කෙටිකතාව පටස් ගාලා පෙම්වතියට කියන රහසක් වගේ | දිනමිණ

කෙටිකතාව පටස් ගාලා පෙම්වතියට කියන රහසක් වගේ

දීප්ති දහනක

'බාලසූරිය RR කෙටිකතා එකතුව සහ සර්වාංග විකාර' හඬ පොත ප්‍රකාශයට පත් කළ දීප්ති දහනක ලියූ නවතම කෙටිකතා සංග්‍රහය, 'එක අතකින් වෙන මොනවා කරන්නද?' කෘතිය පසුගියදා එළිදැක්විණි.

මං වගේ, වැඩිය දන්නෙ නැති, කෙටිකතා පොත් දෙකක් විතරක් කරලා ඇති කෙනකු පොතක් ලිව්වහම, පාඨකයන් පිරිසක් දිනා ගැනීමට හැකි ජිමික් ටිකක් දාන්නම වෙනවා. ඒ නිසා, ඒ ගැන අතිශයින් සැලකිලිමත් වෙනවා.

ඔබ , සාහිත්‍යාංගයක් විදිහට කෙටිකතාව හඳුන්වන්නේ කොහොමද?

මං ස්වයං රැකියාවක් කරන කෙනෙක්. ඒ රැකියාව ආරම්භ කරන්නට මත්තෙන් නිෂ්පාදනය කරන්නේ මොකක්ද? කවුරුන් සඳහාද? කොපමණ ප්‍රමාණයකින්ද? කියන දේ ගැන මං හොයමින් හිටියා. ඒ වගේමයි, 19 වැනි සියවස කාලේ පීටර්ස්බර්ග් නුවරට විශාල වශයෙන් තරුණ කොටස්, කම්කරුවන් විදිහට පැමිණියා. ඒ අය එද්දී කියවන කලාවක් විදිහට නවකතාව තිබුණත්, ඒ අයට ඊටත් වඩා හොඳ කියවන මාධ්‍යයක් හදලා දෙන්න ගිහින් තමා, කෙටිකතාව බිහි වෙන්නෙ. එහෙම බිහිවූ කෙටිකතාව, යුරෝපයේ ක්‍රම විකාශයක් වෙලා එද්දි, එක එක දේ එකතු වෙනවා. වෙනස් වෙනවා. ඒත්, කෙටිකතාව කෙටියි. මූලික වශයෙන් ඒකීය ධාරණාවක් තියෙනවා. කේන්ද්‍රීය චරිත එකයි දෙකයි. කියවපු ක්ෂණයකින් චින්තනමය ආලෝකයක් හමුවිය යුතුයි කියන ලක්ෂණ ටික පොදුවේ අද දක්වාමත් පවතිනවා. මමත් කෙටිකතාවකින් ඒ දේ බලාපොරොත්තු වෙනවා.

ස්වයං රැකියාවෙදි වගේම, මෙහිදී ඔබේ පාඨකයන් ලෙස හඳුනා ගත්ත සුවිශේෂී ප්‍රජාව කවුද?

සාක්ෂරතාව, කිසියම් රසයක් තියෙන පිරිසක් ශ්‍රී ලංකාවෙ ඉන්නවා. කෙටිකතාව අභ්‍යාසයක් විදිහට ප්‍රගුණ කරමින්, එයින් වින්දනයක් ලබන පිරිසකුත් ඒ අතර ඉන්නවා. කෙටිකතාවක් ලියන්න ගියහම, මට ඔය කියන ප්‍රශ්නය තියෙනවා. අජිත් තිල‍කසේන, ජයතිලක කම්මැල්ලවීර, ලියනගේ අමරකීර්ති, කේ.කේ සමන් වගේ අය දිනාගත්තු පාඨක ප්‍රජාවක් ඉන්නවා. ඒත්, මං වගේ, වැඩිය දන්නෙ නැති, කෙටිකතා පොත් දෙකක් විතරක් කරලා ඇති කෙනකු පොතක් ලිව්වහම, පාඨකයන් පිරිසක් දිනා ගැනීමට හැකි ජිමික් ටිකක් දාන්නම වෙනවා. ඒ නිසා, ඒ ගැන අතිශයින් සැලකිලිමත් වෙනවා. පළමු වැනි වචනය. පළමු වැනි පිටුවේ පිටු භාගයක් විතර යනකල් පාඨකයා රඳවා ගන්න ඕන. ඊළඟ පිටුවම කැන්දගන්න ඕනැ. ඒ වගේ වෙනත් ප්‍රවීණ කෙටිකතාකරුවකුට නැති ප්‍රශ්න ටිකක් මට තියෙනවා. ඉදිරිපත් කරන විලාසය, භාෂාව ගැන මං අතිශයින් සැලකිලිමත් වෙන්නෙ ඒකයි.

ඔබ මීට කලින් 'සර්වංග විකාර' නමින් ශ්‍රව්‍ය පොතක්, එහෙමත් නැත්නම් ඕඩියෝ බුක් එකක් කළා. ඒ අත්දැකීම මොන වගේද?

ලෝකයේ වෙනත් රටවල කෙටිකතාවක් හෝ නවකතාවක් හෝ ප්‍රකාශයට පත් වුණහම ඒකට සමගාමීව පීඩීඑෆ් එකක් එනවා. ඕඩියෝ එකක් එනවා. මං 2014 දි අත්හදා බැලීමක් විදිහට ඕඩියෝ බුක් එකක් කළෙත් ඒකයි. එතැනදිත් මං නිශ්චිත පාඨක පිරිසක් ඉලක්ක කළා. අද වෙද්දී එක පුද්ගලයකු ළඟ ෆෝන් දෙකක්වත් තියෙනවා. තාක්ෂණය තියෙනවා. ඉස්සර වගේ විස්තෘත පවුල්වලින් ඇවිත් හුදෙකලා වුණු අයට වඩා, කේන්ද්‍රීය පවුල් ඇතුළේ වුණත් හුදෙකලා ජීවිත අනන්තවත් තියෙනවා. බස් එකක, මහ මඟ යද්දී, මේ අය කන්වල වයර් ගහගෙන තමන්ගෙම ලෝකෙක හුදෙකලා වෙලා ඉන්නෙ.

රුසියාවෙ ඉඳලා පීටර්බර්ග් නුවරට ආව කම්කරුවො වගේම, මේ අය ට සුවිශේෂී වූ මාධ්‍යයක් අවශ්‍ය බව මට හිතුණා. බස් එකක පැය දෙක තුනක ගමනක්, දුම්රියකත් ඒ වගේමයි. එහෙව් අයට කියව කියවා යනවට වඩා, ඉයර් ෆෝන් ගහගෙන අහගෙන යන එක පහසුයි. මං දකින විදිහට ඕඩියෝ බුක් එකකට හොඳ වෙළෙඳ පොළක් තියෙනවා. ජංගම දුරකථන සමාගමක් එක්ක එකතුවෙලා තමා මං ඒ වැඩේට අතගැහුවෙ. මේ වැඩේ සෑහෙන පිරිසක් අතරට ව්‍යාප්ත කරලීමට හැකියාවක් තිබුණත්, මේ වෙළෙඳ පොළ ජය ගන්න, අර දුරකථන සමාගම එච්චර උනන්දු වුණේ නෑ. කුමක් හෝ හේතුවක් නිසා, ඒක මඟහැරුණා. ඒත්, ඒ අවකාශය තවමත් තියෙනවා.

ඔබ එයින් යම් ප්‍රමාණයක් තැටිගත කර බෙදා හැරියා. එතැනදී ලැබුණු ප්‍රතිචාර මොන වගේද?

සීඩී, ඩීවීඩී හැටියට 1000 ක් බෙදුවා. එතැන තිබුණේ ව්‍යාපාරික අරමුණක්. 'කෙටිකතාවක් ලියලා, නිර්මාණයක් කරලා ලාභයක් ලැබීම අවශ්‍යම නොවේ' කියලා මතයක් නිර්මාණකරුවන් අතර තිබුණට, මං මේ වැඩේ පටන් ගත්තෙම ව්‍යාපාරික අරමුණකින්. අදාළ ජංගම දුරකථන සමාගම මැදිහත් වුණෙත් ව්‍යාපාරික අරමුණෙන් මිසක්, මට පුද්ගලිකව උදවු කරන්න නෙමෙයි. මගේ උනන්දුවෙන් එස්.එම්.එස් යවලා, රු.25,000ක විතර ලාභයක් තමා මුලින් මට ලැබුණේ. ඊට පස්සෙ ඕඩියෝ බුක් නවසිය ගාණක් විකුණන්න මට පුළුවන් වුණා. නවසීලන්තය, ඔස්ට්‍රේලියා, කැනඩා වගේ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට තැපැල් කරලා යැව්වා. ඒ අයට මෙයින් පොත් 10-15 විදිහට යවලා, එකකට රු.250 ක විතර වන සුළු මුදල , ඩොලර්ස්වලින් ඉල්ලුවා. ශ්‍රී ලංකාවෙ මුදල්වලට මාරුවෙලා එද්දි, එක පොතකට රු.600ක් විතර ආවා. එයින් රු.70,000ක් විතර ලාභයක් ලැබුණා. මගේ කම්මැලිකම නිසා මිසක්, තව ටිකක් මහන්සි වුණා නම්, පොත් දෙතුන් දාහක් විතර විකුණ ගන්න තිබුණා.

'එක අතකින් වෙන මොනව කරන්නද'? මේ කෙටිකතා සංග්‍රහයේ එන නිර්මාණවල තියෙන්නෙ ඔබේම අත්දැකීම් බවට ඉඟි පළ වෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

මේකෙ මුල්ම කතාව නට් ඇන්ඩ් බෝල්, බස් එකක යද්දි මං අත්දැකපු ඇත්ත අත්දැකීමක්. සරල විදිහට එදිනෙදා අපට හමුවෙන මිනිස්සු කොයි තරම් නිර්මාණාත්මක විදිහට බෙදා ගන්නවද? යන බස් එකේ ඇංජිමක් ගැලවීම, කාර්මික විදිහට මිනිස්සු සෙට් වෙලාද, හැසිරෙන විදිහ නිර්මාණකාරයකුයට වටිනවා. ඒක ඇහුණහම මං මුල් ටික ඔළුවට දාගාත්තා. එක අතකින් වෙන මොනව කරන්නද? පුතාගෙ පංතියේ ළමයෙක් හිටියා චැටර් බොක්ස් එකක්. දවසක් 'පොලේකා' කියලා තව යාළුවෙක් ගැන කීවා. 'පොලේකා' කීවම ඉතාලි වගේ පොෂ් නමක්. මං ඇහුවා එහෙම කියන්නෙ ඇයි කියලා. එයා කීවා 'මේ අපේ සර් කාරයෙක් දාපු නමක්. පොලේ එකෙක් වගේ කෑ ගහනවා' කියලා. පොලේ එකා, පොලේකා වෙලා තිබුණා. ඒ නම එක්ක වෙනම ගැම්මක් ආවා. එක අතකින් වෙන මොනව කරන්නද කියන එකේ තියෙන්නෙ මට වෙච්චි දේ , යාළුවන්ට වෙච්චි දේ. අන්තිම කතාව ස්විප් විකුණන මනුස්සයෙක් හිටියා කෑගල්ලෙ. ස්විප් විකුණනන්න කළේ භාෂාවෙන් ජිමික් දාපු එක. මුළු බස් එකම මුගෙන් ටිකට් එකක් ගන්නවා. හොඳ ම එක අන්තිම එක. ෆිල්ම් එකක ඇට් කරන්න ගියා, වරහන් ඇතුළේ. ඒ කියන්නෙ පිරිසක් ඇතුළු වේ, පිටව යයි, දෙදෙනෙක් ඇතුළු වේ. රෙජිස්ටර් වෙන්නෙ නැති සෙසු චරිත. ඒවා කරන්න ගිහින් වෙච්චි රසවත් සිද්ධි. උතුරු වසන්තයට කම්කරුවො යැව්වා. ඇමැතිලා, මන්ත්‍රීලා වටේ ඉන්න එවුන්ට ලැබෙන බෝනස් එකක්. වව්චරේට අත්සන් කරන කොට, 700ක් දාලා තිබ්බට හම්බ වෙන්නෙ 600යි. නටන නැට්ටුවන්ට, කොන්ත්‍රාත්කරුවන්ට වගේ පහළට එද්දි, කැපෙන එකතුවෙන ගාණක් තියෙනවා. පාඨකයාට ඕන නම් වෙන තෙවැනි අර්ථයකට යන්නට පුළුවන්.

සාහිත්‍ය කලා ක්ෂේත්‍රය කෙරෙහි පෙලඹවීමක් ඇතිවුණේ කොහොමද?

ඒක පාසලේ 8-9 පංතිවලදී අහම්බයෙන් පත්තු වුණු දෙයක්. මං ඉගෙන ගත්තෙ කෑගල්ලෙ, දුෂ්කර ගම්මානයක තිබුණු පිටියගම මහා විද්‍යාලයෙන්. ඒකෙ 'හීන්කෙන්ද' කියලා ගුරුතුමියක් තමා සිංහල විෂය ඉගැන්නුවේ. පාඩම් පොතේ 'මීටර් සියය' කෙටිකතාව කියවලා, අපටත් කෙටිකතාවක් ලියන්න එතුමිය බල කළා. 'ඔයාලගෙ ලෝකයේ, ඔයාලා දන්න කවුරු හරි ගැන හිතලා, මේ කතාව නැවත ලියන්න කියලා" එයා උපදෙස් දුන්නා. මං 'වික්‍රම' කියලා චරිතයක් ආදේශ කරලා වෙනම කතාවක් ලිව්වා. ඒකට කවදාවත් හිතපු නැති ප්‍රතිචාරයක් ලැබුණා. එතෙක් මං කවදාවත් පංතිය ඉස්සරහට කැඳවලා නෑ. පංතිය ඉස්සරහට ඇවිත් මගේ කතාව කියවන්න කියලා ගුරුතුමිය මට කිව්වා. ඒක ලිව්වේ මමම ද, කියලා පංතියෙ අනිත් අයටත් සැකයි. ඒ කාලෙ අපේ පංතියක 40-45ක් ඉන්නවා. එදායින් පස්සෙ මට සිංහල ගුරුතුමිය කියන දේ වැඩියෙන් ඇහෙන්න ගත්තා. මං මට පිළිගැනීමක් ලැබුණු නිර්මාණකරණය පැත්තට වැඩි වැඩියෙන් යොමු වුණා. ඊට පස්සෙ දිගින් දිගටම පංතිය ඉදිරියේ නිර්මාණ කියවන්න මට ඉඩ ලැබුණා. එතැනදී ගුරුවරියක් වෙච්චි අම්මත් මට උදවු කළා. එයා බේදයකින් තොරව ගෙදරට පොත පත ගෙනාවා. ඒවා කියවන්න ගත්තා. සමහරවිට කෑම බීම පවා පැත්තකින් තියලා කියවන්න ගත්තා. ඇතැම් වෙලාවට 'මෙහෙම පිස්සුවක් කියලා', සහෝදරයන් දඬුවම් කරන මට්ටමට පොත් කියවන්න ඇබ්බැහි වුණා.

ඔබේ නිර්මාණ දිවියට බලපෑම් කළ සාහිත්‍යයකරුවන් කවුද?

අදටත් සෝමරත්න බාලසූරිය සර්ගෙ 'කරත්තය" මතකයි. ඒවායේ නාටකීය ස්වභාවයන් අදටත් මා හොල්මන් කරනවා. අමරකීර්ති, කම්මැල්ලවීර, වැලිසරගේ, නිශ්ශංක විජේමාන්න යන අයගේ නිර්මාණ මං ආසාවෙන් රසවිඳිනවා. කාලයක් තිස්සේ මං කෙටිකතා ලිව්වට, ඒවා පළවුණේ 'හිරු' පත්තරේ විතරයි. ඒ 90 ගණන්වලදීයි. වෙන පත්තරවලට ඒවා ගැළපුණේ නෑ. ඒ ප්‍රවීණයන් එක්ක මට හැරෙන්නවත් බෑ. මං මගේ කෙටිකතා කියන්නට කෙනකුට හැඟීමක් ඇතිවන විදිහේ ජිමික් දාන්න පටන් ගත්තා. මටම ආවේණික භාෂා රටාවක්, සිද්ධි ගැළපීමක් මේ නිර්මාණවල තියෙනවා. විශේෂයෙන් සංවාද ඇසුරින් කතාව ගලාගෙන ගියාට, සිද්ධිය රෙජිටස්ටර් කරන්නෙ නෑ. අමරකීර්තිගෙ 'පහන හා කැඩපත' කියවන විට හැරල්ඩ් බ්ලුම් උපුටා දක්වමින් කිව්ව දෙයක් මගේ මතකයේ තියෙනවා. බ්ලූම් කියන්නෙ'පොත පුබුදුවනවා' කියලා. එතැන තියෙන්නේ පාඨකයාව සහභාගි කරවා ගත් කියැවීමක්. සිද්ධි විස්තර කිරීමක් වත්, චරිත විස්තර කිරීමක් වත් එතැන නෑ. එතැන තියෙන්නෙ පාඨකයා සහභාගි වීමට අදාළ කාරණා විතරයි. මමත් උත්සාහ කළේ සංවාදය පාස් කරන විදිහෙන් චරිත ස්වභාවය, සිද්ධිය, කතාවේ තේමාව, ගලාගෙන යාමට සැලැස්වීමයි.

දේශීය සාහිත්‍යකරුවන් වගේම, විදේශීය සාහිත්‍ය ඇසුරත් ඔබට බලපාන්නට ඇති. ඒ ගැන යමක් කිවහොත්?

මාර්ක් ට්වේන්, ටොම් සෝයර් වගේ අයගේ කතා විස්මයජනකයි. ආර්.කේ නාරායන් කියන්නෙත් අනවශ්‍ය විදිහක පිස්සුවක්. ඔවුන්ගෙ එක නවකතාවක්, කෙටිකතාවක් මං හත් අට වතාවක් කියවලා ඇති. වෙඩිල්ලක් වගේ පත්තු කරලා ඉවර කරන විදිහ මට මාරයි. මේ නිර්මාණකරුවන්, කේන්ද්‍රාපසාරී චලන රටාවක් එක්ක නාභිගත ඉලක්කයකට යන්නෙ කොහොමද? චීස් කෑල්ලක් කැපුවා වගේ ඇදක් කුදක් පළුද්දක් නැතුව සුදු පිරියම් කරන්නෙ කොහොමද? කවුරු හරි කියනවා නම්, භාෂාවේ නාටකීය ස්වභාවයේ උපත ගැන මට නම් ඒ මාර්ක් ට්වේන් හා නාරායන්.

වෙනත් බොහෝ සාහිත්‍යකරුවන්ට නැති ඉවසීමක්, කල්මැරීමක් ඔබෙන් දකින්න පුළුවන්. ඒක එහෙම නේද?

ඔව්. මං එච්චර හදිසි නෑ. දැනටත් මං කරලා තියෙන්නෙ කෙටිකතා නිර්මාණ සංග්‍රහ දෙකක් විතරයි. මට 'එක අතකින් වෙන මොනව කරන්නද?' කියන එක එළියට දාද්දිත් හදිසි වුණේ නෑ. මං මේක ලියලා අවුරුද්දක් විතර තියාගෙන හිටියා. නොයෙකුත් සංස්කරණ කළා. එකතු කළා. හැළුවා. අභ්‍යාස කරමින් මෙහි එන සංවාද තියුණු කරන්නට සැලකිලිමත් වුණා. සහභාගි කියැවීමක් අස්සෙ, සංවාදවලට වෙනස් වෙමින් පෝෂණය වීමට තියෙන අයිතිය ප්‍රධානයි. එතැනදී භාෂාව ට මං මුල් තැනක් දෙනවා. කෙටිකතාවක භාෂාව කියන්නේ දහසක් බාධා මැද්දෙ, පෙම්වතා ඇවිත් පෙම්වතියකට බොහොම කෙටි වෙලාවකදි, ආදරෙයි කියනවා වගේ වැඩක්. කණට කොඳුරලා කියන රහසක්. ඒකට වැඩි කාලයක් නෑ. කල් මරන්න බෑ. මුල මැද අග සන්න සහිතව පැහැදිලි කිරීම් කරන්න බෑ. ඉතාමත් පුංචි කාලෙකදි පණිවිඩේ දෙන්නත් ඕන. ඒ නිමේෂයකින් වෙන් වෙලා යන්නත් ඕන. සිද්ධියක් ගතහොත් නාටකීයයි. ලිස්සනසුලු භාෂා විලාසයකින් විතරයි මං අනිත් අයගෙන් වෙනස් වෙන්නෙ.

ශ්‍රී ලංකාවේ කලා සංස්කෘතික සිතියම කොළඹ කේන්ද්‍රීයයි. ඔබට මේ තත්ත්වය දැනෙන්නෙ කොහොමද?

ඒක ඇත්ත. අපි ආර්ට් ක්ලබ් විදිහටත්, පොඩි සංවිධාන කණ්ඩායම් හරහා සම්පත් දායකයන් ගෙන්වාගෙන යම් යම් දේ කෑගල්ලෙ කරමින් ඉන්නවා. ඒ ගැන ආරියවංශ රණවීරට කිව්වහම මට කිව්වේ, 'මං ඕක කරන්න හැදුවෙ ඒ කාලෙ. කෑගල්ල කියන්නෙ සංස්කෘතික කාන්තාරයක්. එහෙ මොනවත් කරන්න බෑ" කියලා. නිර්මාණකරුවන් විදිහට හුදෙකලා චරිත කිහිපයක් එළියට ආවට, කොළඹින් පිට සංස්කෘතික පිබිදීමක් නෑ. මට තිබුණු චාන්ස් එක හඳගමගේ නාට්‍යවලට කොළඹ එන්නට සිදුවීමයි. අශෝක හඳගමගේ මාඝාත, හෙණ වගේ නාට්‍යවල වේදිකා කළමනාකරු විදිහට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ 'දුන්හිඳ අද්දර' ඉඳලා 'සින්තටික් සිහින' දක්වා සහය අධ්‍යක්ෂවරයකු හෝ කලා අධ්‍යක්ෂණය පැත්තෙන් සම්බන්ධ වුණා. ඒ නිසා, කොළඹ සංස්කෘතික වැඩවල විදග්ධ සමාජයේ චරිත ඇසුරු කරන්න ලැබුණා. ඒක ලොකු වාසනාවක්. වෙනත් කෙනකුට නොලැබෙන අවස්ථාවක්.

නිර්මාණය හා විචාරය අතර පවත්නා සම්බන්ධය ගැන ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද?

වෙන රටවල විවිධ මට්ටමින් ඒ වෙනුවෙන් දැඩි උනන්දුවක් හා වුවමනාවක් තියෙනවා. ඒ දේ ඉගෙන ගනිමින් ඉන්න පිරිසක් ඉන්නවා. දොදොල් පට්ටයක් හැදුවත්, ඒකට අදාළව වටපිටාව හැදෙනවා. මේ සාහිත්‍ය නිර්මාණ ඇතුළෙත් ඒ ගැන කතා කරන, රස විඳින, බෙදා හරින, විචාරය කරන අය හැදෙන්න ඕනැ. ඉන්න ඕනැ. ඒ බලාත්මක කිරීම වටිනවා. ප්‍රශ්නය තමා විචාරය සම්බන්ධයෙන් හිතාගන්න බැරි වෙන විදිහේ දුප්පත්කමක් තියෙනවා.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර


නව අදහස දක්වන්න

Or log in with...