දාමරික උපාසක රවි | දිනමිණ

දාමරික උපාසක රවි

රවි ග්‍රහයා තේජාන්විත ය. රවි යනු හිරුට කියන තවත් නමකි. කිසියම් පුද්ගලයකුගේ කේන්දරයේ ලග්න භාවයේ රවි තැන්පත් වීම සුබ ලකුණකි. මෙවැනි පුද්ගලයෝ මනා පෞරුෂත්වයකින් යුක්ත වන අතර සමාජයට ඉතා වැඩදායික ලෙස හැසිරෙති.

යම් පුද්ගලයකුගේ කේන්දරයේ රවි ග්‍රහයා මේෂ රාශියේ තැන්පත් වී නම් රවි උච්ච යැයි කියැවේ. මෙවැනි පුද්ගලයන් ඉතා ආඩම්බරය, මාන්නාධිකය. සමාජය ඔවුන් දෙස බලන්නේ මැඩගත් කෝපයෙනි. මේ රවි ග්‍රහයාම යම් පුද්ගලයකුගේ කේන්දරයේ තුලා රාශියේ තැන්පත් නම් ඔහු ඉතා නම්‍යශීලී පුද්ගලයෙකි. යටහත් පහත්ව කාගේත් සිත් දිනාගෙන වැඩ කරයි. යම් පුද්ගලයකුගේ කේන්දරයේ තුන් වැන්නේ රවි තැන්පත් වූයේ නම් ඔහුට අසහනය ගෙන දෙයි.

ප්‍රථිපල එකකට එකක් වෙනස් නම් ඉහත සඳහන් සෑම අවස්ථාවකදීම මුල් වූයේ එකම ග්‍රහයෙක් පමණි. එකම ග්‍රහයා, තැන්පත් ස්ථානය අනුව විවිධාකාර ප්‍රථිපල ලබා දෙයි. මිනිසුන් වන අපිද එසේම වෙමු. උත්පත්ති ග්‍රහ බලය කුමක් වුවත් එම පුද්ගලයා ක්‍රියාත්මක වන ස්ථානය අනුව ගති ගුණ ද ප්‍රකාශයට පත් වන්නේ ඉන්නා තැන අනුවය. දාමරිකයකු වුවත් පන්සලට ගිය විට උපාසක වෙස් ගනී.

එහෙත් පුද්ගලයකු සතුව සහජයෙන්ම පිහිටන ගති ලක්ෂණ සහමුලින්ම වෙනස් වන්නේ නැත. රවි ග්‍රහයා උච්චව සිටියදී උපන් පුද්ගලයා කොහොමටත් ආඩම්බර කාරයෙකි. රවි ග්‍රහයා නීචව සිටියදී උපන් තැනැත්තා බොහෝ විට සූත්තරයෙන් තම කාර්යය ඉටුකර ගන්නා තැනැත්තෙකි. සෑම සියලු දෙනෙක්ම තමාගේ සැබෑ ප්‍ර‍කෘතිය හඳුනාගන්නේ නම් ඔහුට තමාගේම අඩු පාඩු කම් අවබෝධ කර ගත හැකිය. එය ශාස්ත්‍රානුකූලව ඉගෙන ගැනීමට ඇති හොඳම ආකාරය නම් ජ්‍යොතිෂය අධ්‍යයනය කිරීමය. බොහෝ දෙනා කේන්දර බලන්නේ අනාගතයේ මිල මුදල් යාන වාහන උසස් තනතුරු දැවැදි සහිත රූබර බිරියක් තමාට ලැබෙයිද යනාදිය දැන ගැනීමටය. එහෙත් තමාගේ ප්‍රකෘති ස්වරූපය කුමක් දැයි හඳුනා ගැනීමට කේන්දරය පිරික්සන පුද්ගලයන් අතිශයින්ම දුර්ලභය. ඇතැම් විට එවැනි පුද්ගලයන් නැතුවාම විය හැක.

එහෙත් කේන්දරයෙන් මුලින්ම පිරික්සා බැලිය යුත්තේ තමාගේ ප්‍රකෘති ස්වරෑපය කෙබඳුද යන්නය. එය නොදැන කුමක් ලැබුණත් ඵලක් වේද? තමාට තමා හඳුනා ගත නොහැකිනම් අන් අය හඳුනා ගන්නේ කෙසේද? කී පරිදිම තමා ගැන නිසි අවබෝධයක් නැතිව ලෝකය ජය ගන්නේ කෙසේද? යන්න ප්‍රශ්නයක් නොවන්නේද? සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත. එය කවුරුත් දන්නා සිද්ධාන්තයකි. එහෙත් පුද්ගලයකු සිත, කය, වචනය යන තුන් දොරින් සිදුකරන ක්‍රියා කෙරෙහි ලැබෙන ප්‍රතික්‍රියාව එතරම්ම සරළව තේරුම් ගැනීමට නොහැක. සාමාන්‍ය මිනිසා පින පව යනුවෙන් හෝ කුසල අකුසල වශයෙන් හෝ ලැබෙන ප්‍රතික්‍රියාව තේරුම් ගනී. යම් කිසි කේන්ද්‍රයක සුබ ග්‍රහයන් සුබ දශාවකදී සුබ පල දෙන්නේ එම පුද්ගලයා පෙර භවයක කරන ලද පින්කම් නිසාය. මේ පුද්ගලයාම මේ භවයේත් ධාර්මික ජිවිතයක් ගත කළේ නම් ඒ ලැබෙන පිනෙහි ආනිසංශය තව දුරටත් ඉහළ යයි.

එසේම යම් පුද්ගලයකුට අශුභ දශාවක දී අසුබ ග්‍රහයෙකු විසින් දුර්විපාක ගෙන දෙනු ලබන්නේ ද එම පුද්ගලයා පෙර භවයේ කළ පව් මතය. මෙවැනි පුද්ගලයකු මේ භවයේදීත් තව දුරටත් පාප ක්‍රියාවන් හි යෙදෙන්නේ නම් ඔහුට ඉතා දරුණු විපාකවලට භාජනය වන්නට සිදුවේ. මේ බව දැනුම් තේරුම් ඇතිව දුක හා සැප සම සිතින් විඳීම මනස දියුණු කළ පුද්ගලයාගේ ගති ලක්ෂණයකි. අපල කාලයට කොතරම් බෝධි පූජා කළත්, යන්තර මන්තර, යාතුකර්ම කළත් ඒවායින් පිහිටක් නොලැබෙන අවස්ථා ද තිබේ. එසේ වන්නේ කළය නොපිට හරවා ජලය වත්කරන්නාක් මෙන් සිත කය වචනය යන තුන්දොර හික්මවා නොගෙන අපල දුරුකර ගැනීමට යන්තර මන්තරවලින් පමණක් හැකි යැයි සිතන නිසාය.

සැබැවින්ම අපල දුරුකර ගැනීමට හැකි හොඳම මාර්ගය නම් සම සිතින් දුක් කරදර විඳ දරාගන්නා අතර තව තවත් බලවත් කුසල කර්ම සිදුකිරීමෙන් රැස්කර ගන්නා වූ ප්‍රාණ ශක්තියෙන් පෙර භවයන්හි කරන ලද අකුසල කර්ම යටපත්කර ගැනීමට උත්සාහ ගැනීමය. එසේ නොමැතිව ලක්ෂ ගණන් මුදල් වැය කර යන්තර මන්තර හා යාතුකර්ම සිදු කොට මුදල් බලයෙන්ම ග්‍රහයන්ට අල්ලස් දී අපල කර්මවලින් බේරීමට සිතන්නේ නම් එය හරියට සමාන වන්නේ පොල් කටුවකින් ලෝකය ආවරණය කිරීමට දරණ නිරර්ථක උත්සාහයක් ලෙසය.

කේ.සී.ජේ. රත්නායක

නව අදහස දක්වන්න