‘‘මා දැන් මළකඳක් මිස අන් කිසිවක් නොවේ, ළිඳක පතුලක තිබෙන සිරුරකි. මම මගේ අවසන් හුස්ම ඇද්දේ බොහෝ වේලාවකට කලින් බැවින්, මගේ හදවත සිය ගැස්ම නවතා ඇත. ඒ තුච්ඡ මිනීමරුවා හැර කිසිවකු මට කුමක් සිදුවූයේ දැයි දන්නේ ද නැත’’ ඔර්හන් පමුක් සිය MY NAME IS RED නවකතාව පුරන්නේ එසේය.
බෝම්බ පුපුරන, වෙඩි හඬ ඇසෙන, ඒ අතර ආදරය ද දැනෙන යුගයක මිනිස් ජීවිත අපූරු අරුමැසි දාර්ශනික ආකාරයකින් ගෙත්තම් කරන පමුක්, 2006 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට ද හිමිකම් කීවේය.
දාර්ශනික ත්‍රාස කතාවක් ලෙස MY NAME IS RED හඳුන්වන ගාඩියන් හි හබල් විලියම්ස් එය විසමාකාර ලෝක ශිෂ්ටාචාර දෙකක් යාකරන දෝනාවක් බව ද පවසයි.
අප මිත්‍ර සනත් බාලසූරිය MY NAME IS RED සිංහලයට නඟා ඇති බව මා දැනගත්තේ ඔහු විසින් තබන්නට යෙදුණු මුහුණු පොතේ සටහනක් මඟිනි. ඒ දැන ඇතිවූ ආනන්දය මා ඔහුට Comment කළේ පමුක්ගේ Snow කෘතිය පිළිබඳ යම් සටහනක් ද සමඟිනි.
ඊට දින කිහිපයකට පසුව අප මිත්‍ර ජනක ඉණිමංකඩ ද තම ප්‍රකාශන ආයතනය මඟින් MY NAME IS RED,
The Red Haired Women, Strangness In My Mind යන පමුක්ගේ කෘති සඳහා ප්‍රකාශන අයිතිය ලබාගෙන ඇති බවත් එම කෘති සිංහල බසින් පළකිරීමේ අයිතිය ඇත්තේ තම ආයතනයට බවත් අදාළ කෘති පරිවර්තනය කිරීම සඳහා වෙන් වෙන්ව පරිවර්තකයන් දෙදෙනකුට බාර දී ඇති බවත් මුහුණු පොතෙහිම සටහනක් යොදා තිබුණි.
පරිවර්තන කාර්යයේදී මා මුහුණ දුන් ප්‍රකාශන හිමිකම පිළිබඳ අවස්ථා දෙකක් මෙහිදී සිහිපත් වේ. එකක් මා විසින් පරිවර්තනය කරන්නට යෙදුණු රෝල් ඩාල්ගේ ‘ඩැනී’ කෘතිය සම්බන්ධයෙනි. මා ඩැනී පරිවර්තනය කළේ ‘තාත්තයි මමයි’ යන නමිනි. කෘතිය පළවූ පසුව එක් ප්‍රකාශන ආයතනයක් මට ලිපියක් එවමින් රෝල් ඩාල්ගේ කෘති සිංහල බසින් පළකිරීමේ අයිතිය තමන් සතු බව දන්වා තිබුණි. එහෙත් ඒ සම්බන්ධව වැඩිදුර පියවරක් ගන්නට ප්‍රකාශන හිමිකම ඇති ප්‍රකාශන සමාගම ඉදිරිපත් වූයේ නැත.
ඉන් වසර ගණනාවකට පසුව නැවතත්, මයිකල් මෝපගෝ ගේ ‘බෝන් ටු රන්’ කෘතිය සිංහලයට නඟා මා එක්තරා ප්‍රකාශන සමාගමක් මඟින් ප්‍රකාශයට පත්කළ අතර එහිදී ද මෝපගෝ මෙරට දී පළකිරීමේ අයිතිය තමන් සතු බව රෝල් ඩාල්ගේ ප්‍රකාශන හිමිකම මෙරට දරන සමාගම විසින් ම මටත් මගේ පොත ප්‍රකාශයට පත්කළ ප්‍රකාශන සමාගමටත් දන්වා තිබුණි. එතැනදී ද ඉහත කී ප්‍රකාශන අයිතිය හිමි සමාගම වැඩිදුර ක්‍රියාමාර්ගයක් නොගත් නමුත් ඉහත තත්ත්වය සිය වාසියට යොදාගත් කෘතිය පළකළ සමාගම මගේ කර්තෘ භාගයෙන් කොටසක් නොගෙවා ඉන්නට පොටක් පාදාගත්තේය.
1979 බුද්ධිමය දේපළ පනත අනුව කෘතියක් පළවී වසර දහයකට පසුව ප්‍රකාශන අයිතිය ලබා නොගෙන එය සිංහල බසින් පළකරන්නට හිමිකම් තිබුණු නමුත් 2003 නව බුද්ධිමය දේපළ පනත අනුව ඒ සඳහා කෘතිය පළවීමෙන් වසර 70 ක කාලයක් ගතකරන්නට සිදුව තිබේ. කෙසේ වෙතත් මෙරට පළවන බොහොමයක් කෘතිවලට මුල් ලේඛකයන්ගෙන් හෝ ඔවුන්ගේ ප්‍රකාශයන්/ ප්‍රකාශන කළමනාකරුවන්ගෙන් හෝ අවසර ලබාගැනීමක් සිදුවන්නේ නැත. ඇතැම් විටෙක ප්‍රකාශන අයිතිය ඉල්ලා මුල් කෘතිවල හිමිකරුවනට යැවෙන ලිපිවලට පිළිතුරක් හෝ ලැබෙන්නේ නැත.
ආණ්ඩුවට බදු ගෙවන්නට නොහැකිව නාහෙන් අඬන්නටත්, මාධ්‍ය සාකච්ඡා පවත්වන්නටත් සිදුව ඇති දුප්පතුන් පිරිසක් වන මෙරට ලේඛකයනට පිටරටකට මුදල් ගෙවා ප්‍රකාශන අයිතිය ලබාගන්නට වත්කමක් ඇත්තේ ද නැත. ප්‍රකාශන ආයතන සම්බන්ධයෙන් ගත්කල ද ආයතන එක දෙකකට එවැනි හැකියාවක් තිබිය හැකි වෙතත් බොහොමයකට නැත.
ජාත්‍යන්තර නීතිය සම්බන්ධව කෙසේ වෙතත් මෙරට සාහිත්‍ය ප්රබෝධය සම්බන්ධයෙන් සලකා බලන්නකුට නම්, වත්මන් බුද්ධිමය දේපළ පනත යනු සාහිත්‍ය දියුණුවට බාධාවනු පිණිස එල්ලු අඩයාලමක් ලෙස පෙනී යනවා ඇත. බුද්ධිමය දේපළ පනතට අනුව කටයුතු කරන්නට ගියහොත් ලෝකයේ සාහිත්‍යයේ නූතනකම් මෙරට සිංහල පමණක් කියවන පාඨකයාට කවරදාකවත් ස්පර්ශ කරන්නට ඉඩ නොලැබෙනු ඇත. ප්‍රකාශන හිමිකම් ලබා නොගෙන මෙරටදී කෘතියක් පළකළ හැක්කේ කෘතිය එරටදී පළවී වසර 70 කට පසුව වන බැවිනි. එවිට මෙරට පාඨකයාට පරිවර්තනයකොට කියවන්නට ලැබෙන්නේ වසර 70 ක් පැරණි සාහිත්‍ය පමණි. 70 වසරක් තිස්සේ ලෝක සාහිත්‍යය එක තැන රැඳී නොතිබෙන බැවින් අපට උරුමවන්නේ පිළුණු සාහිත්‍යයක රසවිඳින්නටය. එකී බැරියරය ගලවා දමා මෙරටට නැවුම් විදෙස් සාහිත්‍යය හඳුන්වා දෙන්නට වෙනත් රටවල මෙන් රජය හෝ සමාගම් හෝ කටයුතු කරන්නේ ද නැත.
කලෙක මෙරටට රුසියානු, චීන ආදී සාහිත්‍යය පරිවර්තනය කළ රාදුගා, ප්‍රගති, මාර්ග වැනි ප්‍රකාශන ආයතන තිබුණි. ඒවාහි පරිවර්තන කටයුතුවලට ප්‍රමිතියක් හා විධියක් ද තිබුණි. එහෙත් වර්තමානයේ මෙරට සාහිත්‍ය පරිවර්තනය යනු අප වැනි දුහුනන් කාටත් කළ හැකි සරල කටයුත්තක් බවට පත්ව තිබේ. එවැනි වටපිටාවක යම් කෘතියක හෝ ලේඛකයකුගේ පරිවර්තන ප්‍රකාශන අයිතිය පුද්ගලයකුට හෝ ආයතනයකට පමණක් හිමිවීම ව්‍යාපාරික අර්ථයෙන් කෙසේ වෙතත් සාහිත්‍ය පෝෂණය සම්බන්ධයෙන් හිතකාමී වන්නේ නැත.
නොබෙල් ත්‍යාගලාභී තුර්කි ජාතික ලේඛක ඔර්හන් පමුක්ගේ කෘති තුනක් සිංහල බසින් පළකිරීමේ අයිතිය ඇත්තේ තම ආයතනයට බව කීමත් එම කෘති තුන අතරට සනත් බාලසූරිය පරිවර්තනය කර ඇතැයි කියන MY NAME IS RED ද ඇතුළත්වීමත් ගැටලුකාරී වන්නේ එහෙයිනි. ජනක ඉණිමංකඩ මිත්‍රයාගේ ෆේස්බුක් සටහන එන්නේ සනත් බාලසූරියගේ ෆේස්බුක් සටහනට පසුවය. ඒ අනුව කෙනෙකුට සනත්ට අනතුරු ඇඟවීමක් වශයෙන් ජනකගේ සටහන යෙදුණේද යන සැකය මතුවිය හැකිය. මෙහිදී මට තවත් මගේම අත්දැකීමක් සටහන් කරන්නට සිත්වේ. මයිකල් මෝපගෝගේ කෘති සඳහා ප්‍රකාශන අයිතිය දරන මෙරට ප්‍රකාශන ආයතනය සමඟ මම ‘බෝන් ටු රන්’ කෘතියෙන් පසුව මෝපගෝ ගේම ‘ප්‍රයිවට් පීස්ෆුල්’ කතාව ප්‍රකාශයට පත් කළෙමි. ඉන්පසුව මෝපගෝ ගේ ‘වෝ හෝස්’ කෘතිය මා සමඟ පරිවර්තනය කරන්නට අදාළ සමාගම බලාපොරොත්තු වුවද (එම සමාගම පැවසූ ආකාරයට) ඔවුන් ප්‍රකාශන හිමිකම් ලබාගෙන තිබියදීම වෙනත් ආයතනයකින් ‘වෝ හෝස්’ සිංහලයට පරිවර්තනය කර පළකරන්නට යෙදුණි. එහිදී ද පෙර කී සමාගම කළේ නිහඬවීම ය.
ජනක ඉණිමංකඩ යනු ප්රකාශකයාට කලින් සාහිත්‍ය ලෝලියාය. එකී සාහිත්‍ය ලෝලියා නම් මේ ගැටලුවේදී කටයුතු කරනු ඇත්තේ ව්‍යාපාරික අර්ථයෙන් නොව සාහිත්‍යමය වශයෙනැයි මම අනුමාන කරමි. එකම කෘතිය විවිධ අය අතින් පරිවර්තනය වීම සාහිත්‍යමය වශයෙන් වැදගත් කටයුත්තකි. මුල් කෘතිය නොකියවූ පාඨකයකුට වුව පරිවර්තන අතරින් වඩාත්ම හොඳ පරිවර්තනය තෝරාගැනීමේ අවස්ථාව එවිට ලැබෙන බැවිනි. එහෙත් ජනක ඉණිමංකඩ ව්‍යාපාරික වේශයෙන් නැඟී සිටින්නේ නම්, ඔහු සතුව ඇතැයි කියන ප්‍රකාශන හිමිකම උපයෝගී කොටගෙන සනත් බාලසූරියගේ MY NAME IS RED ගබ්සා කරන්නට ඔහු උත්සාහ දරනු ඇත. (එවැනි උත්සාහයක ඔහු යෙදෙන්නේ නම්, තමාට ඉහත කෘතිවලට ප්‍රකාශන අයිතිය ලැබුණේ සනත් බාලසූරිය සිය සටහන තැබූ සැප්තැම්බර් 04 දාට පෙරද පසුවද යන්න හෙළිකිරීමත් තමන්ගේ බලපත්‍රය ප්‍රසිද්ධ කිරීමත් වැදගත් ය. ) එය නිසැකවම නීතිය කුමක් වුව පාඨක ප්‍රජාවගේ රසවින්දන අයිතියට එරෙහිව නැඟී සිටීමක් ද වනු ඇත. සනත් බාලසූරිය සහ ජනක ඉණිමංකඩ දිගුකාලීන මිතුරන් වන හෙයින් ද එවැනි නැඟී සිටීමක බරපතළකම උත්සන්න කෙරෙනු ඇත. එහෙයින් එවැන්නක් ජනක ඉණිමංකඩ නමැති ව්‍යාපාරිකයාට නොව සාහිත්‍යකාමී මිත්‍රයාට බරපතළ තුවාල සිදුවන්නක් වනවා නො අනුමානය.
අනුර කේ. එදිරිසූරිය
නව අදහස දක්වන්න