MY NAME IS RED දෙවැනි ගුණා­කා­රය | දිනමිණ

MY NAME IS RED දෙවැනි ගුණා­කා­රය

‘‘මා දැන් මළ­ක­ඳක් මිස අන් කිසි­වක් නොවේ, ළිඳක පතු­ලක තිබෙන සිරු­රකි. මම මගේ අව­සන් හුස්ම ඇද්දේ බොහෝ වේලා­ව­කට කලින් බැවින්, මගේ හද­වත සිය ගැස්ම නවතා ඇත. ඒ තුච්ඡ මිනී­ම­රුවා හැර කිසි­වකු මට කුමක් සිදු­වූයේ දැයි දන්නේ ද නැත’’ ඔර්හන් පමුක් සිය MY NAME IS RED නව­ක­තාව පුරන්නේ එසේය.

බෝම්බ පුපු­රන, වෙඩි හඬ ඇසෙන, ඒ අතර ආද­රය ද දැනෙන යුග­යක මිනිස් ජීවිත අපූරු අරු­මැසි දාර්ශ­නික ආකා­ර­ය­කින් ගෙත්තම් කරන පමුක්, 2006 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාග­යට ද හිමි­කම් කීවේය.

දාර්ශ­නික ත්‍රාස කතා­වක් ලෙස MY NAME IS RED හඳු­න්වන ගාඩි­යන් හි හබල් විලි­යම්ස් එය විස­මා­කාර ලෝක ශිෂ්ටා­චාර දෙකක් යාක­රන දෝනා­වක් බව ද පව­සයි.

අප මිත්‍ර සනත් බාල­සූ­රිය MY NAME IS RED සිංහ­ල­යට නඟා ඇති බව මා දැන­ගත්තේ ඔහු විසින් තබ­න්නට යෙදුණු මුහුණු පොතේ සට­හ­නක් මඟිනි. ඒ දැන ඇතිවූ ආන­න්දය මා ඔහුට Comment කළේ පමුක්ගේ Snow කෘතිය පිළි­බඳ යම් සට­හ­නක් ද සම­ඟිනි.

ඊට දින කිහි­ප­ය­කට පසුව අප මිත්‍ර ජනක ඉණි­මං­කඩ ද තම ප්‍රකා­ශන ආය­ත­නය මඟින් MY NAME IS RED,

The Red Haired Women, Strangness In My Mind යන පමුක්ගේ කෘති සඳහා ප්‍රකා­ශන අයි­තිය ලබා­ගෙන ඇති බවත් එම කෘති සිංහල බසින් පළ­කි­රීමේ අයි­තිය ඇත්තේ තම ආය­ත­න­යට බවත් අදාළ කෘති පරි­ව­ර්ත­නය කිරීම සඳහා වෙන්‍ ­වෙන්ව පරි­ව­ර්ත­ක­යන් දෙදෙ­න­කුට බාර දී ඇති බවත් මුහුණු පොතෙ­හිම සට­හ­නක් යොදා තිබුණි.

පරි­ව­ර්තන කාර්ය­යේදී මා මුහුණ දුන් ප්‍රකා­ශන හිමි­කම පිළි­බඳ අවස්ථා දෙකක් මෙහිදී සිහි­පත් වේ. එකක් මා විසින් පරි­ව­ර්ත­නය කර­න්නට යෙදුණු රෝල් ඩාල්ගේ ‘ඩැනී’ කෘතිය සම්බ­න්ධ­යෙනි. මා ඩැනී පරි­ව­ර්ත­නය කළේ ‘තාත්තයි මමයි’ යන නමිනි. කෘතිය පළවූ පසුව එක් ප්‍රකා­ශන ආය­ත­න­යක් මට ලිපි­යක් එව­මින් ‍රෝල් ඩාල්ගේ කෘති සිංහල බසින් පළ­කි­රීමේ අයි­තිය තමන් සතු බව දන්වා තිබුණි. එහෙත් ඒ සම්බ­න්ධව වැඩි­දුර පිය­ව­රක් ගන්නට ප්‍රකා­ශන හිමි­කම ඇති ප්‍රකා­ශන සමා­ගම ඉදි­රි­පත් වූයේ නැත.

ඉන් වසර ගණ­නා­ව­කට පසුව නැව­තත්, මයි­කල් මෝපගෝ ගේ ‘බෝන් ටු රන්’ කෘතිය සිංහ­ල­යට නඟා මා එක්තරා ප්‍රකා­ශන සමා­ග­මක් මඟින් ප්‍රකා­ශ­යට පත්කළ අතර එහිදී ද මෝපගෝ මෙරට දී පළ­කි­රීමේ අයි­තිය තමන් සතු බව රෝල් ඩාල්ගේ ප්‍රකා­ශන හිමි­කම මෙරට දරන සමා­ගම විසින් ම මටත් මගේ පොත ප්‍රකා­ශ­යට පත්කළ ප්‍රකා­ශන සමා­ග­ම­ටත් දන්වා තිබුණි. එතැ­නදී ද ඉහත කී ප්‍රකා­ශන අයි­තිය හිමි සමා­ගම වැඩි­දුර ක්‍රියා­මා­ර්ග­යක් නොගත් නමුත් ඉහත තත්ත්වය සිය වාසි­යට යොදා­ගත් කෘතිය පළ­කළ සමා­ගම මගේ කර්තෘ භාග­යෙන් කොට­සක් නොගෙවා ඉන්නට පොටක් පාදා­ග­ත්තේය.

1979 බුද්ධි­මය දේපළ පනත අනුව කෘති­යක් පළවී වසර දහ­ය­කට පසුව ප්‍රකා­ශන අයි­තිය ලබා නොගෙන එය සිංහල බසින් පළ­ක­ර­න්නට හිමි­කම් තිබුණු නමුත් 2003 නව බුද්ධි­මය දේපළ පනත අනුව ඒ සඳහා කෘතිය පළ­වී­මෙන් වසර 70 ක කාල­යක් ගත­ක­ර­න්නට සිදුව තිබේ. කෙසේ වෙතත් මෙරට පළ­වන බොහො­ම­යක් කෘති­ව­ලට මුල් ලේඛ­ක­ය­න්ගෙන් හෝ ඔවුන්ගේ ප්‍රකා­ශ­යන්/ ප්‍රකා­ශන කළ­ම­නා­ක­රු­ව­න්ගෙන් හෝ අව­සර ලබා­ගැ­නී­මක් සිදු­වන්නේ නැත. ඇතැම් විටෙක ප්‍රකා­ශන අයි­තිය ඉල්ලා මුල් කෘති­වල හිමි­ක­රු­ව­නට යැවෙන ලිපි­ව­ලට පිළි­තු­රක් හෝ ලැබෙන්නේ නැත.

ආණ්ඩු­වට බදු ගෙව­න්නට නොහැ­කිව නාහෙන් අඬ­න්න­ටත්, මාධ්‍ය සාකච්ඡා පව­ත්ව­න්න­ටත් සිදුව ඇති දුප්ප­තුන් පිරි­සක් වන මෙරට ලේඛ­ක­ය­නට පිට­ර­ට­කට මුදල් ගෙවා ප්‍රකා­ශන අයි­තිය ලබා­ග­න්නට වත්ක­මක් ඇත්තේ ද නැත. ප්‍රකා­ශන ආය­තන සම්බ­න්ධ­යෙන් ගත්කල ද ආය­තන එක දෙක­කට එවැනි හැකි­යා­වක් තිබිය හැකි වෙතත් බොහො­ම­ය­කට නැත.

ජාත්‍ය­න්තර නීතිය සම්බ­න්ධව කෙසේ වෙතත් මෙරට සාහිත්‍ය ප්‍රබෝ­ධය සම්බ­න්ධ­යෙන් සලකා බල­න්න­කුට නම්, වත්මන් බුද්ධි­මය දේපළ පනත යනු සාහිත්‍ය දියු­ණු­වට බාධා­වනු පිණිස එල්ලු අඩ­යා­ල­මක් ලෙස පෙනී යනවා ඇත. බුද්ධි­මය දේපළ පන­තට අනුව කට­යුතු කර­න්නට ගිය­හොත් ලෝකයේ සාහි­ත්‍යයේ නූත­න­කම් මෙරට සිංහල පම­ණක් කිය­වන පාඨ­ක­යාට කව­ර­දා­ක­වත් ස්පර්ශ කර­න්නට ඉඩ නොලැ­බෙනු ඇත. ප්‍රකා­ශන හිමි­කම් ලබා නොගෙන මෙර­ටදී කෘති­යක් පළ­කළ හැක්කේ කෘතිය එර­ටදී පළවී වසර 70 කට පසුව වන බැවිනි. එවිට මෙරට පාඨ­ක­යාට පරි­ව­ර්ත­න­ය­කොට කිය­ව­න්නට ලැබෙන්නේ වසර 70 ක් පැරණි සාහිත්‍ය පමණි. 70 වස­රක් තිස්සේ ලෝක සාහි­ත්‍යය එක තැන රැඳී නොති­බෙන බැවින් අපට උරු­ම­වන්නේ පිළුණු සාහි­ත්‍ය­යක රස­වි­ඳි­න්න­ටය. එකී බැරි­ය­රය ගලවා දමා මෙර­ටට නැවුම් විදෙස් සාහි­ත්‍යය හඳුන්වා දෙන්නට වෙනත් රට­වල මෙන් රජය හෝ සමා­ගම් හෝ කට­යුතු කරන්නේ ද නැත.

කලෙක මෙර­ටට රුසි­යානු, චීන ආදී සාහි­ත්‍යය පරි­ව­ර්ත­නය කළ රාදුගා, ප්‍රගති, මාර්ග වැනි ප්‍රකා­ශන ආය­තන තිබුණි. ඒවාහි පරි­ව­ර්තන කට­යු­තු­ව­ලට ප්‍රමි­ති­යක් හා විධි­යක් ද තිබුණි. එහෙත් වර්ත­මා­නයේ මෙරට සාහිත්‍ය පරි­ව­ර්ත­නය යනු අප වැනි දුහු­නන් කාටත් කළ හැකි සරල කට­යු­ත්තක් බවට පත්ව තිබේ. එවැනි වට­පි­ටා­වක යම් කෘති­යක හෝ ලේඛ­ක­ය­කුගේ පරි­ව­ර්තන ප්‍රකා­ශන අයි­තිය පුද්ග­ල­ය­කුට හෝ ආය­ත­න­ය­කට පම­ණක් හිමි­වීම ව්‍යාපා­රික අර්ථ­යෙන් කෙසේ වෙතත් සාහිත්‍ය පෝෂ­ණය ‍සම්බන්ධ­යෙන් හිත­කාමී වන්නේ නැත.

නොබෙල් ත්‍යාග­ලාභී තුර්කි ජාතික ලේඛක ඔර්හන් පමුක්ගේ කෘති තුනක් සිංහල බසින් පළ­කි­රීමේ අයි­තිය ඇත්තේ තම ආය­ත­න­යට බව කීමත් එම කෘති තුන අත­රට සනත් බාල­සූ­රිය පරි­ව­ර්ත­නය කර ඇතැයි කියන MY NAME IS RED ද ඇතු­ළ­ත්වී­මත් ගැට­ලු­කාරී වන්නේ එහෙ­යිනි. ජනක ඉණි­මං­කඩ මිත්‍ර­යාගේ ෆේස්බුක් සට­හන එන්නේ සනත් බාල­සූ­රි­යගේ ෆේස්බුක් සට­හ­නට පසු­වය. ඒ අනුව කෙනෙ­කුට සනත්ට අන­තුරු ඇඟ­වී­මක් වශ­යෙන් ජන­කගේ සට­හන යෙදු­ණේද යන සැකය මතු­විය හැකිය. මෙහිදී මට තවත් මගේම අත්දැ­කී­මක් සට­හන් කර­න්නට සිත්වේ. මයි­කල් මෝප­ගෝගේ කෘති සඳහා ප්‍රකා­ශන අයි­තිය දරන මෙරට ප්‍රකා­ශන ආය­ත­නය සමඟ මම ‘බෝන් ටු රන්’ කෘති­යෙන් පසුව මෝපගෝ ගේම ‘ප්‍රයි­වට් පීස්ෆුල්’ කතාව ප්‍රකා­ශ­යට පත් කළෙමි. ඉන්ප­සුව මෝපගෝ ගේ ‘වෝ හෝස්’ කෘතිය මා සමඟ පරි­ව­ර්ත­නය කර­න්නට අදාළ සමා­ගම බලා­පො­රොත්තු වුවද (එම සමා­ගම පැවසූ ආකා­ර­යට) ඔවුන් ප්‍රකා­ශන හිමි­කම් ලබා­ගෙන තිබි­ය­දීම වෙනත් ආය­ත­න­ය­කින් ‘වෝ හෝස්’ සිංහ­ල­යට පරි­ව­ර්ත­නය කර පළ­ක­ර­න්නට යෙදුණි. එහිදී ද පෙර කී සමා­ගම කළේ නිහ­ඬ­වීම ය.

ජනක ඉණි­මං­කඩ යනු ප්‍රකා­ශ­ක­යාට කලින් සාහිත්‍ය ලෝලි­යාය. එකී සාහිත්‍ය ලෝලියා නම් මේ ගැට­ලු­වේදී කට­යුතු කරනු ඇත්තේ ව්‍යාපා­රික අර්ථ­යෙන් නොව සාහි­ත්‍ය­මය වශ­යෙ­නැයි මම අනු­මාන කරමි. එකම කෘතිය විවිධ අය අතින් පරි­ව­ර්ත­නය වීම සාහි­ත්‍ය­මය වශ­යෙන් වැද­ගත් කට­යු­ත්තකි. මුල් කෘතිය නොකි­යවූ පාඨ­ක­ය­කුට වුව පරි­ව­ර්තන අත­රින් වඩාත්ම හොඳ පරි­ව­ර්ත­නය තෝරා­ගැ­නීමේ අව­ස්ථාව එවිට ලැබෙන බැවිනි. එහෙත් ජනක ඉණි­මං­කඩ ව්‍යාපා­රික වේශ­යෙන් නැඟී සිටින්නේ නම්, ඔහු සතුව ඇතැයි කියන ප්‍රකා­ශන හිමි­කම උප­යෝගී කොට­ගෙන සනත් බාල­සූ­රි­යගේ MY NAME IS RED ගබ්සා කර­න්නට ඔහු උත්සාහ දරනු ඇත. (එවැනි උත්සා­හ­යක ඔහු යෙදෙන්නේ නම්, තමාට ඉහත කෘති­ව­ලට ප්‍රකා­ශන අයි­තිය ලැබුණේ සනත් බාල­සූ­රිය සිය සට­හන තැබූ සැප්තැ­ම්බර් 04 දාට පෙරද පසු­වද යන්න හෙළි­කි­රී­මත් තමන්ගේ බල­ප­ත්‍රය ප්‍රසිද්ධ කිරී­මත් වැද­ගත් ය. ) එය නිසැ­ක­වම නීතිය කුමක් වුව පාඨක ප්‍රජා­වගේ රස­වි­න්දන අයි­ති­යට එරෙ­හිව නැඟී සිටී­මක් ද වනු ඇත. සනත් බාල­සූ­රිය සහ ජනක ඉණි­මං­කඩ දිගු­කා­ලීන මිතු­රන් වන හෙයින් ද එවැනි නැඟී සිටී­මක බර­ප­ත­ළ­කම උත්සන්න කෙරෙනු ඇත. එහෙ­යින් එවැ­න්නක් ජනක ඉණි­මං­කඩ නමැති ව්‍යාපා­රි­ක­යාට නොව සාහි­ත්‍ය­කාමී මිත්‍ර­යාට බර­ප­තළ තුවාල සිදු­ව­න්නක් ‍වනවා නො අනු­මා­නය.

අනුර කේ. එදි­රි­සූ­රිය

නව අදහස දක්වන්න