රජයේ ව්‍යාපෘති ගැන සොයා බලන්න රාජ්‍ය නිලධාරීන්ටත් වගකීමක් තියෙනවා | දිනමිණ

රජයේ ව්‍යාපෘති ගැන සොයා බලන්න රාජ්‍ය නිලධාරීන්ටත් වගකීමක් තියෙනවා

රජයේ මුදල් යොදවමින් කවර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළද සිදුකරන ව්‍යාපෘති සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටත් වගකීමක් ඇති බවත්, සෑම ව්‍යාපෘතියක්ම ජනතාවට ප්‍රයෝජනවත් පරිදි ක්‍රියාත්මක කිරීමට වගබලා ගත යුතු බවත් නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවූෆ් හකීම් මහතා පවසයි.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ “කුඩා නගර සංවර්ධන වැඩසටහන”යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා මාර්ග උපදේශන මාලාවක් සැලසීමේ අරමුණෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා මඩවල, මධ්‍ය මහ විදුහල් ශ්‍රවණාගාරයේ පැවැත්වූ වැඩමුළුව ආරම්භ කරමින් ඇමැති රවූෆ් හකීම් මහතා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් ඇමැති රාවුෆ් හකීම් මහතා මෙසේද පැවසීය.

රජයේ වියදමින් කුමන ව්‍යාපෘතියක් කළත් අපට වගකීමක් තිබෙනවා. මොකද මේ ව්‍යාපෘති සිදුකරන්නේ ජනතා මුදල්වලින්. ඒ නිසා අමාත්‍යාංශයේ ගණන් දීමේ නිලධාරි වශයෙන් අදාළ අමාත්‍යාංශයේ ලේකම්ට ප්‍රධාන වගකීමක් තිබෙනවා. මේ මුදල් වියදම් කළ ආකාරයත් ,එහි වගකීමත් ලේකම්ට පැවරෙනවා.අපටත් වගකීමක් පැවරෙනවා.මේ අතර අප අතර තිබෙන සාමූහික හැඟීම හා වගකීම ඉතාමත් වැදගත්.රටේ ජනතාව අතරේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා.ජනයා අප දෙස සමහරවිට බලන්නේ හාස්‍ය ජනකව,අප කුමක් කළත් ඒ පිළිබඳ විවේචන එල්ලවෙනවා.

අවුරුදු ගණනාවක් මගේ දීර්ඝ පාර්ලිමේන්තු දිවියේ පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ සභාපති වශයෙන් කටයුතු කළා. ඒ ගිණුම් කාරක සභාවේ සභාපති වශයෙන් කටයුතු කරද්දී අප වාර්තා ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවේ අවධානයට.අතුරු වාර්තා ඉදිරිපත් කරනවා .අවුරුද්ද අවසානයේ සම්පූර්ණ වාර්තා ඉදිරිපත් කරනවා.ඉන්පසු ඒ වාර්තා අධීක්ෂණයට ලක්කරනවා. එයින් විවිධ වංචා පිළිබඳ හෙළිදරව් වූ විට ඒ වංචා පිළිබඳ පාර්ලිමේන්තුවේ ඕනෑම කෙනෙකුට විවාදයක් ඉල්ලන්න පුළුවන්.

අපිත් වසර අන්තිමට අප අමාත්‍යාංශයේ අය වැය වාර්තාවක් පාර්ලිමේන්තුවේ අය වැය කාලසීමාව තුළදී ඉදිරිපත් කළ යුතුයි.එම වාර්තාවේ අප කරපු හැම දෙයක්ම සඳහන් යම් මුදලක් යම් ව්‍යාපෘතියක් වෙනුවෙන් වියදම් කළා නම් ඒ වියදම් සමහරවිට සමහර ව්‍යාපෘති නියම පිළිවෙළට , ප්‍රමිතියට නැතුව තිබෙනවා.ඒ පිළිබඳ කාටත් ප්‍රශ්න නඟන්න පුළුවන්.මේ පිළිබඳව දොස් පත්තරවලත්,පාර්ලිමේන්තු විවාදවලත් අප මේ පිළිබඳ නිතරම දකිනවා.පළාත් සභාවලත් ප්‍රාදේශීය සභාවලත් දකිනවා.මෑත කාලය තුළ අපේ ආණ්ඩුව වසර තුනහමාරක් තිස්සේ අප විවිධ අණ පනත් පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කළා.

එහි වැදගත් පනතක් ඉදිරිපත් කළා. ඒ තොරතුරු දැන ගැනීමේ පනත.එය රටේ වංචාව දූෂණය පිළිබඳ හෙළිකර ගැනීමේදී විශාල ලෙස බලපාන පනතක්.එයින් කාටත් බේරී යාමට විදිහක් නැහැ.අපේ අමාත්‍යාංශයේත් තොරතුරු දැන ගැනීමේ නිලධාරියකු පත්කර තිබෙනවා. සෑම ආයතනයක්ම, සෑම අමාත්‍යාංශයක්ම එම තොරතුරු දැන ගැනීමේ නිලධාරියකු පත් කළයුතු අතර මහජනතාව ඉල්ලන ඕනෑම තොරතුරක්, ආරංචියක් අවශ්‍යනම් එය ලබාදිය යුතුයි. සමහරවිට අප කරන ව්‍යාපෘති පිළිබඳවත් ප්‍රශ්න නගන්න පුළුවන්.එතකොට මේ නිලධාරීන් සහ මමත් එයට වගකිවයුතු වෙනවා.ඒ වගකීම් පිළිබඳව සාක්ෂි දැරීමට තරම් අපට ශක්තියක් තිබිය යුතුයි. එබැවින් ඒ සඳහා අතිරේක ලේකම් ගත් මේ වෑයම මම අගය කරනවා.මෙයින් අපි සියලු දෙනාටම යම් දිනක නිර්දෝෂී බව ඔප්පු කරගන්න ඉඩකඩ ලැබෙනවා.

මේ වැඩමුළුව සඳහා විවිධ පළාත් සභාවල ලේකම්වරු ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ ඉංජිනේරුවරුන් සහ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන නිලධාරීන් සහභාගිවූ මේ වැඩමුළුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ හකීම් මහතා ,මේ ක්‍රියාදාමයට එක්වන ඔබ කාටත් වගකීමක් තියනවා අප ලබාදෙන මාර්ග උපදේශය නිසි ලෙස පිළිපදිමින් අපට සහාය වෙන්න. ඒ තුළින් ජනතාවට අප ලබා දෙන සේවාව , අප හරහා ඉටු වන මේ ව්‍යාපෘති නියම ප්‍රමිතියට අනුකූලව කරනවාද? කෙරෙයිද? යන්න කාටත් වග බලාගන්න පුළුවන්.යම් ව්‍යාපෘතියක් හඳුනා ගැනීම, එම ව්‍යාපෘතියට මුදල් ලබා ගැනීමට,ඉල්ලුම් කිරීමේදී අපට ලබා දිය යුතු තොරතුරු මගින් මගේ සැලකිල්ල යොමු කිරීමටත් ,එය පාඩු හෝ ලාභ ලබන ව්‍යාපෘතියක්ද යන්න සලකා බැලීමටත් පහසු වෙනවා.එපමණක් නොව මෙය කළ යුතු දෙයක්ද , මෙයින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද යන්න සලකා බැලිය හැකියි.නගර සැලසුම් යන කොටස මට එකතුවන විට කලින් තිබුණා. නාගරික සංවර්ධන අධිකාරිය කියන විශාල ආයතනයක ශක්තියක් මට තිබුණා. නමුත් ගිය අමාත්‍යාංශ සංශෝධනයේදී මට එම ආයතනය අහිමි වුණා. එයින් පසු ආයතනික වශයෙන් ව්‍යාපෘති සැලසුම් කරන්න,එය නිරීක්ෂණය කරන විශාල ශක්තිමත් ආයතනයක් හා නිලධාරීන් සංවිධානයක් මට අහිමි වු පසු එම වැඩ කටයුතු වෙනත් ආයතන රාශියක් හරහා කරන්න වී තිබෙනවා.

සම්පත් දායක වශයෙන් නීතී විශාරද ආචාර්ය ප්‍රතිභා මහනාම ,වරලත් ප්‍රමාණ සමීක්ෂක ප්‍රසාද් දිසානායක, ජාතික ජල සම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ක්‍රමසම්පාදන) ඒ.සී.එම්.නෆීල්, සහකාර අධ්‍යක්ෂ දමිත් නල්ලප්පෙරුම මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

නව අදහස දක්වන්න