හැනෝයි සමුළුව! | දිනමිණ

හැනෝයි සමුළුව!

ලෝකයේ පවත්නා දියුණු ආර්ථික රටාවට අනුගත වන්නේ කෙසේ ද? මෙය දියුණු වෙමින් පවතින රටවල් මුහුණ දෙන ප්‍රධාන ආර්ථික අභියෝගයකි. එකිනෙක රටවල නායකයන්ගේ දැනුම අවබෝධය හා සුහදතාවය මේ කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් සේ සැලැකිය හැකි ය. ලෝකයේ බලවත් පුද්ගලයන් හා විශේෂඥයන් පිළිගනු ලබන රාජ්‍ය නායකයන්ට ඉහත කී ආර්ථික ප්‍රවේශය ලබාගැනීමේ පහසුවක් තිබේ. සිංගප්පූරුවේ දී ක්වාන් යූ, මැලේසියාවේ මහතීර් මොහොමඩ් වැනි නායකයන් මීට නිදසුන් ලෙස දැක්විය හැකි ය. ආර්ථික විෂයය ශ්‍රී ලංකාවට ගළපනවිට; අපගේ සිහියට නැඟෙන නූතන නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ය.

ආසියානු ලෝක ආර්ථික සමුළුව මේ දිනවල වියට්නාමයේ හැනෝයි නුවර දී පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ය. ආසියානු සංවිධානයට අයත් රටවල් සේ ම ආසියාවේ සෙසු රටවල් ද ඊට සහභාගී වෙයි. ආසියාව හා අප්‍රිකාව ඊළඟට ලෝකයේ දිදුලන කලාප ලෙස පුරෝකථනය වී ඇත. මේ කලාප දෙකෙහි ඇති ස්වාභාවික සම්පත් සේ ම මානව සම්පත ද එහිලා වැදගත් ම සාධක‍ දෙක ලෙස සටහන් වී ඇත. එක අතෙකින් අප්‍රිකාව විවිධ විෂයයන් යටතේ සංවිධානගත වෙයි. ආසියාව ද එය ම කළ යුතු බව ආර්ථික විශේෂඥයන් ගේ මතය වී තිබේ.

ආසියානු ආර්ථික සමුළුවේ දී සාකච්ඡාවට ගැනෙන ප්‍රධාන මාතෘකා කිහිපයෙකි. ආසියාවේ අනාගත ආර්ථිකය පුරෝකථනය කිරීම, ලෝක ආර්ථිකයේ නූතන ප්‍රවණතා හඳුනාගැනීම, ආසියාවට සුවිශේෂ වන ආර්ථික අභියෝග විවරණය කිරීම ඒ අතර පවත්නා වැදගත් ම සංවාද ලෙස හැඳින්විය හැකි ය. ආසියාවේ රටවල් ගණනාවක අපනයන ක්ෂේත්‍ර රැඳී පවතින්නේ අමෙරිකාවේ හෝ යුරෝපයේ හෝ වෙළෙඳ පොළ මත ය. ලෝක ආර්ථිකය හසුරුවනු ලබන්නේ ද එහි ප්‍රවණතා ඇති කරනු ලබන්නේ ද අමෙරිකාව, යුරෝපා සංගමය හා තවත් රටවල් කිහිපයකි. මෑතක සිට ඊට බලපෑම් කිරීමට චීනය ඉදිරිපත් ව සිටී. කුමක් වුව මේ මොහොතේ අමෙරිකන් ආර්ථිකය මෙන් ම යුරෝපා ආර්ථිකය ද වටහා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.

ආසියාව තුළ නිරාකරණය නො වූ ආර්ථික ගැටලු සමූහයක් ඇති බව විශේෂඥයන්ගේ මතය වෙයි. නිදසුනක් ගතහොත් සම්පත් බහුල රටවල් තවදුරටත් දිළිඳුකමෙහි ගිලී සිටී. තව නිදසුනක් ගතහොත් සාම්ප්‍රදායික අපනයන නිසා ද, කෘෂි නිෂ්පාදන නිසා ද අතීතයේ පො‍ෙහාසත් ආර්ථිකයන් පැවැති රටවල් දැන් ආර්ථික අතින් පිරිහෙමින් පවතී. තවත් නිදසුනක් ගතහොත් ආසියානු රටවල අගනා මානව සම්පතින් දියුණු රටවල් ප්‍රයෝජන ගනිමින් සිටී. මේවා කලාපීය වශයෙන් සංවාදයට ගැනීම ඉතා වැදගත් ය. ඊට ඇති හොඳ ම අවස්ථාව ලෙස ද මේ ආර්ථික සමුළුව හැඳින්විය හැකි ය. අවශ්‍ය වන්නේ ගැටලු යථාර්ථවාදී ලෙස විග්‍රහයට ලක්කරමින්, ප්‍රායෝගික විසැඳුම් සපයා ගැනීම ය.

ආසියාව සියුම් නිරීක්ෂණයකට ලක් කළහොත්; එහි පැතිකඩ ගණනාවක් හඳුනාගත හැකි ය. ඉන් එක පැතිකඩක් වන්නේ වේගවත් සංවර්ධනයක් සහිත රටවල් ය. චීනය, ඉන්දියාව හා වියට්නාමය වැනි රටවල් ඊට අයත් වේ. තව පැතිකඩක් වන්නේ දියුණු ආර්ථිකයක් සහිත කුඩා රටවල් ය. හොංකොං, සිංගප්පූරුව, බෲනායි, ක්වේට්, සයිප්‍රස්, බහරේන් වැනි රටවල් ය. තවත් පැතිකඩක් වන්නේ තෙල් සම්පතින් ආඪ්‍ය රටවල් ය. සෞදිඅරාබිය, ඉරාකය, ඉරානය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊට ඇතුළත් ය. ඇතැම් රටක් සේවා ආර්ථිකය ව්‍යාප්ත කොට දියුණුව ලබා ඇත. ඇතැම් රටක් ඛනිජ තෙල් අපනයනය නිසා පොහොසත් වී ඇත. ඇතැම් රටක් සංචාරක කර්මාන්තය නිසා ද තවත් රටක් ලෝක ආර්ථික ගනුදෙනු නිසා ද දියුණු වී ඇත.

මේ රටවල් දෙස බලනවිට ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආර්ථික ආදර්ශ ගණනාවක් තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සංකල්පයට අනුව ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ මූල්‍ය කේන්ද්‍රයක් ලෙස ද ආර්ථික සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස ද වැඩි දියුණු කළ යුතු ය. එය ඉතා නිවැරැදි ආර්ථික දර්ශනයකි. අතීත ශ්‍රී ලංකාව සේද මාවත ඔස්සේ මේ අයුරින් ක්‍රියාකර ඇති බව ඉතිහාසයේ සඳහන් ය. ලෝක ආර්ථිකය සමඟ බද්ධ නො වී අපට යා හැකි ඉදිරි ගමනක් නැත. රටේ නායකයන් පමණක් නො ව; ජනතාව ද එය වටහා ගත යුතු ය. සාම්ප්‍රදායික අපනයන හා සාම්ප්‍රදායික කෘෂිකර්මය පමණක් ජාතික ආර්ථිකය ප්‍රසාරණය කරන්නේ නැත.

අගමැතිවරයා මේ සමුළුව පළමු සංවාදයේදී ම ආසියාවට වැදගත් ආර්ථික යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එනම්; රටක රාජ්‍ය අංශය මෙන් ම පෞද්ගලික අංශය ද නිෂ්පාදන හා සේවා ක්‍රියාවලියේ දී ඒකාබද්ධ ලෙස ක්‍රියා කළ යුතු බව ය. දැනට ආසියාවේ බොහෝ රටවල සිදුවන්නේ රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය වෙන වෙනම ක්‍රියා කිරීම ය. මේ නිසා අනවශ්‍ය තරගයක් සේ ම අනවශ්‍ය ගැටුමක් ද මතුවෙයි. පෞද්ගලික අංශයේ සහයෝගයෙන් තොරව දියුණු වූ රටක් නැති තරම් ය. පෞද්ගලික අංශයට අවශ්‍ය පිළිගැනීම, නිල අයිතිය, නෛතික ප්‍රතිපාදන හා වෙනත් පොදු ‍සේවා ද ලබාදිය යුතු ය. එය ආර්ථිකයේ වර්ධනයට බලපාන ප්‍රධාන සාධකයකි. රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව ආසියානු නායකයන්ගේ සැලකිල්ලට යොමු වී ඇත.

වියට්නාමය යනු අපට සහයෝගය ලබා ගත හැකි තවත් ප්‍රධාන රාජ්‍යයකි. එම රට හැඳින්විය හැක්කේ අළු දූවිලි මතින් නැඟී සිටි රාජ්‍යයක් හැටියට ය. අද එහි ආර්ථිකය දියුණු ය. ශ්‍රී ලංකාව සමඟ ගැළපීමේ දී සමානකම් රැසක් ද පවතී. රටේ ජනගහනයෙන් බහුතරය බෞද්ධයෝ ය. සහල්, තේ, රබර්, ගම්මිරිස්, කෝපි එහි ප්‍රධාන වගාවන් ලෙස පවතී. ගල්අඟුරු හා තෙල් අපනයනය ද සිදුවේ. වියට්නාමයේ වත්මන් අගමැති ග්යේන් ෂුන් ෆුක් හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඉතා හොඳ මට්ටමකින් පැවැති බව වාර්තා වෙයි. වියට්නාම - ශ්‍රී ලංකා සෘජු ගුවන් ‍ගමන් ඇරඹීමට ද සංචාරක කර්මාන්තය සඳහා දෙරටේ හුවමාරු වැඩසටහන් ඇති කිරීමට ද මෙහි දී යෝජනා වී ඇත. රනිල් වික්‍රමසිංහ මහතාට වියට්නාමය දක්වන සැලැකිල්ල ද ඉතා ඉහළින් ම පැවැති බව පෙනෙයි.

වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ දමමින් සිටින අතර; ඒකාබද්ධ විපක්ෂය ජන බලය උරගා බලමින් සිටී. වඩා වැදගත් වන්නේ කුමක් ද යන්න ජනතාව ම තීන්දු කළ යුතු ය.

 


නව අදහස දක්වන්න

Or log in with...