කැඩපතක් බඳු කවි පොතක් | දිනමිණ

කැඩපතක් බඳු කවි පොතක්

මාධ්‍යවේදී කොත්මලේ සිරිසේනගේ 'මඟ හැරුණු රාත්‍රිය' කවි පොත හයිකු කවි සම්ප්‍රදායට හා එහි හැඩ රුවට නෑකම් කියයි. ඔහුගේ කවි සංක්ෂිප්ත ය. අදහස් අතින්ද ගැඹුරු ය. ගද්‍යයෙන් ලියනවා නම් මේ අරුත් මතුකර ගන්නට පිටු ගණනක් පුරා ලිවිය යුතු ය. මේ පේළි තුන හතරේ ගැඹුරු කියැවීම, ඔහුගේ නිසඟ කවි ශක්තිය මැනවින් විදහාපායි.

සිරී, ජීවිතයේ විවිධ ගැඹුරු කරුණු, කාරණා සිය කවියට වස්තු විෂයය කර ගනී. ප්‍රේමය, විවාහය බඳු සුලභ මාතෘකා පමණක් නොව, නව තාක්ෂණවේදය පවා ඔහුගේ කවි ඇසට හසුවී තිබේ. තව තවත් වෙනස් රිද්ම ඔස්සේ සිය කවි කල්පනා මෙහෙයවූවා නම්, මේ කවි පොත තව තවත් රසවත් වන්නට තිබුණා යැයි මට වරෙක හිතේ. විටෙක මේ ඒකාකාරී රිද්මය වෙනස් කර, කවිවල අර්ථය තීව්‍ර කරන්නට භාව චිත්‍ර මහත් පිටිවහලක් සපයයි. කවියාගේ ඇස ගිය තැන් දෙස මොහොතක් කල්පනා කරමු.

හොරෙන් කෑ
‍තහනම් ගෙඩිවල
ඇට
පසුදා ගම පුරා
පැළවී තිබිණි.
(21 පිටුව)
බණ පොත
නිදි කිරයි
රාක්කයේ
චෙක් පොත
අවදියෙන්
සේප්පුවේ
(22 පිටුව)

කවියා තම අවට සමාජය දෙස කෙතරම් අවදියෙන් සිටීද යන්න, මේ කවිවල විවිධ තේමා අපට පසක් කර දෙයි.

බිරියෝ යති
විහාරයට
සැමියෝ යති
අවන්හලට
(38 පිටුව)
මහ රෑ
යහන මත දුටු
අනුරාගී සිතුවම
සොරාට
අමතක කළේය
සොරකම
(41 පිටුව)

ඔහුගේ කවි සිතුවිලි අවට ලෝකයට වඩා බො‍හෝ දුර ඈත සැරි සරයි. ඒවා විෂයය අතින් ද, විවිධ හැඩතල ගනී. එනිසා ම මේ කවි විවිධ රස ප්‍රිය රසිකයන්ගේ හද බැඳ ගැනීමට තරම් පොහොසත් ය. ඒකාකාරී විෂය ඔස්සේම නොගොස්, විවිධ මාතෘකා ඔස්සේ කවි සිත මෙහෙයවීම කවියාගේ හපන්කමකි.

හරි හම්බ කර
ජීවිතය
වැලඳගන්න
සූදානම් වෙද්දී
මෙන්න
මරණය
ගේ දොරකඩ
(50 පිටුව)
හැඩ වැඩ
සැලුන්
යුවතියෝ
අන්දමින්
අන්දවයි
(60 පිටුව)

'සැලුන්' කවියාගේ නිර්දය විවේචනයට ලක් වන්නේ, පේළි පහක පුංචි කවකිනි. කිසියම් අනුප්‍රාසයක් මඟින් කවියා ගෙනහැර දක්වන ජීවිතා‍බෝධය කෙතරම් වැදගත්ද? වචනයක වෙනස මඟින් කවියා කවියෙන් කරන ශිල්ප හරඹය, නව කවි කිවිඳියන්ට කිසියම් ආලෝක ධාරාවක් සපයයි.

කුස පිරවූ
ආහාර
සිරුර
අතහැර ගියේය
හිස
පිරවූ
ආහාර
තැන්පත්ව
පෝෂණය කළේය
‍ජීවිතයම
(44 පිටුව)

යටිපෙළ මතුකරලීමෙහිලා කවියා දක්වන නිර්මාණ කුසලතාව, බො‍හෝ කවිවලින් මතුවී පෙනේ. ව්‍යාංගය කවියාගේ කවියට ආභරණයක් වී ඇතුවා සේ ය. උවැසියකගේ ඇතුළු හදවත කවියා ලෝකයට නිරාවරණය කරන්නේ මෙසේ ය.

අතීතය
වැරෙන්ම
බැඳ තබන්න
ඇය
නවගුණ වැලක්
ලට ගත්තාය
(46 පිටුව)
අඳුරේ හැඩය
නිදහසේ
දැකගන්න
ජීවිතයට
ඇස් දුන්නේ
හිරුමය
(49 පිටුව)

හිරු නො‍වන්නට අප අඳුරේ හැඩය දැකගන්නේ කෙසේද? කොත්මලේ සිරිසේන කවියා සොබා දහම ඇසුරින් අප දකිනවාට එහා ගිය ගැඹුරක් දකී. සත්තකින්ම කවියාගේ කාර්යභාරය විය යුත්තේ එයම නොවේද!

ධර්මරත්න පෙරේරා

නව අදහස දක්වන්න