වරාහ මිහිරය | දිනමිණ

වරාහ මිහිරය

තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ

ධන්වන්තරී, ක්ෂපනකය, අමරසිංහ, සංකුය, වේතාලභඨ්ඨය, සඨකර්පය, කාලි දාසය, වරාහ මිහිරය, වර රුචිය යන මෙම මහා පඬිවරු නවදෙනා වික්‍රම රජහුගේ රාජ සභාවේ මහා පාණ්ඩිත්‍ය, නවරත්නයෝ වූහ.

ශකු වසින් හයවන සියවසේ පමණ ලොව පහළවූ වරහ මිහිර නැමති විද්වත් පඬිවරයා දීර්ඝ අධ්‍යාංශ 408 පමණ ඇතුළත්ව ලේඛනගත කර ඇති වරහ මිහිරය නම් වූ මෙම ජ්‍යොතිෂ මූලග්‍රන්ථය ඇසුරුකොට වාග් භඨ්ඨාචාර්ය ශ්ලෝක 7500කින් යුතු චින්තාමනී ටීකාව ශත වර්ෂ 208 කරවන ලදි. වර්තමානයේ සෑම ක්ෂේත්‍රයකම පාහේ ලෝකයේ අනාවැකි පළකරන ජ්‍යොතිෂ කටයුතුවල නියැළි සිටින සෑම පුද්ගලයකු විසින්ම අනාවැකි පළකිරීම සඳහා විශේෂයෙන් භාවිතා කරන වරාහ මිහිරය, වෘහත් සංහිතාව, නාරිවේධ සංහිතා, නාඩි වාක්‍ය, සංහිතා සූරිය සිද්ධාන්ත, චන්ද්‍ර සිද්ධාන්තය නොහොත් චූල නක්ෂත්‍රය වැනි මහා වේධ ග්‍රන්ථ සහ වාස්තු සිද්ධාන්ත වැනි ගෘහ කර්මාන්ත පිළිබඳව සුවිශේෂවූ මහාග්‍රන්ථ රාශියක්ම කරවා ඇත්තේ වරාහ මිහිරාචාර්ය විසිනි.

වරාහ මිහිරාචාර්ය ප්‍රමුඛ මහා පඬිවරයින් වන ඍෂින් නවදෙනා පිළිබඳ මනා ලෙස විග්‍රහ කෙරෙන ‘නවරත්නය’ නමැති කෘතිය මූලික පිරිවෙන් පෙළ පොත් අතර ප්‍රධානතම ග්‍රන්ථ රත්නයක් ලෙස රත්නාභි වෛවර රුචිර්නව වික්‍රමස්‍ය යන ප්‍රථම ශ්ලෝකයේ අවසන් පද්‍යයෙන්ම විකාශනය වේ.

ජ්‍යොතිෂය වූ කලී නක්ෂත්‍ර ග්‍රහ තාරකා පිළිබඳ ශාස්ත්‍රයයි. එය ඍෂි භාෂිතයයි. ඍෂි භාෂිතය ලෝකයේ බොහෝ විද්වතුන් අතර ජනප්‍රිය භාෂිතයකි. ඒ අනුව වරාහ මිහිරය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පරීක්ෂණ, නිරීක්ෂණ, අන්වර්ථන, පරිවර්තන වැනි ක්‍රියාවන්හි නියැළි ඇත්තේ අනණ්‍යය ආගමිකයින් හා විවිධ විදෙස් ජාතිකයින් වන ඇත් සිද්දම්බර් අයියාර්, ආචාර්ය බැන්ට්ලි, ආචාර්ය එම්. කර්නතුමා, ආචාර්ය ඇල් බැඩිට් විම්බර්, ආචාර්ය වැස්ටර් ගර්ඩ්, ආචාර්ය මොනියර් විලියම්ස් යන උගත් ශ්‍රේෂ්ඨ මහා පඬිවරුන් විසිනි.

මහා පඬිවරයින් ඉදිරිපත්කර ඇති ජ්‍යොතිෂවේදය, වාස්තුවේදය වැනි ඍෂි භාෂිතයට වර්තමානයේ ඇතැම් පුද්ගලයෝ “මේවා යල්පැනපු බමුණු මත” යනාදී වශයෙන් වහසි බස් දොඩවති.

එම යුගයේ එම තනතුරු හෙබවූවන් වර්තමානයේ මහාචාර්යවරයකුට වඩා අධ්‍යාපනයෙන් උසස් පිරිපුන් පුද්ගලයන්ය.

මහා ග්‍රන්ථ අතර ධන්වන්තරි ඍෂින් විසින් ලොවට දායාදකර ආයුර්වේදය අදට වසර දහස් ගණනක් ගෙවී ඇතත් වර්තමානය වනවිට ලෝකය පුරා ව්‍යාප්තව කෝටි සංඛ්‍යාත පිරිසකට ඉමහත් සේවයක් සිදුවනු ඇත. අනාගතයේදී අනන්ත අප්‍රමාණ ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස ඉර හඳ පවතිනාතුරු ආයුර්වේද විෂය ලොව බබළනු ඇත.

එමෙන් එම පඬිවරයින් අතර ගණිත විද්‍යාවෙන් අග්‍රගණ්‍ය ගණයේ ලා සිටි මහා විද්වත් පඬිවරයකු වන වරාහ මිහිරාචාර්යයන්, ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ මූල ග්‍රන්ථ රාශියක් ලොවට දායාද කර ඇත.

වර්තමානයේ ඒවායින් ප්‍රයෝජන ගැනීමට මෙන්ම එම විෂයන් නිසිලෙස අධ්‍යනය කර අවබෝධකර ගැනීමට තරම් ප්‍රඥාවෙන් යුතු පිරුණු පඬිවරයින්ගේ පහළවීම දුර්වලය. එය ජාතියේ ඉමහත් අවාසනාවක් ලෙස සැලකිය හැකිය.

කෙනකුගේ ජීවන ගමන්මගේ අඳුර - ආලෝකය, බැබළීම - නිවීම, සැනසීම - වැනසීම, දිනුම - පැරදුම, විජයග්‍රහණය - පාපග්‍රහණය යනාදී අදහස්වලින් හුවාදක්වනු ලබන කරුණු පිළිබඳ යථාර්ථවාදී සුබාසුබ පලවිපාක ගෙනහැර දැක්වේ. එය අන් සෑම ශාස්ත්‍රයකටම වඩා ජ්‍යොතිෂය මඟින් විනිවිදව දැකිය හැකිය.

එපමණක් නොව ග්‍රහ නක්ෂත්‍ර තාරකා, ධූමකේතු, වල්ගා තරු, ඉරු සඳු රාහු මූලික කර ඇතිවන ග්‍රහණ පීඩාකාරි තත්ත්වයන් තුළින් බලපාන ඵලවිපාක ද වියත් පණ්ඩිත ශාස්ත්‍රඥයකුට වරාහ මිහිරය තුළින් නිවැරදිව දැක්විය හැකිය. ඒ නිසාම මෙම ශාස්ත්‍රය පිළිබඳ යථාර්ථවාදිත්වය බුද්ධි ගෝචර මහා ප්‍රඥාවන්තයින්ට මිස නාමගෝත්‍ර අඥානයින්ට ගෝචර නොවේ.

ජ්‍යොතිෂ ශාස්ත්‍රය කෙනකුගේ උපතේ සිට මරණය දක්වා සිදුවන වැදගත් සෑම ක්‍රියාවලියකටම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වන මහඟු වටිනාම වේධ ශාස්ත්‍රයකි. ඒ සෑම කරුණක්ම වරාහ මිහිරයට අනුව විසඳිය යුතුය.

නැකත් සෑදීම, කේන්දර බැලීම, වාස්තු විද්‍යාව, නිමිති බැලීම, යන්ත්‍ර මන්ත්‍ර සෙත් ශාන්ති කර්ම සහ බෝධි පූජා වැනි කටයුතු කෙරේ රටේ විද්වතුන් ලෙස පෙනී සිටින පිරිසක් උපක්‍රමිකව මෙම ශාස්ත්‍රීය අංශයන් සමාජයෙන් උකහා දැමීමට ක්‍රියාකරන බව පැහැදිලි වේ. වර්තමානයේ මිනිසාගේ ආයුෂය, වර්ණය, සැප බල ප්‍රඥා සම්පත්තීන් එන්න එන්නම වේගයෙන් පිරිහී යයි. මෙවැනි කාල වකවානු තුළ ලෝකයට සුගතියක් අත් නොවේ.

නව අදහස දක්වන්න