ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ මහින්දගෙන් ඉගියක් | දිනමිණ

ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ මහින්දගෙන් ඉගියක්

එළැඹෙන 2019 වසරේ ජනාධිපතිවරණයට තමා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත.
 
ඔහු මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ’ද හින්දු’ පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. රාජපක්‍ෂ මහතා මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වේ. 
 
සිය පක්‍ෂය පිළිබඳව දැඩි විශ්වාසයක් පවතික බවද සදහන් කර ඇති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ගැටළු විසඳීමට හා විශේෂයෙන් ආර්ථික ගැටළු විසඳීමට නව යාන්ත්‍රණයක් ඉදිරිපත් කරන බවද සදහන් කර තිබේ. 
 
මෙම යාන්ත්‍රණය 2008 - 2009 යුද්ධය පැවති කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ බලධාරීන් තිදෙනෙකු හා ඉන්දියාවේ බලධාරීන් තිදෙනෙකු එක්ව නිර්මාණය කළ ‘ට්‍රොයිකා‘ නැමති යාන්ත්‍රණයට සමාන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
 
ට්‍රොයිකා නැමති යාන්ත්‍රණය සැකසීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් හා ඉන්දියාවේ රාජ්‍ය ආරක්ෂක උපදේශක, විදේශ අමාත්‍යවරයා හා ආරක්ෂක ලේකම්වරයා සහභාගී වී තිබේ.
 
2019 වසරේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙන්නේ තමා බවත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයට තරඟ කළ හැකි බවත් ඒ සඳහා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සූදානම් බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
 
එසේම තමා විසින් තරග කර, ඊට එරෙහිව පවතින 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සීමාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවදානම නොගෙන විකල්පයක් වශයෙන් සියලු දෙනාට පිළිගත හැකි අපේක්ෂකයෙකු නිවේදනය කළහොත් අනිවාර්යයෙන්ම සිය සොහොයුරා තරගකරුවෙකු වන බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
 
තවද, ජනාධිපති අපේක්ෂකයන්ගේ අවම වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ නංවා ඇති බැවින් සිය වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ 2019 වසරේ දී ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස සැලකිය නොහැකි බවද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබේ.
 
එසේම මෙහිදී රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින් මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත්තේ එය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට අදාළ සිදුවීමක් බව ය.
 
එය ශ්‍රී ලංකාවේ සිදු වූවා නම් ගන්නේ වෙනස් තීන්දුවක් බවත් නමුත් මෙය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට අදාල දෙයක් බැවින් ඒ සම්බන්ධයෙන් තමාට කිසිඳු මතයක් නොමැති බවද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත.
 
 
 
 
 

නව අදහස දක්වන්න