ඉස්කෝලෙ ගේට්ටුවෙන් රැකියා බැංකුවට | දිනමිණ

ඉස්කෝලෙ ගේට්ටුවෙන් රැකියා බැංකුවට

චතුමී පිටිපන
රොෂාන් පිටිපන
ආචාර්ය ජයන්ති ගුණසේකර-අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අධ්‍යාපන ආයතනය

දහතුන් වසරක පාසල් අධ්‍යාපනයට නව නැම්මක් එකතු වී තිබේ. ඒ අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය සමත්වූවන්ට පමණක් මෙතෙක් උසස් පෙළ විෂය ධාරාවක් හැදෑරීමට හිමිව තිබූ වරම් වෙනස්වීම හේතුවෙනි. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූ දරුවන් විද්‍යා හෝ ගණිත විෂය ධාරාව ද අනෙක් දරුවෝ වාණිජ හෝ කලා විෂය ධාරාවද, විවිධ භාෂා සහ තොරතුරු තාක්ෂණය ද හැදෑරීම මෙතෙක් පැවති ආකාරයයි. එවිට සාමාන්‍ය පෙළ විභාගය අසමත්වන දරුවන්ට උරුම වූයේ ත්‍රීවිලර් රථයක සුක්කානමකි. නැතහොත් ඇඟලුම් හලක මහන මැෂිමකි. මෙම තත්ත්වය වෙනස්කොට අධ්‍යාපනයට නව මුහුණුවරක් මෙන්ම වටිනාකමක් දෙන්නට වර්තමාන රජය තීරණය කොට තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් මත අධ්‍යාපන ඇමැතිවරයාගේ පූර්ණ කැපවීමෙන් නව තාක්ෂණික විෂයන් 26ක් උසස් පෙළ විෂය ධාරාවට ඇතුළත් කර ඇත්තේ ඒ අනුවය. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වැඩ ලෝකයට පිවිසීම සඳහා අවශ්‍ය භාවාත්මක දැනුම හා නිපුණතා අත්පත් කර ගැනීම මෙකී වැඩපිළිවෙළේ මූලික අරමුණ වේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුව ඇති මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධව අදහස් දක්වමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය පැවසුවේ මෙ‍සේය.

‘‘රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙන්නේ 13 වසරක අධ්‍යාපනය ගැන. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඕන වුණා අධ්‍යාපනයේ ලොකු වෙනසක් කරන්න නිපුණතා සහිතව. විෂය මාලාව වෙනස් කර අධ්‍යාපන සංවර්ධනයේ ප්‍රතිසංස්කරණ ඇතිකරන්න අවශ්‍ය වුණා.

‘2016 මාර්තු 16 වෙනිදා මං මෙතනට ආවෙ අධ්‍යාපනයේ ලොකු වෙනසක් කරන්න. තවත් ප්‍රතිසංස්කරණ සහිතව විෂය මාලාව සකස් විය යුතුයි යන්න අපි කිහිපදෙනෙක් එකතුවෙලා සාකච්ඡා කළා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අතිරේක ලේකම්වරු සහ මම ඇතුළු කිහිපදෙනෙක් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සමඟ තමයි මේ සාකච්ඡාව පැවැත්වුවෙ. අගමැතිතුමා නිතරම කියන දෙයක් තමයි දරුවන්ගෙ නිපුණතා ගැන. අද තියෙන්නෙ ශාස්ත්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. 11 වන ශ්‍රේණියෙන් පස්සෙ එළියට විසිවෙන්නෙ කිසිම හැකියාවක් නැති දරුවන් පිරිසක්. මොකද පන්ති කාමරය ඇතුළෙ දරුවන්ගෙ විවිධ දක්ෂතාවලට තැනක් නැහැ. ඒ ළමයි එළියට ඇවිත් ත්‍රීවිලර් එකක් එළවනවා. මෙයින් තරුණ ශ්‍රමය රටට ඵලදායී නොවන විදියට අපතේ යනවා. ක්‍රී‍ඩා කරපු දරුවො, සංගීතය, නැටුම් වගේ කරපු දරුවො එළියට ඇවිත් මොනවද කරන්නෙ? ඒ අයට එතනින් එහාට අනාගතයක් නෑ. අගමැතිතුමා දැරුවෙ මේ වගේ අදහස්. මාස 2 - 3ක් මේ ගැන සාකච්ඡා මට්ටමින් තිබුණා.’’

ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවා ඇත්තේ කරුණු 3ක් මුල්කරගෙන. එනම් පාසල් අධ්‍යාපනයට විෂයමාලා සංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම, ගුරුවරු සඳහා ගුරු අධ්‍යාපන විෂය මාලා සකස් කර ගුරුවරු බලවත් කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින අධ්‍යක්ෂවරු ඇතුළු සියලු දෙනාගේ වෘත්තීය සංවර්ධනය. එනම් උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වීම සහ පර්යේෂණ, නවීකරණ මඟින් අධ්‍යාපනය ගුණාත්මකව සංවර්ධනය කිරීමය.

අතහැරෙන දරුවනට

පාසල් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන නව ප්‍රායෝගික විෂය මාලාව සැකසීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයට (NIE) අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිඛිතව භාර දී ඇත්තේ 2016 වසරේ නොවැම්බර් මාසයේය. එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පවසා සිටියාය.

‘‘ජීවන කුසලතා කියලා විෂයක් ඉස්සර තිබුණා. ඉගෙනුම් අධ්‍යාපන ක්‍රමයක් දෙමින් වැඩ ලෝකය හඳුන්වලා දීම තමයි එම විෂය තුළ අන්තර්ගත වුණේ. එම සංකල්පය තුළ මම වැඩකරලා තිබෙනවා. ඒවගේම තාක්ෂණ අධ්‍යාපනය ගැන මම හදාරලාත් තිබෙනවා. තාක්ෂණය, අධ්‍යාපනය හා සම්බන්ධ විද්වත් කිහිපදෙනෙක් එකතු කරගෙන මෙම විෂයමාලාව සැකසීම පිළිබඳව මම අධ්‍යයනය කළා. අපේ දරුවො අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්වෙලා විෂය ධාරා 5ක් යටතේ උසස් පෙළ හදාරනවා ශාස්ත්‍රීය ක්‍රමයට. උසස් පෙළට සුදුසුකම් නැති දරුවො එළියට එන්නෙ වෘත්තියකට පිවිසෙන්න පුළුවන් පිරිසක් විදියට නෙවෙයි. පන්ති කාමරයෙදි වැඩ ලෝකය හඳුනාගෙන නැහැ. මෙතෙක් අපේ රටේ සාමාන්‍ය පෙළින් පස්සෙ නව යොවුන් දරුවන් මේ වගේ ගැඹුරු වෘත්තීය විෂය මාලාවකට ගිහින් නෑ. වෙනත් රටවලින් කොපි කරන්න අපට ඕන වුණේ නැහැ. අපේ අත්දැකීම් තුළින් අපේ රටේ ක්‍රියාත්මක වුණු විවිධ අධ්‍යාපන ක්‍රම බලලා වෘත්තීය ක්ෂේත්‍රයේ පවතින ඉල්ලුම බලලා අපි වැඩපිළිවෙළක් සකස් කළා."

ඒ අනුව වෘත්තීයවේදීන්, පෞද්ගලික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අය, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවා නව ව්‍යුහයක් (Model) සකස් කරනු ලැබුවේ ඉදිරියේ අවුරුදු 10ක් යනතුරු සහ ඉන්පසුවත් දියුණු කළ හැකි දෙයක් ලෙසටය. පාසලෙන් අතහැරී යන දරුවනට හොඳ අනාගතයක් සැකසීම දරුවන්ගේ මෘදු කුසලතා දියුණු කිරීම මෙන්ම මේ විෂය මාලාව හදාරන්නට සිසුන් නාභිගත කළ යුතුය. වෘත්තීය විෂය ධාරාවක් ලෙස මෙය හැඳින්වීම නිවැරදි වන්නේ එහෙයිනි.

මෙම වෘත්තීය විෂය ධාරාව සංරචක තුනකින් සමන්විතය. එනම්, සාමාන්‍ය පොදු සංරචක, වෘත්තීය විෂය සංරචක, කර්මාන්ත ආශ්‍රිතව ක්ෂේත්‍ර පුහුණුව යනුවෙනි.

එසේම මෙම විෂය ධාරාව සකස් කොට ඇත්තේ 12 සහ 13 ශ්‍රේණිවලට පැතිරෙන ආකාරයෙනි. අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් දරුවන් පමණක් නොව සමත් දරුවන් පවා කලා විෂය ධාරාව අතහැර මෙම තාක්ෂණ විෂය ධාරාව තෝරාගැනීමට පෙළැඹී ඇත්තේ එහෙයිනි.

ඇතැම් දරුවන්ට භාෂාමය හැකියාවක් නැත. පුරවැසිභාවය පිළිබඳ දැනීමක් ද ඔවුනට නැත. එසේම සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් පිළිබඳ දැනුමක් ද එම සිසුනට ඇත්තේ නැත. 12 වන ශ්‍රේණියේදී පොදු කුසලතා වර්ධනයක් දරුවන්ට ලබාදීමට තීරණය කර ඇත්තේ ඒ නිසාය. ඒ අනුව සාමාන්‍ය සංරචක යටතේ පළමු බස ලෙස සිංහල හෝ දෙමළ සන්නිවේදන කුසලතා අත්පත් කරදීමට ද, ව්‍යාපාර ඉංග්‍රීසි සමඟ සන්නිවේදනය, සෞන්දර්යාත්මක රසවින්දන කුසලතා, තොරතුරු හා පරිගණක කුසලතා, පුරවැසිභාවය ආශ්‍රිත කුසලතා, සමාජ යහපැවැත්ම උදෙසා සෞඛ්‍ය හා ජීවන කුසලතා, ව්‍යවසායකත්ව කුසලතා, වෘත්තීය මාර්ගෝපදේශනය යනුවෙන් කුසලතා වර්ධනය කෙරේ. මේ සමඟම දරුවන්ට බාහිර සමිති සමාගම් හෝ ක්‍රීඩා ආදී ක්‍රියාකාරකම්වලද නියැලිය හැකිය.

ඉගෙනුමට විනෝදයක්

අප රටේ අද සිටින්නේ විභාග මානසිකත්වයෙන් යුතු දරු පිරිසකි. උසස් පෙළ පන්තියට ඇතුළත් වන නව යොවුන් දරුවන්ට සෞන්දර්යාත්මක ආකාරයට සහ විනෝදකාමී ලෙස විභාගවලින් තොරව ඉගෙන ගැනීමට සැලැස්වීම ඔවුන්ගේ තුරුණු මානසිකත්වය ඉහළ දැමීමට මහඟු පිටිවහලක් වනු ඇත. සෞඛ්‍යය පිරිහුණු දරුවන් අප අතර සිටිති. දියවැඩියා රෝගය අද දරුවන් අතර ද ප්‍රචලිත බෝ නොවන රෝගයකි.

සෞඛ්‍ය පිළිබඳව මෙන්ම තමන්ගේ ශරීරය ගැන ද වර්තමානයේ ජීවත්වන පාසල් දරුවන්ට අවබෝධයක් නැත. පාසලේදී පොතපත ආශ්‍රිතව ඉගෙන ගත්තද, ක්‍රියාකාරකම් ආශ්‍රිතව ඉගැන්වීමක් සිදුනොවීම ඊට හේතු වේ. නමුත් මෙම නව විෂය ධාරාව යටතේ ක්‍රියාකාරකම් ආශ්‍රිතව දැනුම ලබාදීමට පියවර ගෙන තිබේ.

‘12 ශ්‍රේණියේ පළමු වාරයේ පැය 360ක් වෙන්කරලා තියනවා. තොරතුරු පරිගණකය නැතුව ඒ පැය 360 දී කිසිවක් කරන්න බැහැ. පුරවැසිභාවය පිළිබඳ දැනුම වර්ධනය කිරීම වගේම දරුවන්ගේ දේශාභිමානය වර්ධනය කරන විදියේ වැඩසටහන් අපි හදල තියනවා. දරුවන්ට තනි තනියෙන් වගේම කණ්ඩායම් වශයෙන් ඒ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවනි. මේවා කරන්නේ කුසලතා මට්ටමින්. විභාග නැහැ. ව්‍යවසායකත්ව කුසලතා ඉහළින් ලබා දෙනවා’ ජයන්ති ගුණසේකර මහත්මිය වැඩිදුරටත් පවසයි.

මෙම විෂයයන් පිළිබඳව මෙන්ම ඒ ඒ විෂයය ප්‍රගුණ කිරීමෙන් පිවිසිය හැකි වෘත්තීන් පිළිබඳව අදහස් දැක්වූ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ති ගුණසේකර මහත්මිය,

‘සෞඛ්‍ය පිළිබඳව අපේ රටේ කිසිම වෘත්තීය පුහුණුවක් දරුවන්ට නෑ. අපේ ර‍ටේ හැමතැනම දිවා සුරැකුම් මධ්‍යස්ථාන (Day care centers) තියනවා. මේවයේ වැඩ කරන වැඩි දෙනකුට ළමා මනෝ විද්‍යාව වගේම දරුවකුගේ ශාරීරික හා මානසික වැඩීම, දරුවාගේ ඇවතුම් පැවතුම් ගැන දන්නෙ නැහැ. දරුවෙක් සමාජගත කරන්නෙ කොහොමද කියන එක ගැන දැනුමක් නැතුව තමයි මේ ක්ෂේත්‍රයට පිවිසිලා තියෙන්නෙ. අපි ළමා මනෝ විද්‍යාව හඳුන්වලා දුන්නෙ මෙන්න මේකට තමයි.’

කාලයේ තාලයට විෂයන්

සෞඛ්‍ය ගැන දැනගැනීම වැදගත් ය. සෞඛ්‍ය අංශයේ දියුණුව නිසා අද වැඩිහිටි ආයුකාලය වැඩි වී ඇත. පිටරටවල මෙන්ම වත්මන් ශ්‍රී ලංකාවෙහිද වැඩිහිටියන් රැකබලා ගන්නා ස්ථාන තිබේ. ඒවාහි රැකියා අවස්ථා ද තිබේ. සෞඛ්‍යය හා සමාජ ආරක්ෂණය විෂය ඇතුළුකර ඇත්තේ මේ පිළිබඳ අවධානය යොමුකිරීම හේතුවෙනි.

ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වන දරුවන්ට ද 10 ශ්‍රේණියෙන් පසුව කරන්නට දෙයක් නැති වේ. නමුත් වත්මන් වැඩපිළිවෙළ යටතේ ඔවුනට උසස් පෙළ දී ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා යටතේ වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

සමාජ සංස්කෘතික අධ්‍යයන යටතේ එන ප්‍රාසාංගික කලාවට (Performing Art) මේ වන විට හොඳ ඉල්ලුමක් පවතී. එම විෂයමාලා යටතේ අධ්‍යාපනය ලබන දරුවකුට අනාගතයේදී ලොකු ආදායමක් උපයන්නට හැකිය.

කාර්යසිද්ධි කළමනාකරණය (Event Management) විෂය ගත් කල්හිද තත්ත්වය සමානය. අද මංගල උත්සව සැලසුම් කිරීම වැනි විශාල උත්සව අවස්ථාව භාරදෙනු ලබන්නේ මෙවැනි වෘත්තීන්හි නියුතු අයටය. එවැනි කටයුතුවලින් ඉපයිය හැකි ආදායම ද ඉහළය.

ශිල්ප කලා (Arts and Crafts) හදාරන සිසුවකුට අනාගතයේ සංචාරක ක්ෂේත්‍රයට පිවිසෙන්නට පුළුවන. මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය යනු හොඳ ආදායම් මාර්ගයකි. නිර්මාණකරණය (Interior Designing) පුහුණුව පාසල තුළින්ම ගත හැකිය. මේ විෂය ක්ෂේත්‍රය සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ද පවතී. කෘෂි හා ආහාර තාක්ෂණවේදය සම්බන්ධයෙන් සලකා බලන විට ඒ යටතේ ඇති විෂයයන් 5 ඔස්සේ පළාත්වල තියන විවිධත්වය යොදාගැනීමේ හැකියාව පවතී. මෙම විෂය ධාරාවේ වැදගත්කම වඩාත් පැහැදිලි කරන්නේ නම් තාක්ෂණික අධ්‍යයනය යටතේ ඉදිකිරීම්, පේෂකර්ම, ඇඟලුම් කර්මාන්තය පිළිබඳව පුහුණුවක් ලබාගත හැකිය. අද රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉදිරියට යන නමුත් ඒ සඳහා දක්ෂතා ඇති අය හිඟය. එසේ හෙයින් වෙනත් රටවලින් පිරිස් ගෙනෙන තත්ත්වයක් උදා වී තිබේ. සංචරණය හා ආගන්තුක සත්කාරය වැදගත් වන්නේ ලංකාව ස්වාභාවික සෞන්දර්යය ඉහළින්ම තිබෙන රටක් බැවිනි. ස්වාභාවික පිහිටීම අතින් උතුම් රටක් වන මෙරට ආගන්තුක සත්කාරයට ද ප්‍රසිද්ධය. පරිසරය ආශ්‍රිත අධ්‍යයනය කිරීමෙන් සපයාගත හැකි විශේෂ රැකියා කිහිපයක් සොයාගෙන තිබේ.

මෙම සියලු විෂයන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ක්‍රියාකාරකම් ආශ්‍රයෙනි. එහිදී දේශන සහ වෙනත් ක්‍රම යොදා ගැනීමක් නොමැති අතර බාහිර සම්පත් උපයෝගී කරගැනීමට ද සැලසුම් කර තිබේ.

මෙම විෂයන්ට අදාළව ආදර්ශ පොත් ද මේ වන විට මුද්‍රණය කර තිබේ. මෙම පොත් ගුරුවරයාටත්, දරුවාටත් පරිහරණය කිරීමට පහසු ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මෙම පොත්වල අනෙක් විශේෂත්වය වන්නේ වෙනත් පාසල් පොත් මෙන් පාඩම් කිරීමට අවශ්‍ය නොවීමයි.

දරුවකුට 12 ශ්‍රේණියේදී විෂයන් 3 ක් තෝරාගෙන හැදෑරිය හැකි අතර 13 ශ්‍රේණියේදී ඉන් එක විෂයක් තෝරාගත යුතු වේ. එසේ තෝරා ගත් විෂය ඔස්සේ කර්මාන්ත පුහුණුව ලබා දෙනු ලැබේ. ඉන්පසු එම ක්ෂේත්‍රයේ අදාළ ආයතනයකට යොමු කරනු ලැබේ. පළමු අදියර යටතේ පාසල් 42ක් ද දෙවන අදියර යටතේ පාසල් 152ක් ද මෙකී විෂය ධාරාව සඳහා සූදානම් කර තිබේ.

නිසඟ හැකියාවන් උපතින්ම රැගෙන ආ දරුවන්ට මෙම නව ඉගෙනුම් ක්‍රමය කදිම පිටිවහලක් වනු නොඅනුමානය. නිය සපමින්, දස අතේ කල්පනා කරමින් ගණන් හැදීමට වද වෙනවා වෙනුවට විනෝදයෙන්, කෙළිදෙළෙන් උගෙන යම්කිසි වෘත්තියකට පිවිසීමේ හැකියාව ද පාසලින් පිටවන දරුවාට මෙමඟින් ලැබීම කෙතරම් භාග්‍යයක් ද? සෑම දරුවකුටම වෛද්‍යවර‍යකු හෝ ඉංජිනේරුවකු වීමට නොහැකිය. එසේ නොහැකිවීම හේතුවෙන් මහමඟ රස්තියාදුකාරයකු වීම ද සුදුසු නැත. එසේ අතරමං වන දරුවන් වෙනුවෙන්ම සැකසුණු මෙම ඉගෙනුම් ක්‍රමයට ද විවිධ අභියෝග, විවේචන එල්ලවිය හැකිය. නමුත් එය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන බලධාරීන් කැපවීමෙන් ක්‍රියා කළහොත් අනාගතයේ අප රටට වටිනා සම්පත් රැසක් හිමිවීමට ඉඩ තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...