ගේම්ස් අනාගතතේදි සමාජ උවදුරක් | දිනමිණ

ගේම්ස් අනාගතතේදි සමාජ උවදුරක්

ම. ප. තමීර මංජු

ක්‍රීඩා මාධ්‍යවේදීයකු සේ ම, ග්‍රන්ථ රචකයකු ද වන ම. ප. තමීර මංජු විසින් රචිත "සෙල්ලම්ද සෙල්ලම්" කෘතිය, ක්‍රීඩාවේ අප්‍රකට මෙන් ම අවධානයක් එල්ල නොවන ‍රසවත් දේ අලලා ලියැවුණකි. මේ, ඒ පිළිබඳ ඔහු හා කෙරුණු කතාබහකි.

මෙවැනි තේමාවක් යටතේ කෘතියක් ලිවීමට ඔබට මුල්වූ කරුණ මොකක්ද?

ක්‍රීඩා මාධ්‍යවේදියෙක් විදිහට මම 2008 වර්ෂයේදී සිරස ස්පෝර්ට්ස් ෆස්ට් සමඟ සම්බන්ධ වුණා. ගවේෂණාත්මක වාර්තාකරණයේ යෙදෙනකොට මට, අපි මෙතෙක් කතා නොකළ රසවත් දේ බොහෝමයක්, ඇස ගැටුණු ක්‍රීඩාවේ තිබෙන බව වැටහුණා. ඒ කාලේ වැඩියෙන්ම මම රග්බි ක්‍රීඩාව ගැන අවධානය යොමු කරමින් හිටියෙ. එක්තරා ක්‍රීඩා ඇමැතිවරයෙක් රග්බි බෝලෙ රවුම් නැත්තෙ ඇයි කියලා ප්‍රශ්න කරලා තිබුණු සිද්ධියක් ප්‍රසිද්ධ වුණා. එතැනින් තමයි මගේ අවධානය මේ සඳහා යොමු වුණේ. වෙනත් පන්දු ගෝලාකාරයි. රග්බි පන්දුව පමණක් ඕවලාකාරයි. එක පැත්තකින් ක්‍රීඩා ඇමැතිවරයෙක් “ඇයි රග්බි බෝලේ රවුම් නැත්තෙ?” කියලා අහන එක තුළ ම, අපේ ක්‍රීඩාවේ ක්‍රීඩා දේශපාලනය කියන ඛේදවාචකය පෙන්නුම් වෙනවා. අනෙක් පැත්තෙන්, මේ පිළිබඳ මිනිසුන් දැනුම්වත් කළයුතු බව මට වැටහුණා . ඒ අනුව තමයි මෙවැනි වෙනස් තේමාවක් ඔස්සේ ක්‍රීඩාව ගැන කතා කරන්න බලාපොරොත්තු වුණේ.

අපේ රටේ ක්‍රීඩා සාහිත්‍යයක් නෑ. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

ක්‍රීඩා සාහිත්‍යයෙන් තමයි ක්‍රීඩාව පිළිබඳ ඇල්මක් ඇති කරන්නෙ. ඒත්, අපේ රටේ ඒ ක්‍රීඩා සාහිත්‍ය එහෙම ප්‍රබල ලෙස දකින්න ලැබෙන්නෙ නෑ. අපි ක්‍රීඩා මාධ්‍යවේදීන් විදිහට, ක්‍රීඩාව ගැන උනන්දුවක් දක්වන අය විදිහට, ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න නම්, හුදෙක්ම ක්‍රීඩා තොරතුරු වාර්තා කිරීමෙන් පමණක් ම ඒ කාර්යය කරන්න බෑ. ඒ වෙනුවෙන් අපි ක්‍රීඩා සාහිත්‍ය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්න ඕනෙ කියලා හිතුවා. මම ඒ දේ කළා.

ඉස්සර ජන සාහිත්‍යයත් එක්ක ක්‍රීඩා සාහිත්‍යයක් ගොඩනැගිලා තිබුණා. හැම ජන ක්‍රීඩාවක් ආශ්‍රිතවම සාහිත්‍යයකුත් ගොඩනැගිලා තිබුණා. ඒ සාහි‍ත්‍යයෙන් තමයි ගැමි දරුවා ක්‍රීඩාවට යොමු වෙන්නෙ. නූතනයේ එවැනි තත්ත්වයක් දකින්න නෑ. මාපියන් තමන්ගේ ආශා ඉෂ්ට කර ගැනීමේ අරමුණෙන්, දරුවන් ක්‍රීඩාවට යොමු කරනවා. මේ දෙක අතර වෙනසක් තියෙනවා. අපට ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගන්න නම්, ශ්‍රී ලංකාව ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න නම්, ක්‍රීඩා සංස්කෘතියක් හා ක්‍රීඩා සාහිත්‍යයක් ඇති කරන්න ඕනැ. ඒ අරමුණෙන් තමයි මේ පොත ලිව්වෙ.

මීට අමතරව මේ කෘතිය රචනයේ තවත් අරමුණු තිබුණා?

මේ පොතෙන් ලැබෙන ශුද්ධ ආදායම “සේව් ද ස්පෝර්ට්ස්” සංවිධානයේ අරමුදලට බැර කරනවා. මට මේ පොත ලීවීමේ සමාජ අරමුණක් තිබුණා වගේ ම, ක්‍රීඩා අරමුදලක් ඇති කිරීමේ අරමුණකුත් ඇතිව තමයි මේ පොත රචනා කළේ.

ක්‍රීඩාවත් සමඟ ඉදිරියට යෑමේදී, ලොව වෙනත් රටවල් සහ අප කටයුතු කරන ආකාරය පිළිබඳ ඔබ යම් ආකාරයකින් සංසන්දනාත්මක විග්‍රහයක් ඉදිරිපත් කර තිබෙනවා?

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් කියලා අපි කියනවා. ඒත්, කිසිම තැනක ඒක නීත්‍යනුකූල ලෙස පිළිගැනීමකට ලක්වෙලා නෑ. ජාතික ක්‍රීඩාව වොලිබෝල් කියලා ගැසට් කරපු නිවේදනයක්, නීත්‍යනුකූලව එයට වලංගුභාවයක් ලබා දී ඇති බවක් අපට දකින්න ලැබෙන්නෙ නෑ. වොලිබෝල් ජාතික ක්‍රීඩාව විදිහට නම් කිරීමම දේශපාලන අවශ්‍යතාවක් මත සිදු වූ දෙයක්. ඒත්, වෙනත් රටවල්, විවිධ කෝණවලින් විමසා බලලා තමයි ඒ රටවල ප්‍රවර්ධනය කළ යුතු ක්‍රීඩාව ගැන තීරණය කරන්නෙ. එහිදී, රටේ මිනිසුන්ගේ ජානමය පදනම, ආර්ථික හැකියාව, සෑම මිනිසකුටම ප්‍රවේශ වීමට ඇති හැකියාව, ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමට ඇති හැකියාව ආදි සියල්ලම ඔවුන් සලකා බලනවා. චීනයේ ජාතික ක්‍රීඩාව ටේබල් ටෙනිස්. ඒ ක්‍රීඩාව ආගමක් වගේ ඒ මිනිස්සු අදහනවා. චීන ජාතිකයෝ ශරීරයෙන් කුඩා පුද්ගලයන්. ඒ අය කෙටි චලනයන්ට ඉතාමත් සුරුකම් දක්වනවා. ඒ අනුව ඔවුන් සුදුසු ම ජාතික ක්‍රීඩාව තෝරගෙන තියෙනවා. අවාසනාවකට අපේ රටේ, අපි ප්‍රවර්ධනය කළ යුතු ක්‍රීඩාව පිළිබඳ තාමත් සාකච්ඡාවක් නෑ. ක්‍රිකට් , අද අපේ රටේ ජනප්‍රිය වෙලා තියෙන්නෙ, අතීතයේ ඉහළ ධනපති පැලැන්තිය, ඉංග්‍රීසින්ගේ ක්‍රීඩාව විදිහට ක්‍රිකට් වැළඳ ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට මිසක්, එය රටේ අවශ්‍යතාව මත ඇති වූ දෙයක් නෙමෙයි. අපි අපේ රටට, අපේ ජනතාවට ගැළපෙන ක්‍රීඩාව මොකක්ද කියන එක ගැන අවබෝධයක් අරගෙන නෑ. අපි තාම ක්‍රීඩාව දිහා බලන්නෙ කොදෙව් මානසිකත්වයෙන්. ඒත්, ක්‍රීඩාව කියන්නෙ ලෝක දේශපාලනය, ආර්ථිකය මත, විශේෂයෙන්ම බලය කියන කාරණාව මත ක්‍රියාත්මක වන දෙයක්.

ක්‍රීඩා සාහිත්‍ය පෝෂණය උදෙසා ලියැවෙන කෘති සංඛ්‍යාව, සාහිත්‍යයේ අනෙක් අංශවලට සාපේක්ෂව ප්‍රමාණවත්ද?

කිසිසේත්ම නෑ. දියුණු මට්ටමේ හෝ සැලකිය යුතු මට්ටමේ ක්‍රීඩා සාහිත්‍යයක් ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන්නෙ නෑ කියන එක පැහැදිලිව කියන්න ඕනෙ. වෙන රටවල ක්‍රීඩා සාහිත්‍ය සම්බන්ධයෙන් විවිධ පොත පත ලියැවෙනවා සහ ඒවාට සම්මාන පවා ලැබෙනවා. ඒත්, අපේ රටේ සාහිත්‍ය සම්මාන උළලෙදිවත්, ජනමාධ්‍ය සම්මාන උළලදිවත් ක්‍රීඩා සාහිත්‍ය පිළිබඳ අවධානය යොමු වෙන්නෙ නෑ. හොඳ ම ක්‍රීඩා මාධ්‍යවේදියා තෝරනවා විනා , හොඳ ම ක්‍රීඩා සාහිත්‍යකරුවා තෝරන්නෙ නෑ. මේ දේ තමයි අපට තියෙන ලොකු ම ගැටලුව. අපේ අතීත ගැමි දරුවා ක්‍රීඩාවට යොමු වෙන්නෙ සාහිත්‍යයත් එක්ක. ඒත්, නූතන දරුවා සාහිත්‍ය අමතක කරලා, ක්‍රීඩාවට යොමු කරවනවා.

ක්‍රීඩාව ඇඟේ තියෙන දෙයක් නොවන බවට පත් වුණාම, අපි ක්ෂණිකව ජයග්‍රහණ ලබනවා වුණත්, පවත්වාගෙන යෑමේ නොහැකියාවක් තියෙනවා. ක්‍රීඩා සාහිත්‍ය බොහොම පුළුල් විෂයයක්. ඕනැම රටක ක්‍රීඩා සාහිත්‍ය විග්‍රහ කිරීමේදී, ක්‍රීඩා සංස්කෘතිය විග්‍රහ කිරීමේදී, ඒ රටේ ජනතාවගේ ජීවන චර්යාවත් හඳුනා ගන්න පුළුවන්. ක්‍රීඩා සාහිත්‍ය උපයෝගී කරගෙන, ක්‍රීඩාව ගැන ජනතාවට උනන්දුවක් ඇති කරන්නත්, රටේ ගමන තීරණය කරන්නත් පුළුවන්. ඒත්, සාපේක්ෂව ගත්තහම, අපේ රටේ ක්‍රීඩා සාහිත්‍යයට දක්වන උනන්දුව ඉතා ම අඩුයි. සුසන්තිකා ජයසිංහගේ, ඩන්කන් වයිට්ගේ ජීවිත ඇසුරෙන් බිහි වූ නිර්මාණ කීයද තියෙන්නෙ? එවැනි පුද්ගලයන් ඇසුරෙන් නිර්මාණ බිහි කළ යුත්තේ ඔවුන් වර්ණනා කිරීමට පමණක් නෙමෙයි, ඒ ඇසුරෙන් අනෙක් පුද්ගලයන් ක්‍රීඩාවට යොමු කිරීමත් ඉලක්ක කරගෙනයි.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපි අතර ඇති වැරැදි වහර මතු කර දැක්වීමට තැත් කිරීම මඟින් ඔබ අපේක්ෂා කරන්නේ, ඒ සම්බන්ධයෙන් යම්කිසි නිවැරැදි කිරීමක් කිරීමටද?

වාග් විද්‍යාත්මකව ගත්තහම, පොදු ජනතාවගේ වැරැදි වහර පසු කාලීනව නිවැරැදි වහරක් බවට පත් වෙනවා. ඒක තමයි වාග් විද්‍යාත්මක සිද්ධාන්තය. ක්‍රිකට් ක්‍රීඩාවෙත් ඒක තමයි වෙලා තියෙන්නෙ. ක්‍රිකට්වල All out කියන එක අපි දන්නවා. All out කිව්වට එක ක්‍රීඩකයෙක් අනිවාර්යෙන්ම not out ඉන්නවා. හැබැයි අපි All out කිය කියා පාවිච්චි කරනවා. ඒ එක් උදාහරණයක් විතරයි. ඒත්, මම උත්සාහ කරන්නෙ ඒවැනි දේ නිවැරැදි කීමට නෙමෙයි. මම මේ ක්‍රිකට් ක්‍රීඩාවේදී පෙන්නුම් කරන්න උත්සාහ ගන්නෙ, මේ වහරේ තිබෙන සුන්දරත්වයයි. වැරැදි තැන් නිවැරැදි කරනවා නම් හොඳයි. ඒත්, ඒ නිවැරැදි කිරීම කළ යුත්තේ, ඒ වැරැදි වහර ජනගත වීමට පෙරයි.

සිංහල ක්‍රිකට් වහර වැරැදි භාවිතවලට ගිහින්. දැන් ඒක ජනගත වෙලා. ඒක නිවැරැදි කිරීමට වඩා, මම උත්සාහ ගන්නෙ එහි ඇති උපහාසය සහ හාස්‍ය මතු කරන්නයි. යම් කිසි අවස්ථාවක ක්‍රිකට් විචාරකයන්ට අවශ්‍ය නම්, සම්මතකරණයක් කරන්න පුළුවන්. එහෙම කළොත් තමයි ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩාවක් විදිහට අමතරව, විෂයයක් විදිහටත් ඉදිරියට ගෙනියන්න වෙන්නේ. අද අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව, වෘත්තීය සහ විෂය මට්ටමේ නෑ.

ඔබ මෙහි දක්වන “Blue Whale Challenge”වැනි මාරාන්තික ක්‍රීඩාවලින් , අනාගත පරපුර රැක ගැනීමට පිළියමක් විදිහට යෝජනා කරන්නේ කුමක්ද?

අපට කරන්න පුළුවන් එක ම දේ මහජනතාව දැනුම්වත් කිරීම විතරයි. මේ පොතේ එක පරිච්ඡේදයක දී , Games සහ Sports අතර වෙනස මම සඳහන් කරනවා. මේ පොත ඇරෙන්න වෙන කිසි ම තැනක ඒ පිළිබඳ විග්‍රහයක් කෙරෙනවා කියලා මම නම් හිතන්නෙ නෑ . ඒ කියන්නෙ අපි Games හඳුනගෙනත් නෑ. Sports කියන්නෙ මොකද්ද කියලා හඳුනගෙනත් නෑ. ඉදිරියේදී ලෝකෙට එන Games , ප්‍රබල සමාජ උවදුරක් බවට පත් වෙන්න පුළුවන්. අපි දකින ක්‍රිකට් ක්‍රීඩාව, වොලිබෝල් ක්‍රීඩාවෙනුත් සමාජ උවදුරු ඇති වෙන්න පුළුවන්. ඒ හරහා බුකි ව්‍යාපාර සහ ඔට්ටු ඇල්ලීම් වැනි අයහපත් දේ ඇතිවිය හැකියි .

අන්තර්ජාලය සහ පරිගණකය හරහා, ඒ කියන්නෙ ස්මාර්ට් තාක්ෂණය පැමිණීමත් සමඟ වර්ධනය විය හැකි ගේම්ස්වලින් ඇති විය හැකි උවදුරු, ඊට අමතර භයානක දේ විදිහට දක්වන්න පුළුවන්. දැනටමත් ලෝකයේ ඒ පිළිබඳ සාකච්ඡා වෙනවා. චිත්‍රපටවලින් වංකගිරි නිර්මාණය කරලා, ඒවායේ ක්‍රීඩා කරන්න තරුණ තරුණියො යොමු කරන ආකාරය ගැන සමහරවිට අපි දකිනවා . මෙවැනි දේ ලෝකයේ නිෂ්පාදනය වෙන්න පුළුවන්. මා සඳහන් කළ Blue Whale Challenge ක්‍රීඩාව ලෝකයේ ක්‍රියාත්මක වුණු සංවිධාත්මක ව්‍යාපාරයක් බවට පත් වුණා. ඒ ක්‍රීඩාවට යොමු වෙලා, ඉන්දියාවේ දරුණු ලෙස තරුණ තරුණියෝ මියයෑම හේතුවෙන්, අවසානයේ ඉන්දියාව තුළ ඒ ක්‍රීඩාව තහනම් කළා. මේවා මම හඳුන්වන්නෙ, ස්මාර්ට් ගේම්ස් කියලයි. මේ උවදුර අපි කල්තියා අඳුනගෙන, මේ උවදුරුවලින් මිදෙන්න සූදානම් වෙන්න ඕනෙ.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න

Or log in with...