පාලකයන්ට සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා තිබූ බලයෙහි කිසිදු අඩුවක් නොවීය. උද්ඝෝෂණ මගින් දැන් යම් යම් වෘත්තීය සමිති පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ දේශපාලන වෑයමයි. පී. හැරිසන් ඇමැතිවරයා පවසන්නේ තමා මේ ඇමැතිධුරය දරන කාලසීමාව තුළදීම සමෘද්ධි සේවක ගැටලු වහා විසඳා දෙන බවයි. ඒ සඳහා මේ වන විට ගනු ලැබූ පියවර දෙස සමෘද්ධි සේවක පිරිස් පසුවන්නේ පිරුණු සිතකිනි.

සමෘද්ධි සේවක අභිප්‍රේරණය සඳහා දැන් ක්‍රියාත්මක දිරිගැන්වීම් බොහෝය. විදේශ ශිෂ්‍යත්ව සේවකයන් වැඩි පිරිසකට ලැබේ. යහපාලන රජය පත්වීමත් සමඟ නව ඇමැතිවරයා විසින් සමෘද්ධි වැඩසටහනට නව ජවයක් ලබා දී තිබේ. ගම ගොඩනඟන වැඩපිළිවෙළ දැන් ගොඩනැ‍ඟෙමින් ඇත. කඩිනම් කොට ඇත.

සමාජ සුබසාධන, සමාජ ආරක්ෂණ, සමාජ සංවර්ධන, ප්‍රජාමූල සංවිධාන, ජීවනෝපාය සංවර්ධන, අලෙවි සංවර්ධන, ප්‍රජාමූල බැංකු ආදී ක්ෂේත්‍ර ඔස්සේ නැති බැරිකමට කොළ එළියක් විහිඳුවමින් සිටී.

ණය බරින් මිදී අතමිට සරුව හැමදෙනා මුව තුළ සිනහ රැල්ලක් මතුවන දවස සමෘද්ධියේ එකම පැතුමයි.

නොපමාව ළඟාවන එම ඉසුරුමත් යුගය කරා තව තවත් ඔබේ සිත ගත සමෘද්ධියෙන් සවිබල ගැන්වෙනු ඇත.

ඊ. එස්. ගුණසේකර
සමාජ සවිබලගැන්වීම්
අමාත්‍යාංශය


නව අදහස දක්වන්න

Or log in with...